රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :
ලෝක මට්ටමින් ව්‍යාප්ත වන ඉබෝලා වෛරසය සහ දේශීයව වාර්තා වන මෙනින්ජයිටීස් රෝගය පිළිබඳව රජයේ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි .
අප්‍රිකානු කලාපයෙන් ආරම්භ වූ ඉබෝලා තර්ජනය හමුවේ වසංගත රෝග විද්‍යා ඒකකය හරහා අවශ්‍ය පූර්ව උපදෙස් සෞඛ්‍ය පද්ධතිය වෙත ලබා දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව, මෙරට තුළ ව්‍යාප්ත වූ මෙනින්ජයිටීස් රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති අතර, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විමසිලිමත් වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොදු උත්සව අවස්ථාවලදී උණුසුම් පාන වර්ග භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරේ.
මෙම රෝග වළක්වා ගැනීම සඳහා අඛණ්ඩව මහජන සහයෝගය අවශ්‍ය බව පවසන අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ නිරන්තර සූදානමකින් පසුවන බව සහතික කරයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වසංගත තත්ත්වයන් මර්දනය කිරීමට රජය විසින් ගෙන ඇති කල්තියා සූදානම් වීමේ ක්‍රියාවලිය අමාත්‍යවරයාගේ අදහස් සමඟ මැනවින් නිරූපණය වේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“අප්‍රිකානු රටවල් කිහිපයක තමයි මේක ඉස්සෙල්ලාම ආරම්භ වුණේ. ඊට පස්සේ WHO එක මේක හදිසි තත්ත්වයක් ලෙස වාර්තා කළා. එතැන් සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මේ සම්බන්ධව නිරන්තරව අවධානය යොමු කරමින් අවශ්‍ය කරන උපදෙස් අපේ සෞඛ්‍ය පද්ධතියට ලබා දීලා තිබෙනවා. ඒ අනුව කටයුතු කරමින් පවතිනවා. අනිත් එක පසුගිය දවස්වල වාර්තා වුණු මෙනින්ජයිටිස් කියන රෝගය සම්බන්ධයෙනුත් ඒක වාර්තා වුණු පළවෙනි දවසේ සිටම ඒ ගැන අවධානය යොමු කර එය වළක්වා ගැනීම සඳහා වන පියවර ගත්තා. ඒ නිසා තමයි පසුගිය දවස්වල දන්සැල්වලදිත් අපි තේ වැනි උණුසුම් දියරයක් ලබා දෙන්න කියලා කිව්වෙත් යම් කිසි ආකාරයකට මෙනින්ජයිටීස් පැතිරිය හැකි නිසා. නමුත් යම් මට්ටමකට ඒක පාලනය කරගන්න සෞඛ්‍ය අංශ සමත්වෙලා තිබෙනවා. මේ ප්‍රමාණයට පාලනය වුණාට මේක නොසලකා ඉන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන් අතරේ පැවතුණා. අවශ්‍ය කරන දේ සූදානම් කරලා තිබෙන්නේ තවදුරටත් රෝගය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ජනතා සහයෝගය බලාපොරොත්තු වෙනවා.”



