*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනපති ධුර කාලය වසරකින් දිගුවෙයිද ? සජිත් 13 ක්‍රියාත්මක කර පළාත්සභා ගැන කියයි -නීතිපතිගේ සේවා දිගුවට අවසර ලැබෙයිද ? ඡන්ද දායකයන් ලක්ෂ 170 – රාජිත ආණ්ඩුවට යයිද ? දේශීය කර්මාන්ත වනසන අමාත්‍යංශ ලේකම්ලා -රවී වැඩට බහී

  • ජනපති ධුර කාලය වසරකින් දිගුවෙයිද ?
  • සජිත් 13 ක්‍රියාත්මක කර පළාත්සභා ගැන කියයි
  • නීතිපතිගේ සේවා දිගුවට අවසර ලැබෙයිද ?
  • ඡන්ද දායකයන් ලක්ෂ 170 – රාජිත ආණ්ඩුවට යයිද ?
  • දේශීය කර්මාන්ත වනසන අමාත්‍යංශ ලේකම්ලා
  • රවී වැඩට බහී

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

ජනාධිපතිවරණය මහා මැතිවරණය ජනමත විචාරණය ආදී විවිධ කාරනා නිසා දේශපාලන කරලිය ඉතාම උණුසුම්ය.
මේ මොහොත වන විට වැඩිම ජනතා අවධානය ඇත්තේ ජනාධිපති ධුර කාලය වසරකින් දීර්ග කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කර ගැනීමට යන බවට පැතිර යන කතාවටය. කලින් වසර හයක් වූ ජනපති ධුරකාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් වසර පහ දක්වා අඩු කර ගත්තේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය.ඒ අතරේ තම රජයක් තුල 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නංවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදු කල ප්‍රකාශය ද මේ වන විට දේශපාලන ලෝකයම උඩුයටිකුරු කල ප්‍රකාශයකි.

ලබන සැප්තැම්බර් මස 17 ත් – ඔක්තෝබර් මස 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 5 හෝ ඔක්තෝබර් 12 ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව පැවසේ.
කෙසේ වෙතත් ජුලි 15 වැනිදාට පසු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය කැඳවීම සඳහා බලය ලැබේ. එසේනම් ජනාධිපති ධුර කාලය දීර්ග කර ගැනීම ඊට පෙර සිදු කල යුතුය.ඊට එරෙහිව අනිවාර්යයෙන්ම දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන අධිකරණයට යනු ඇත. කෙසේ වෙතත් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව තීරණාත්මක සාධකයකි.

                                                             නීතිපතිගේ සේවා දිගුව 

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මේ මස අවසානයේ විශ්‍රාම යාමට නියමිතව තිබේ. ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන්වී තිබේ.මේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 18 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

පසුගියදා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගිවී තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගිවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට කරුණු ප්‍රකාශ වීමෙන් රැස්වීම මෙසේ කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

                                         මීළඟ අගවිනිසුරු සංජය රාජරත්නම් ද ?

මේ අතර මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් කොළඹ පවසා තිබේ.

නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින ගණනාවකින් ආරම්භ වන නිසා මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව ද සඳහන් කළේය.

මේ අතර නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීමෙන් පසු ඔහු මෙරට මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමේ සුදනම්ක් සම්බන්ධයෙන් මෙරට නීති හා දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්ව තිබේ.

                                              ජනමත විචාරණය ප්‍රායෝගිකද ?

මේ අතර ජනමත විචාරණයකින් ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් කාලය දීර්ග කර ගැනීමේ උත්සහයක් ඇති බව දේශපාලන ලෝකයේ දැඩි කතා බහට ලක්ව ඇති කාරණයකි. එජාප මහලේකම් රංගේ බණ්ඩාර ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද සිදු කළේය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා මේ යෝජනාවට විරුද්ධය. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් පවා මීට විරෝධය පළකර තිබේ.

විදුලි බල පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 වත් ගැනීමට නොහැකිවීම හා ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ගකර ගැනීම සඳහා යෝජිත ජනමත විචාරණය පරාජය වුවහොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවීම ඇතුළු කරුණු කීපයක් නිසා හදිසි මහා මැතිවරණයක් පැවැත්වීම කෙරහි රජයේ ප්‍රබලයන්ගේ අවධානය යොමුවී තිබේ.

                                           පාර්ලිමේන්තු කාලයත් දීර්ග කර ගැනීමේ උත්සහයක් ? 

මේ අතර ජනමත විචාරණයක් හරහා ජනාධිපතිගේ ධුර කාලය වසර දෙකකින් දිගු කර ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලයද ඒ අනුව වසර දෙකකින් දීර්ඝ කරගත යුතු බවට කොන්දේසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇත.

