කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි (BIA) මගීන් සඳහා වන Check-in පහසුකම් හා Satellite Boarding Gates ධාරිතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රජයට දැවැන්ත පාඩුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
සෘජුවම ටෙන්ඩරය වැඩි මුදලකට ප්‍රදානය කිරීමෙන් හෝ නැවත ටෙන්ඩර් කැඳවීමට සිදුවීමෙන් සිදුවිය හැකි දැවැන්ත පාඩුව මෙන්ම සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් පවතිද්දී මෙරට ප්‍රධානතම ගුවන් තොටුපලේ මගීන්ට අදාළ පහසුකම් සැපයීම ප්‍රමාද වීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට හානි වීමෙන් රටට සිදුවන පාඩුව ද මීට ඇතුළත් ය.
ඉහත කී ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් පත් විවෘත කර ඇත්තේ 2024 ජනවාරි 26 වනදා ය. මෙහි අවම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ දේශීය සමාගමක් වන Consulting Engineers and Contractors Pvt. Ltd. (CEC) සමාගම සහ China Association of International Engineering Consultants (CAIEC) නම් චීන සමාගම එක්ව ව්‍යාපාරික සංසදයක් (joint venture) වශයෙනි. ඔවුන් ඉදිරිපත් කර ඇති ලංසුව රුපියල් බිලියන 5.97 කි.
දෙවැනි ස්ථානයේ ලංසුව Sanken Construction (Pvt) Ltd ආයතනය විසින් රුපියල් බිලියන 6.36ක් වශයෙන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව එම ලංසුව අඩුම ලංසුවට වඩා රුපියල් මිලියන 392ක් ඉහළින් පවතී.
සෙසු ටෙන්ඩර්කරුවන් වූ Maga Engineering, Thudawe-China Harbour (JV), සහ China Civil Engineering Corporation යන සමාගම් පිළිවෙලින් රුපියල් බිලියන 6.38 ක්, රුපියල් බිලියන 6.82 ක්, සහ රුපියල් බිලියන 7.70 ක් වශයෙන් ලංසු ඉදිරිපත් කර තිබී ඇත.
ටෙන්ඩර් මිල ගණන් මෙසේ තිබියදී 2024 මාර්තු 18 වනදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් K.D.S. රුවන්චන්ද්‍ර විසින් අත්සන් කරන ලද ලිපියකින් CEC සමාගම වෙත දැනුම් දී ඇත්තේ CEC – CAIEC (JV) ව්‍යාපාරික සංසදය ලංසුකරුවන් වෙතින් අපේක්ෂා කරන ‘අනිවාර්ය අවශ්‍යතාවයක්’ සපුරා නොමැති බවත් ඒ අනුව ටෙන්ඩරය සන්කෙන් සමාගමට ලබාදීමට අදහස් කරන බවත් ය. එම අනිවාර්ය අවශ්‍යතාවය කුමක්ද යන්න හෝ එම ලිපියෙන් දැනුම් දී තිබී නැත.
ඒ අනුව එම අනිවාර්යය අවශ්‍යතාවය කුමක්ද යන්න විමසා CEC සමාගම එවකට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතත් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ (Procurement Appeal Board – PAB) සභාපතිවරයා වෙතත් ලිපි දෙකක් යොමුකර ඇති අතර 2024 අප්‍රේල් 22 වනදා ඔවුන්ව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත කැඳවා දැනුම් දී ඇත්තේ CEC – CAIEC (JV) ව්‍යාපාරික සංසඳය ‘රජයේ ප්‍රසම්පාදන නිර්ණායක’ පිළිබඳ ලේඛනයේ 7.9.5. වගන්තිය ප්‍රකාරව “දේශීය ප්‍රමුඛතාවය” (Domestic Preference) සඳහා සුදුසුකම් ලබා නොතිබූ බවකි.
එහෙත් 2023 දෙසැම්බර් 18 දා මෙම ටෙන්ඩරයට අදාළව පැවති පූර්ව ලංසු සාකච්ඡාවේදී (Pre-Bid Meeting) ලංසුකරුවන් තිදෙනෙකු මේ පිළිබඳව සෘජුවම විමසා ඇති අතර එහිදී ප්‍රසම්පාදන මණ්ඩලය පවසා ඇත්තේ 51:49 (දේශීය: විදේශීය) ප්‍රතිශත සම්බන්ධතාවයකින් යුත් සංසදයක් දේශීය ටෙන්ඩර්කරුවකු වශයෙන් සැලකෙන්නේය යනුවෙනි. CEC – CAIEC (JV) ව්‍යාපාරික සංසඳය ද 51:49 ප්‍රතිශතයකින් යුත් සංසදයක් බැවින් ඒ අනුව ඔවුන්ට දේශීය ප්‍රමුඛතාවය පිළිබඳ ගැටලුවක් පැනනැඟිය යුතු නැති බව පෙනේ.
මෙවැනි තත්වයක් උද්ගත වූ විට ප්‍රසම්පාදන මණ්ඩලය විසින් ටෙන්ඩර් පත් නැවත ඇගයීම සඳහා තාක්ෂණ කමිටුව වෙත යොමු කළයුතු වුවත් ඊට පෙර සන්කෙන් සමාගම මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීම හේතුවෙන් මේ වනවිට වසරක පමණ කාලයක් තිස්සේ ප්‍රසම්පාදන කටයුත්ත සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
දේශීය ප්‍රමුඛතාව හිමිවිය යුතු ව්‍යාපාරික හවුලකට එම ප්‍රමුඛතාව ලබානොදී රුපියල් මිලියන 392ක් වැඩියෙන් මෙම ටෙන්ඩරය දෙවැනි ස්ථානයේ පසුවන කොන්ත්‍රාත්කරුට පිරිනැමීම යනු පැහැදිලිවම රජයට රුපියල් කෝටි 40කට ආසන්න පාඩුවකි. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ටෙන්ඩර් පත් නැවත ඇගයීමකට ලක්නොකර අලුතින් ටෙන්ඩර් කැඳවීමට කටයුතු කළහොත් රජයට ඊටත් වඩා වැඩි පාඩුවක් සිදුවනු නියත ය. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා මගී පර්යන්ත සංවර්ධනය කිරීම තවතවත් ප්‍රමාද වීමෙන් රජයට දිනපතා සිදුවන පාඩුව ගණනය කිරීමත් නොහැකි තරම් විශාල ය. මේ සියල්ල අවසානයේ බැරවෙන්නේ මහජනතාවට ය. මේවාට ගෙවීමට සිදුවන්නේ මහජන මුදලිනි.
පසුගිය රජය සමයේ කිසියම් ප්‍රබලයකුගේ වුවමනාවක් අනුව මෙම ටෙන්ඩරය හිතාමතාම අවුල් කර ඇත්දැයි සැක සිතෙන තත්වයක් මෙහි බැලූ බැල්මටම දක්නට ලැබෙන අතර දූෂණයට නාස්තියට එරෙහි ප්‍රබල මැදිහත් වීමක් සහිත නව රජයේ බලධාරීන් කඩිනමින් මැදිහත්ව මෙම ගැටලුව විසඳා මෙම මගී පර්යන්ත වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් රටට රුපියල් කෝටි ගණනක මුදල් ඉතිරි කර ගැනීමටත් සංචාරක කර්මාන්තයේ දියුණුව ඔස්සේ තවත් කෝටි ගණනින් කඩිනමින් රටට මුදල් ඉපයීමටත් හැකිවනු ඇත.
~ රජිත විරාජ්
