තෙල් මිල වැඩි කළේ කැමැත්තෙන් නෙවෙයි. වෙළෙඳපොළ කඩා වැටෙයි කියන බයට – බලශක්ති ඇමති

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ඉන්ධන වෙළෙඳපොළ කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අකමැත්තෙන් වුවද මිල සංශෝධනය කිරීමට සිදු වූ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන වර්ගවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර පෙට්‍රල් 92, ඩීසල්, සුපර් ඩීසල් සහ ෆර්නස් ඔයිල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල ජනවාරි මාසයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රතිශතයකින් වැඩි වී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”පෙට්‍රල් 92 සඳහා සියයට 180කට ආසන්න වැඩිවීමක් වාර්තා වී තිබෙන අතර, ඩීසල් සඳහා සියයට 179.8ක පමණ වැඩිවීමක් සිදුව තිබෙනවා. ෆර්නස් ඔයිල් සඳහා සියයට 69.5ක පමණ වැඩිවීමක් සහ සුපර් ඩීසල් සඳහා සියයට 164ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින සැබෑ මිලට සාපේක්ෂව ඉන්ධන දේශීය වෙළෙඳපොළට සැපයීම ඉතා අභියෝගාත්මක වී තිබෙනවා. අපි අප්‍රේල් මාසයේදී සිදු කළ මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් රජය විසින් දරනු ලැබුවා. ඒ වගේම කණිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් ඉන්ධන සැපයුම් සමාගම් ද තමන්ගේ ලාභය අත්හැර පාඩු දරාගෙන වෙළෙඳපොළට ඉන්ධන සැපයීමට කටයුතු කළා. නමුත් අප්‍රේල් මාසය අවසන් වන විට ඩීසල් ලීටරයක් සඳහා වැය වූ සැබෑ පිරිවැය රුපියල් 850කට ආසන්න වුණත් එය වෙළෙඳපොළේ අලෙවි කෙරුණේ රුපියල් 392ක මිලකටයි. රජය විසින් ලබාදුන් සහනාධාරයත් සමඟ ලීටරයකට රුපියල් 250කට අධික පාඩුවක් දරාගෙන තමයි ඉන්ධන සැපයීම සිදු කරලා තිබෙන්නේ.”

මෙම තත්ත්වය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් නොව අනෙකුත් ඉන්ධන සැපයුම් සමාගම්වලටත් බලපා තිබෙන අතර RM Parks, Sinopec සහ IOC වැනි සමාගම් ද ඩීසල් සහ පෙට්‍රල් අලෙවියේදී ලීටරයකට සැලකිය යුතු පාඩුවක් දරාගෙන කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙවැනි පාඩු තත්ත්වයක් දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් ඉන්ධන සැපයුම්කරුවන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම අපහසු වෙන අතර එසේ එසේ වුවහොත් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම අභියෝගයක් බවට පත්වෙන බවත් එමඟින් ඉන්ධන වෙළෙඳපොළ කඩාවැටීමක් සිදු වුවහොත් එහි බලපෑම ප්‍රවාහන ක්ෂේත්‍රයට පමණක් නොව විදුලිබල සැපයුමට, කර්මාන්තවලට සහ සමස්ත ආර්ථිකයටම එල්ල වෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

එහෙයින් අකමැත්තෙන් වුවත් ලෝක වෙළෙඳපොළේ පවතින මිල සහ දේශීය වෙළෙඳපොළේ පවතින මිල අතර පරතරය යම් ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා මැයි 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයට සිදුවු බව හෙතෙම කියා සිටියේය.

”එහෙත් එම වැඩිවීමේ සම්පූර්ණ බර ජනතාව මත පටවා නැහැ. තවදුරටත් රජය විශාල කොටසක් දරාගෙන සිටින අතර ඉතිරි කොටස ඉන්ධන සැපයුම් සමාගම් දරාගෙන සිටිනවා. අපි දන්නවා මේ මිල වැඩිවීමෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට, පාසල් වෑන් රථ හිමියන්ට, කර්මාන්තකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට බලපෑමක් ඇතිවන බව. නමුත් මෙම තීරණය නොගත්තා නම් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවී ජනතාවට අවශ්‍ය ඉන්ධන වෙළෙඳපොළෙන් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකිව තිබුණා. තවත් බරපතළ ගැටලුවක් වන්නේ ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණයයි. ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186ක් පමණ වැය වූ අතර මැයි මාසය වන විට එය ඩොලර් මිලියන 524ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රටේ විදේශ විනිමය සංචිතවලට දැඩි පීඩනයක් ඇති කරන තත්ත්වයක්.”

එමනිසා රටක් ලෙස ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවත් QR කේත සහ කෝටා ක්‍රමය හඳුන්වාදීමෙන් යම් පාලනයක් ඇති කර තිබුණත් ඉදිරියේදී එය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා පැවසීය.

”මෙය ජනතාවට පහසු තීරණයක් නොවන බව අපි පිළිගන්නවා. එහෙත් අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම, ආර්ථිකය ආරක්ෂා කිරීම සහ වෙළෙඳපොළ කඩාවැටීම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ තත්ත්වය යහපත් අතට හැරෙන විට ජනතාවට සහන සැලසිය හැකි තත්ත්වයක් උදා කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...