එවැනි එකඟතාවක් ජනාධිපතිවරයා විසින් ඇති කරගතහොත් බහුතරයක් මන්ත්‍රීවරුන් ජනාධිපතිගේ ධුර කාලය දිගු කර ගැනීම සඳහා වන ජනමත විචාරණයකට එකඟවනු ඇතැයි පැවසේ. කෙසේ වෙතත් එවැන්නකට දැඩි මහජන විරෝධයක් එල්ල වනු ඇති බවටද ඇතැමුන් පෙන්වාදී තිබේ.එසේම තීරුබදු රහිත වාහන පර්මිට් වහාම ලබා දෙන ලෙසද මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන්ට බලකරමින් සිටිති.

                               ජනමත විචාරණය ජුලි මාසයේද ?

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජුලි මස ජනමත විචාරණයකට යෑමට ආණ්ඩුවේ සැලසුමක් පවතින බවයි. එහෙත් තවත් පිරිස් මෙය ජනතා අවධානය වෙනතකට හැරවීමේ උත්සහයක් ලෙස දකිති.
1982 වසරේ ජේ.ආර්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කාලය දිගු කර ගැනීමේදී කළ ජනමත විචාරණයක ආකාරයට කළ හැකිදැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් නීති විශාරදයන්ගෙන් විමසා ඇති අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යම් බාධා පැන නැඟෙන්නේ නම් ඊට ගත හැකි විකල්ප කවරේද යන්න ඔවුන් නීති විශාරදයන් හමුවේ විමසා තිබේ.මේ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවත් , බත්තරමුල්ල “වෝටර්ස් එජ්” හෝටලයේදීත් විශේෂ සාකච්ඡා දෙකක් පවත්වා ඇති බව පැවසේ.

                               ජනමත විචාරණය ගැන නීති තර්ක 

කෙසේ නමුත් නීති විශාරදයන්ගේ තර්කය වනුයේ ජනමත විචාරණයක් පැවැත්වීමේ අවස්ථා දෙකක් හිමි වන අතර ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් යොමුකර ජනමතයක් විමසිය හැකි වීමත්, දෙවැන්න පාර්ලිමේන්තුවේ පනතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් එහිදී ජනමත විචාරණයකට යා හැකි වීමත් බවය.

                                           මැතිවරණ කොමිසමේ සූදානම 

මේ කරුණු කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වුවද , ඊට පෙර මහා මැතිවරණය පැවැත් වුවද , මේ මැතිවරණ දෙකම එක විට පැවැත්වුවද ඒ සඳහා මැතිවරණ කොමිසම මේ වනවිටත් සුදානම්ය.ඇතැම්විට පළාත්පාලන මැතිවරණ ඊට පෙර පවත්වන ලෙසට අධිකරණ නියෝග ලබෙන්නටද ඉඩකඩ ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කටයුත්තක් මේ වන විටත් විභාගවෙමින් පවතින හෙයිනි.ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

                                           ඡන්ද දායකයන්   ලක්ෂ 170 කට වැඩි පිරිසක් 

ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා අතර ඒ අනුව මෙවර ලක්ෂ 170 කට වැඩි පිරිසක් ඡන්ද දායකයන් වීමට සුදුසුකම් සපුරා තිබේ. මේ අනුව සියයට අසුවක ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළහොත් ජයග්‍රාහකයා ලක්ෂ 70 ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුය.
ජනාධිපති රනිල් තවමත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් පසුගියදා කොළඹදී මැතිවරණ කාර්යාලයක් ඔහු අතින් විවෘත කෙරින.එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තිබේ.

                                            13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව  සජිත් කියයි 

තමන්ගේ රජයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිලිනොච්චිය භාරතීපුරම්හීදි පැවැසීය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතාකළ බවත් කෙලින් කතාකරන අයකු ලෙස තමන් බලයට පත්වූ පසු 13 වැනි සංශෝධනය ඒ අයුරින් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ සක්වළ වැඩසටහන යටතේ කිලිනොච්චිය භාරතීපුරම් මහ විද්‍යාලයට ලබාදුන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අපේ රටේ සමහර ප්‍රදේශවල සිංහල පමණයි කියා ඇතැමුන් පවසනවා. ඔවුන් රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් තුළ දරුවන් හතළිස් ලක්ෂය ගැන සිතා එසේ පවසන්නේ නෑ. ඔවුන්ගේ ඡන්ද මල්ල ගැන සිතා අප සිංහල පමණයි කියා පවසනවා. තවත් ප්‍රදේශවලට දමිළ පමණයි යනුවෙන් පවසනවා. දමිළ පමණයි කියා පවසන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතා නොවෙයි තමන්ගෙ ඡන්ද වැඩිකරගන්නයි. මා අද කිලිනොච්චියට පැමිණියේ ඡන්ද හදන්නවත් දෙමළ ඡන්ද මල්ලට දාගන්නවත් නොවෙයි.
පළාත් සභා මැතිවරණය පවත්වනවා
එසේම ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගත් පසු පළාත් සභා මැතිවරණය මේ වසර අග පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. පැරනි ක්‍රමය යටතේම එම පළාත් සභා මැතිවරණය පවත්වන බවද හෙතෙම පැවසීය.
ජනතාවගේ විශ්වාසය දිනාගෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනයද ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම සංශෝධනය යටතේ ඇති පළාත් සභාද අනිවාර්ය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

