ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පානදුරේදී පැවැත්වූ රැස්වීමට සමගි ජන බලවේගය හැරදා පැමිණ එක්වූ සජබ හිටපු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ අමිල නිර්මාල් ප්රනාන්දු සිය ක්රියාව සම්බන්ධයෙන් ප්රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේය.
“මම අමිල නිර්මාල් ප්රනාන්දු. සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික්කයේ හිටපු මාධ්ය ලේකම්, ඒ වගේම පානදුර ආසනයේ තරුණ කටයුතු ලේකම්. පසුගියදා පොහොට්ටුවේ පැවති පානදුරේ රැස්වීමට ඒ ගොඩවුණු තරුණයා මමයි. මම එහෙම ගොඩවෙන්න ප්රධානම හේතුව වුණේ පක්ෂ නායක සජිත් ප්රේමදාස මැතිතුමාගේවත්, පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේවත්, කළුතර දිස්ත්රික් නායක අජිත් පී. පෙරේරා මැතිතුමාගේවත් ප්රශ්නයක් මත නෙවෙයි. සමහර සංවිධායකවරුන් පත්කිරීමේදී සිදුවූ කාරණා මත තමයි මම මේ තීරණය ගත්තේ. ඒ හේතූන් මත සමගි ජන බලවේගයේ පක්ෂ නායකතුමාට, මහලේකම්තුමාට, දිස්ත්රික් නායකතුමාට සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණට යම් අගතියක් මා අතින් සිදුවුණා නම් එයට මම සම්පූර්ණයෙන් මගේ හෘදයාංගම සමාව අයදින බව කියන්න මම මේ මාධ්ය සාකච්ඡාව කැඳෙව්වේ.
2019 ඉඳලා කළුතර දිස්ත්රික්කයේ පානදුර ආසනයේ යොවුන් කටයුතු ලේකම් මම. මාධ්ය ලේකම් මම. මේ පැරෂුට්කාරයෝ මේ ආසනවලට ඇවිල්ලා මේ කරන දේවල් – සජිත් ප්රේමදාස මැතිතුමාට කෙණෙහිලිකම් කරපු සමහර ආසන සංවිධායකවරු නිසා කළකිරීමට පත්වෙච්ච නිසා තමයි මම මේ හදිසි ඉක්මන් තීරණය ගත්තේ”
අදාළ තරුණයා මේ බව පැවසුවේ ඊයේ (28) පැවැත්වූ මාධ්ය හමුවක් අමතමිනි.


