සටහන – රුවන් නෙළුගොල්ල
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් ඇතැයි අසත්‍ය පුවත් පතුරුවා හරින්නේ සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායමක් විසින් බවත් එම කර්මාන්ත ශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
කෙසේවෙතත් සීනි සහ එතනෝල් අලෙවි කිරීමේ යම් ගැටලු සහගත තත්වයන් උද්ගත වී ඇති බවත් මෙතෙක් එතනෝල් ලීටරයක් අලෙවි කෙරුණේ නිෂ්පාදන මිලට වඩා සෑහෙන අඩුවෙන් වුවත් මින් ඉදිරියට එතනෝල් ලීටරයක් රුපියල් 800 කට අලෙවි කිරීමට තමන් තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රශ්නය – සාමාන්‍යයෙන් ඔබතුමන්ලාට කොපමණ පිරිවැයක් යනවාද එතනෝල් ස්ප්‍රීතු ලීටරයකට ?
සභාපතිනිය – “ලංකා සීනි සමාගමේ පැල්වත්තට යනවා 700ක්. ගල් ඔය ඊට වැඩිය චුට්ටක් අඩුවෙන් පිරිවැයක් යන්නේ, හයසිය ගාණක්. හැබැයි අපි ඒ ඔක්කොම විකුණන්නෙ පන්සිය ගාණට, 475 ට. පාඩුවකට විකුණන්නෙ දැන් තියෙන ප්‍රශ්න නිසා”
ප්‍රශ්නය – ඒ දවස්වල රුපියල් 1200 ට තිබුණු අගය එතනෝල් ස්ප්‍රීතුවල මෙච්චර පල්ලෙහාට අඩුවෙන්න හේතුව මොකක්ද ඇමතිතුමා ?
ඇමති හඳුන්නෙත්ති – “බඩ ඉරිඟු මේ වෙනුවෙන් පාවිච්චි කරන එක. ඒක මේ කර්මාන්තයේ යෙදෙන අයගේ අයිතියක්. දවසකට ලීටර් දෙලක්ෂයක් විතර කසිප්පු, කරිඤ්ඤං පාවිච්චි කරන ජනතාවක් ඉන්නෙ. දැන් මම මේ කියන්නෙ කසිප්පු කරිඤ්ඤං පාවිච්චි කරන අයට අරක්කු පොවන්න කියලා හඳුන්නෙත්ති කිව්වා කියන්න නෙවෙයි. ඒ මිනිස්සුන්ට පිළිකා හැදුණාම, වෙනත් අසනීප හැදුණාම රටෙන් කොච්චර සල්ලි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වියදම් කරනවාද අපි බදු ගෙවන ජනතාවගේ සල්ලි ? ඒක නිසා තමයි අපි කියන්නෙ ඒ මිනිස්සුන්ව සම්පූර්ණ කසිප්පුවලින් කරිඤ්ඤංවලින් ගලවාගන්න පුළුවන් නම් හොඳයි. ඊටවඩා හොඳයි ප්‍රමිතියක් සහිත නිෂ්පාදනයක් හඳුන්වලා දෙන එක. ඒක මම මීට මාස අටකට කලින් කිව්වෙ. මීට මාස අටකට කලින් මුදල් අමාත්‍යාංශයේ මහත්තුරු ඒක පිළිගත්තා නම් අද මේ ප්‍රශ්න මොනවත් නෑ”
ප්‍රශ්නය – ඇත්තටම ඒ නොදෙන හේතුව මොකක්ද ?
ඇමති හඳුන්නෙත්ති – “මම දන්න විදියට හේතුවක් මට පේන්නෙ නෑ. අහේතුව තමයි එකම දේ. ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ එතනෝල් ලබාදෙනවා නම් මීටපස්සේ රුපියල් 800 ට තමයි ලීටරයක් දෙන්නේ”
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