                                                     රාජිත සහ රනිල් 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ලෝකයේ උණුසුම් කතා බොහොමයකි. දැනට මාස ගණනාවක සිට රාජිත ආණ්ඩුවට යන බව විවිධ පිරිස් පැවසුවද රාජිත ආණ්ඩුවට එක්වීමක් සිදු වුයේ නැත. එසේ වුවද පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න එකට අසුන්ගෙන සිටියේ මෙල්වා සමාගමේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයේදීය. රාජිත සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරන කාලයේදී මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට අවසරදුන් අතර මේ වන විට එවැනි කර්මාන්තශාලා 19 ක් විවෘත කර තිබේ. මෙයින් මේ වන විට රටේ ඖෂධ නිෂ්පාදනය සිදුකරන අතරම විදෙස් විනිමය රටට ලැබේ.
රාජිත ආණ්ඩුවට යයිද ?
රනිල් සහ රාජිත දිගු කලක් තිස්සේ කිට්ටු මිතුරන්ය. 2014 දී රනිල් යහපාලන ආණ්ඩුව හදන්නට ජනධිපතිවරණයට තරග කරන ලෙස මුලින්ම ආරාධනා කලේ රාජිතටය. එහෙත් ඒ මොහොතේ ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන සුදුසු බවට රාජිත යෝජනා කළේය. මෛත්‍රීපාල ජනාධිපතිවරණ කරලියට ආවේ එලෙසය. රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රාජිතට අගමැති කම භාරගන්නට ආරාධනා ලැබුනද රාජිත එය ප්‍රතික්ෂේප කරමින් රනිල් සමගම සිටියේය. කෙසේ වෙතත් රාජිත ආණ්ඩුවට එක්වන්නේද යන්න තවමත් පැහැදිලි නැත.
මේ අතරේ යම් ලෙසකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග නොකරන්නේ නම් ඒ සඳහා රාජිත සේනාරත්නට තරග කරන ලෙසටද එජාපයේ ඇතැම් පිරිස් විසින් රාජිතගෙන් ඉල්ලීම් කර ඇති බව පැවසේ. ඒවාට රාජිත කිසිදු පිළිතුරක් ලබාදී නැත. 1972 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි රාජිත එදා මෙදා තුර මෙරට සෑම දේශපාලන කඳවුරක්ම නියෝජනය කර තිබේ. යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔහු කොතරම් ප්‍රායෝගිකදැයි රටම දැනගත් අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩිම සේවාවක් සිදුකල ඇමතිවරයා ලෙස ඉතිහාසගත විය. අද සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්ව තිබෙන තත්වය නිසා මෙරට ජනතාවට රාජිත වැනි ඇමැතිවරයකුගේ අවශ්‍යතාවය තදින් දැනේ.

                                       එජාප ජාතික ලේකම් ලෙස රවී වැඩට බසී 

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් තමා ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි ද දෙසතියක් තුල රටේ දේශපාලනිකව විශාල වෙනසක් සිදුවන බවටද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.
නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කර ගන්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් අපේ රට ඉදිරි දැක්මක් එක්ක ඉදිරියට ගමන් කරනවා. රටේ සහ ජනතාවගේ අනාගතය ඉතාම පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම රට සහ ජනතාව ගැන සිතා කටයුතු කළ දේශපාලන පක්ෂයක් බව ජනතාව දන්නවා” රවී ප්‍රකාශ කළේය.

