සටහන – රුවන් නෙළුගොල්ල
මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළයුතු බවට තමන් ඇතුළු හය දෙනෙකුගේ කණ්ඩායමක් පක්ෂය තුළ දැඩිව පෙනී සිටියත් සාගල රත්නායක මහතා ඇතුළු සිව්දෙනෙකුගේ කණ්ඩායමක් ඊට විරුද්ධව පෙනී සිටි බවත් අවසානයේ තම කණ්ඩායමේ මතවාදය පරාජයට පත්වුණු බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.
“ජනාධිපතිවරණය අවසන් වුණාට පස්සෙ මම දිගින් දිගටම කිව්වෙ දක්ෂිණාංශික කඳවුරේ අපි පරාජය වුණා, අපේ මතවාදය පරාජය වුණා, NPP මතවාදය ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තු මැතිවරණයට කලින් මම කිව්වා NPP මතවාදය තුනෙන් දෙක ගන්නවා කියලා දක්ෂිණාංශික කඳවුරේ එකතු වුණේ නැත්නම්. මට මේකට සජබ අයත් කතා කරලා බැන්නා, එජාප අයත් කතා කරලා බැන්නා. වෙන්න තියෙන දේ පෙරදැකලා මම කිව්වෙ මෙන්න මේක වෙනවා, මේ නිසා මේක නොවෙන්න නම් ජනාධිපතිවරණයෙන් පස්සෙ අපි එකතුවෙන්න ඕනෙ, මහමැතිවරණයේදී එක කණ්ඩායමක් හැටියට ඡන්දෙ ඉල්ලන්න ඕනෙ කියලා. මම හිටපු මතය තමයි එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන්ද, සජබය ටෙලිෆෝන් ලකුණෙන්ද, සන්ධානය මොකක්ද, ලකුණ මොකක්ද අදාළ නෑ, කණ්ඩායම් දෙකම එකතු වෙන්න ඕනෙ. ඒ අවස්ථාවේදී මම හිටපු මතයේ දැඩිව හිටපු කණ්ඩායමක් හිටියා. මම නම් වශයෙන් කිව්වොත් මමත් එක්ක අකිල, නවීන්, හරීන්, රෝසි සේනානායක ඇතුළු අපි පස් හයදෙනෙක් මේ වෙනුවෙන් පෙනී සිටියා. එදා සජබෙත් එක්ක එකතුවෙන්න බෑ කියපු කණ්ඩායමකුත් හිටියා. ඒ බෑ කියපු කණ්ඩායම හේතු හැටියට දැක්වුවේ අපි සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලපු නිසා කෘතගුණ සැලකීමක් හැටියට ඒකෙන් එන්න ඕනෙ කියලා. හැබැයි සිලින්ඩරේ අයට අපි කරුණු පැහැදිලි කළාම ඒ අයගෙන් ලොකු විරෝධයක් තිබුනෙ නෑ. ඒගොල්ලො කිව්වෙ මේක එකතු විය යුතුයි, එකතු වෙන්න කියලා. ඔය රවී කරුණානායක මැතිතුමා බහිරවයෝ කියන්නෙ කවුද කියලා මම දන්නෙ නෑ. නමුත් ඒ වෙලාවෙ ඒකට විරුද්ධ වුණේ සාගල, වජිර, මනූෂ සහ තලතා කියන කණ්ඩායම. රුවන් විජේවර්ධන මහත්තයා ඒකට කැමති වුණා. මෙන්න මේ කණ්ඩායම් දෙක අතර මතභේදයක් තිබුණා.
මම මේක ප්‍රසිද්ධියේ කියන්නෙ. මට ප්‍රශ්නයක් නෑ. එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඕනෙ කණ්ඩායම් දෙකකට සාකච්ඡා කරන්න පුළුවන්. එක කණ්ඩායමක් ටෙලිෆෝන් එකෙන් යන්න බෑ, එහෙනම් අලියාගෙන් එන්න ඕනෙ කිව්වා. ඒ අර්බුදය ආවා, ඒ නිසා මේ දෙක එකතු වුණේ නෑ. අවසානයේ තීරණය වුණේ සිලින්ඩරයෙන්ම යන්න ඕනෙ කියලා. මම ප්‍රතිපත්තිමය තීරණයේ හිටියා, රුවන් විජේවර්ධන මැතිතුමාත් හිටියා අපිත් එක්ක. රුවන්, අකිල, නවීන්, හරීන්, රෝසි සහ මම – අපි හයදෙනා තමයි දැඩිව හිටියේ අපි දක්ෂිණාංශික කඳවුර එකතු කරන්න ඕනෙ, එකතු කරලා එක්කො අලියා එකතු කරන්න ඕනෙ, නැත්නම් සජබෙ හෝ මොකක් හරි ලකුණකින් හෝ මේක එකතු කරන්න ඕනෙ කියලා. නමුත් අපේ මතවාදය පරාජය වුණා. අවසානයේ නායකතුමාගේ කණ්ඩායම තීරණය කළා අපි සිලින්ඩරයෙන් යනවා කියලා. අපි එතකොට කිව්වා අපි ඡන්දෙ ඉල්ලන්නෙ නෑ, හේතුව මේ මතවාදය පරාජය වුණා, පරාජය වෙච්ච මතවාදය තුළ ගියොත් අපි කොහොමටත් හැඳි ගෑවිලාම යනවා කියලා. ඒක තමයි වුණේ”
ආශු මාරසිංහ මේ බව පැවසුවේ ඊයේ (මැයි 27) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