                          ආණ්ඩුව විසුරුවා මාලිමාව ආසන 130 ක් ගන්නා බවට අනුර කුමාරගෙන් ප්‍රකාශයක් 

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.
අද වන විට ජාතික ජන බලවේගයට බලය අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය තත්ත්වය පැමිණ තිබෙන බවත් හෙතෙම කියා සිටී.ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද හම්බන්තොට දිස්ත්‍රික් එම පක්ෂ තරුණ සමුළුව අමතමිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පවත්වන මහ මැතිවරණයකින් තම පක්ෂයට ආසන 120-130 අතර ප්‍රමාණයක් හිමිවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.දැනට පාර්ලිමේන්තුවේ සිටින තම මන්ත්‍රීවරුන් තුන්දෙනා ඉදිරි මහ මැතිවරණයෙන් පසු එකසිය විස්සක් හෝ එකසිය තිහක් සීමාවට පැමිණෙනු ඇති බවද හෙතෙම එහිදී විශ්වාසය පළ කළේය.

                                             දේශීය කර්මාන්ත වලට ඉඩක් නැහැ 

කවුරුන් කුමක් කිව්වත් රට දැන් සිටින්නේ ගිනි කන්දක් උඩය . රටේ දේශීය නිෂ්පාදනය ඉහල නංවන්නට කිසිදු පියවරක් නොගන්නා තරම්ය. දහසක් වචන ප්‍රකාශ කලද ප්‍රයෝගිකව සිදුවන දේ අල්පය. තවදුරටත් ණය මත යැපීම හා ණය නොගෙවා සිටීමත් නිසා අද ඩොලරය අඩු මට්ටමක පැවතියද කිසියම් හෝ ආශ්චර්යයක් සිදු නොවුනහොත් තවත් මාස ගණනාවකින් හෝ වසර කීපයකින් යලිත් වරක් දැඩි අර්බුද රැසකට මුහුණදීමට සිදු වනු ඇත. දේශීය කර්මාන්ත නංවන්නට පැහැදිලි ක්‍රියාමාර්ගයක් දැනට ගන්නා බවක් නොපෙනේ. එසේ නොමැතිව රට දියුණු කල නොහැකිය. දේශීය කර්මාන්තවලට ලබා දුන් ප්‍රමුඛතා සියල්ල ඉවත් කර තිබේ. රටේ ජනතාවට රැකියා දෙනවාද , විදෙස් සමාගම්වලින් කොමිස් ගන්නවාද යන්න රජයේ ඉහල නිලධාරීන් තම තමන්ගෙන්ම විමසා ගතයුතු තැනකට මේ වන විට රට පැමිණ තිබේ.

                                   මන්ත්‍රී වාහන පර්මිට් මේ මොහොතේ අවශ්‍යද ?

මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදීම සඳහා විවිධ උත්සාහයන් ගන්නා බව සඳහන්ය. මේ වන විට එය නතර වී ඇත්තේ ජනාධිපතිවරයා ළඟය. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරි මැතිවරණවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.රටේ බහුතර ජනතාව වේලක් නොකා වේලක් තත්වයක් තුල මෙවැනි යෝජනා ගෙන ඒමට උත්සහ කරන පිරිස්වලට ලැජ්ජාවක් තිබේදැයි යන්න ගැටලුවකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්ට වාහන පර්මිට් ලබා දීම ලොව කිසිදු රටක ක්‍රියාත්මක නොවන ලජ්ජා සහගත ක්‍රියාවලියකි. ඉහල පෙලේ රජයේ නිලධාරීන්ට ලබාදුන් වාහන පර්මිට් වලින් සියයට අනුවක්ම විකුණා තිබේ. මෙයින් රටට අහිමිවූ බදු ආදායම බිලියන කීයක්දැයි ගණන් බැලිය යුතුය. ඉහල නිලධාරීන් විශාල පිරිසක් තම පුද්ගලික වාහන සඳහා ඉන්ධන දීමනා ලබා ගනිමින් රජයේ වාහන භාවිත කරති.

ආණ්ඩුව දැන් කලයුත්තේ ඒ සියලු මුදල් එකතු කර හොඳ පොදු ප්‍රවාහන සේවාවන් ඇති කිරීමය.පොදු ප්‍රවාහන සේවා ඇති කල යුත්තේ පුද්ගලික බස් රථ සංගම් නායකයන්ගේ අවශ්‍යතා අනුව නොව සෑම විනාඩි කීපයකටම වරක් බස් රථ සියලු මාර්ගවල ගමන් ගන්නා ලෙසටය. එවිට ජනතාවටද පහසු වන අතර බස් හිමියන්ගේ ආදායමද ක්‍රමයෙන් වැඩි වනු ඇත. නව ක්‍රමයට අනුගත නොවන පිරිස් බස් ධාවනයෙන් ඉවත්කොට පොරොත්තු ලේඛනවල සිටින පිරිස් වලට අවස්ථාව ලබාදිය යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan