*
Monday, July 22, 2024
spot_img

Latest Posts

ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන චින්තනය යටතේ දේශපාලනය දකින්න අපි හුරු වෙලා නැහැ – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ලොව සිදු වූ මිලේච්ඡතම සංහාරය යනුවෙන් බොහොමයක් දෙනා හඳුන්වන්නෙ නාසීන් විසින් සිදු කරන ලද යුදෙව් සංහාරයයි. නමුත් අවසානයේ ජර්මානුවන් ‘නියුරම්බර්ග් නඩු තීන්දුව’ ගෙනාවා. එයින් අනීතික භාවිතාවන් හා යුධ අපරාධ සිදු කළ සියලුම නාසි හමුදා භටයන්ට හා ඒවාට අනුබල දුන් සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් නඩු තීන්දුව ලබා දුන් ‘නියුරම්බර්ග් නඩු තීන්දුව’ අපි දකින්නෙ ජාතියක් තම හෘද සාක්ෂියේ ප්‍රශ්න කිරීමෙන් බේරීමට ගත් යහපත් වෑයමක් විදියටයි.

එලෙසින් හෘද සාක්ෂිය ප්‍රශ්න නොකරන ජාතියක ඉදිරිය සැබැවින්ම අනතුරුදායකයි. ගෝඨාභය එළවා දැමූ පසුවත් ඉරාජ් වැනි අය කුමන්ත්‍රණය පිළිබඳ පොත් මාර්කට් කිරීමට වෑයම් කරන්නේ අපේ රටේ මිනිසුන් ජාතියක් වශයෙන් හෘද සාක්ෂිය ප්‍රශ්න නොකළ නිසයි. එසේ කළා නම් පශ්චාත් රාජපක්ෂ නැගිටීමකට ලේශ මාත්‍ර ඉඩක් හෝ අපේ රටේ නොතිබෙනු ඇති . බැසිල් ඡන්දෙට ඒමක් තියා පොදු සමාවකටවත් සිරගෙයින් නිදහස් නොවනු ඇති . නමුත් එය එසේ සිදු වූයේ නැත . හරියට එලෙස කෙලෙස වගේ තමයි….

2013 වසරේදී මෙම ලිපිය ලියන මං ජනරළ පුවත් පතේ විශේෂාංග රචකයෙකු වශයෙන් සේවය කළා. එම වසරේ අගෝස්තු මස පළමුවැනිදා රාජපක්ෂවරුන්ගේ කුරිරුතම අත්දැකීමක් මගේ ජනමාධ්‍යය ජීවිතයට වගේම ඉතිහාසයට ද එකතු වුණා. ඒ අන් කවරක්වත් නොව හමුදා සොල්දාදුවන් විසින් සිවිල් වැසියන්ට වෙඩි තබා පාසල් සිසුන් දෙදෙනෙකු වන ‘රවිශාන්’ හා ‘අකිල’ යන නව යෞවනයන් දෙදෙනාව රතුපස්වලදී ඝාතනය කර දැමීමයි.

මෙම සිදුවීමෙන් මහත් කම්පාවට පත් වූ මා ජනරළ පුවත් පත වෙනුවෙන් එම සිදුවීම් දාමය සොයා රතුපස්වලට ගිය ඒ සීතල මූසල රාත්‍රිය මට අද මෙන් මතකය. මා එම ආර්ටිකලය ලියා අවසන ප්‍රියන්ත ලියනගේ සහෝදරයා සමඟ ඒ පිළිබඳව කළ කතා බහේදී ඔහුගේ දෙනෙත් තෙත් වූ ආකාරයද තවමත් මහද නැංගුරම් ලා තිබේ.

මා එම ලිපිය ආරම්භ කොට තිබූ ආකාරයෙන් කොටසක් මෙහි ගෙනහැර දක්වන්නෙමි.

“ආරක්ෂාව පතාගෙන පල්ලිය ඇතුළට දිව්ව මිනිස්සුන්ටත් හමුදා භටයො වෙඩි තිව්වා…අතුරු පාරවල් දිගේ පන්න පන්නා වෙඩි තියනවා ඇහින් දැක්ක මිනිස්සු කියන්නෙ සනුහරේ කාවවත් හමුදාවෙ රස්සාවට යවන්න එපා කියලා. යුනිෆෝම්කාරයන්ට වතුර උගුරක්වත් දෙන්නෙ නෑ කියලා.”

එදා රතුපස්වල සිදුවීම් දාමය ආරම්භ වූයේ එක්තරා පෞද්ගලික ආයතනයක අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඒ අවට ජල මූලාශ්‍ර අපිරිසිදු වීම සම්බන්ධයෙන් වූ ජනතා විරෝධතාවයක් වශයෙනි. ඉතිහාසයේ සරදමක් සේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව රාජපක්ෂ රෙජීමය ගෙන ගිය මානුෂීය මෙහෙයුම ආරම්භ වූයේ ද මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා හටගත් ජල ප්‍රශ්නයක් හේතුවෙනි.

විකල්ප ජනමාධ්‍යවේදීන් අතර එකල කුප්‍රකට කටකතාවක් තිබුණි. එනම් මාවිල්ආරු සොරොව්ව වසා දැමුවේ ඊලාම් ත්‍රස්තවාදීන් නොව අපේම හමුදා භටයන් විසින් බවය. මෙහෙයුමට මානූෂීය මුහුණුවරක් දීම සඳහා එම පියවර ගත් බව එකී කට කතාවෙන් කියවුණි. කෙසේ වුව එහි සත්‍ය අසත්‍ය බව අපට නිවැරදිවම කිව නොහැක. මන්ද අපගේ ජාතිය ප්‍රශ්න කළ ‘නියුරම්බර්ග් නඩු’ තීන්දුවක් අපට නොමැති නිසාවෙනි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එදා එම සිසුවෙකුගේ මළ ගෙදරකට පැමිණ සිටි අතර එහිදී මා ඔහුගෙන් විමසා සිටියේ මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබතුමා මොකක්ද කියන්නෙ කියලයි. ඉංග්‍රීසියෙන්ම ප්‍රශ්නය ඇසූ මා හට එදා ඔහු ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නේ මෙසේය.

” I don’t want to talk to you”’I already know what are you asking’’

සැබැවින්ම අදටත් එම ප්‍රශ්නයට පිළිතුරක් නොමැති වුවද මළගිය සිසුන්ගේ නිවැසියන්ව රාජපක්ෂ රෙජීමය විසින් සනසවන ලද්දේ මුදල් පරිත්‍යාගයක් මඟිනි. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තියරියෙන් ඒ විදියට තවත් මානුෂීය ප්‍රශ්නයක් විසඳුණා. අර ෆැක්ටරිය නම් මං දන්න විදියට තාමත් වැඩ.

ඉතිං, වසර එකොළහකට පමණ ඉහත මේ අතීත සිදුවීම් දාමය මේ අයුරින් එකවරම මෙසේ අප ඔබ හා කියන්නේ ඇයි? දැයි කියා දැන් ඔබට සිතෙනවා ඇති. එසේ නම් දැන් අපි ඔබේ ඒ පැනයට පිළිතුරු දීම අරඹන්නෙමු. රටක ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියට නොමැති ආත්මීය ක්ෂතියකින් (Subjectivity Trauma) පෙළෙන කලාකරුවන් මෙරට තවමත් ජීවමානව සිටින්නෝය. ඔවුන් මහජාතියට අමතක වන අපරාධවල යුක්ති යුක්ත භාවය අනාගත පරපුර හමුවේ තබන්නේ සරස්වතී දේවියගේ මගේ යමින් කලාව හරහාය.

මෑතකදී පළ වූ ‘ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගේ’ ‘මගෙ කොරියානු පෙම්වතී’ නමැති කවි එකතුවෙහි එන ‘රතුපස්වල ඔටුවෝ’ නමැති පැදි පෙළ මඟින් ඉහත සිදුවීම ලාංකීය ප්‍රජාවගේ මනස් තුළ යළි ප්‍රශ්න කරවීමකට බඳුන් කර තිබේ.

‘ප්‍රසාද් නිරෝෂයන්’ අතිශය රෝමෑන්තික කවියෙකු ලෙසත් අතිශය දේශපාලනික කවියෙකු ලෙසත් උක්ත කෘතිය හරහා ලාංකීය ප්‍රජාවගේ හෘද සාක්ෂිය යළි යළිත් ප්‍රශ්න කරවන්නේ සැබෑ නිර්මාණකරුවෙකුගේ භූමිකාවට අවතීර්ණ වෙමිනි. නීතියේ දෙව්දුව වන තේමීස්ගේ දෙ ඇස් කළු පටියකින් බැඳ ඇති බැවින් ඇය රතුපස්වල ඛේදවාචකය නොදුටුවද කවියා සහ සහෘදයෝ පියවි දෙ ඇසින් හා මනා සිහිබුද්ධියෙන් උක්ත ඛේදවාචකය දුටුවෝය. ඇසුවෝය. සිහිතබාගත්තෝය.

නමුත් ඒ පිළිබඳ කිසිඳු නීතිමය ක්‍රියාවලියක් නම් සිදු නොවීය. ඉතිං එවැනි නපුංසක නීතියක් ඉදිරිපිට පවා හදවත් ඇති නිර්මාණකරුවන් තම නිර්මාණයන් හරහා දේශපාලකයන් විසින් සඟවන ලද යථාර්ථයන් තම නිර්මාණයන් තුළින් ඉස්මතු කරවනු ලබයි. මෙයට පෙරාතුව අප ලියූ ‘නාලන්ද ඝාතන නඩුව යළි කැඳවාවිද?’ යන ලිපියට නිධානය වූ ‘ප්‍රසාද් වීරසේකරගේ’ කෘතියත් අප මෙම කියන කාරණාවට අදාළව සටන් වැදි කෘතියකි. සැබැවින්ම ලෝකය තුළ කවිය මළ භාවිතාවක් වුවද අප වැනි රටක කවිය ජීවමාන භාවිතාවක් බවට පත් වන්නේ මෙවැනි සහෘද මැදිහත් වීම් නිසාවෙනි.

රතුපස්වල සිදුවීමට මුල් වූ පුද්ගලික කර්මාන්තශාලාව අදටත් සිය වැඩකටයුතු කරගෙන යන අතර ඝාතනයට ලක් වූ සිසුන් දෙදෙනා ඝාතනය කළ හමුදා වෙඩික්කරුවන් අදටත් අඥාතය. ඉතිං සැබැවින්ම ‘නන්දා මාලිනියන්’ කීවා සේ ‘කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්.’

මේ දේශපාලනික ප්‍රවේශයෙන් මඳක් ඔබ්බට යමින් අපි ක්‍රමයෙන් මෙකව් පොතේ මේ කියන කවිය නිර්මාණය වී තිබෙන ආකාරය දෙසට විචාරාක්ෂිය හෙළා බලමු. ‘රතුපස්වල ඔටුවෝ’ නම් මෙකව කවියා විසින් පටන් ගන්නා ලද්දේ පුවතක් උද්ධෘත කොටගෙනය. එම පුවතෙන් කියවෙන්නේ ජල හිඟයට ඔටුවන් වතුර පානය කිරීම හේතුවක් වන බැවින් ඕස්ටේ්‍රලියානු රජය ඔටුවන් මැරීමට තීරණය කර ඇති බවයි.
සැබැවින්ම එම පුවත සත්‍යය පුවතක්ද? අසත්‍ය පුවතක්ද? යන්න අපි නොදන්නෙමු. නමුත් කවියා මෙහිදී යොදාගෙන තිබෙන තාක්ෂණික ප්‍රවේශය හරහා ගම්‍ය කරවනුයේ ඔටුවන් සේම මෙරටදී මිනිසුන්ද මරා දැමිය හැකි බව නොවේද?. ඉතිං ඕස්ටේ්‍රලියාවේ මරා දැමුවේ ඔටුවන්ය. මෙරට මරා දැමුවේ පාසල් සිසුන්ය. ඉතිං නඩු ගොනු වුවද මෙසේ නොකියා සිටින්නට නම් බැරිය.

පාසල් සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීමක් විභාග නොකළ ලාංකීය නීතිය කෙතරම් පරුෂ වචනයකින් ඇමතිය යුතු ප්‍රපංචයක් ද කියා ඔබේ හදවතින් අසා බලන්න. ‘මගෙ කොරියානු පෙම්වතී’ කෘතියේ රචකයා වන ‘ප්‍රසාද්’ නොකියා පාඨකයා හට සම්මුඛ කරවන උත්ප්‍රාසය එයයි.

මෙම ලිපිය ටිකක් සැර පරුෂ ගති සොබාවකින් යුක්ත වීම පිළිබඳව පාඨක ඔබෙන් සමාව අයදින්නෙමි. ඉතිං දැන් අපි සාදෘශ්‍යයන් විතැන් කරමින් මෙකී කවි පොතේ රොමෑන්ටික් කවියකට අපේ අක්ෂර එකතුව පොළා පන්නවා බලමු. නමුත් මේක රොමෑන්ටික් කිව්වට අපගේ කියවීම් වපසරියට අනුව මේක අනියම් පෙමකට වැඩි වශයෙන් නෑකම් කියන ආකාරයක් තමයි දෘශ්‍යමාන වන්නේ.

කොහොම නමුත් මහා ආඛ්‍යාන (Grand Narrators) වගේම ස්ථීර නිර්වචන අහෝසි වුණ මේ පසු නූතන සමාජය තුළ අපේ අදහසටත් ඉඩක් නොමැතිවා නොවේ. මෙකව තමයි පොතේ නාමයට යොදාගෙන තිබෙන ‘මගෙ කොරියානු පෙම්වතී’

තරමක දිගු කවියක් වන මෙය අනියම් පෙමක් යැයි කියා අප විසින් හැඳින්වීමට හේතු වූ ප්‍රධානම යතුර පහතින් උද්ධෘත කොට දක්වන්නෙමු. ‘රෝලන්ඩ් බාත්’ නමැති බුද්ධිමතා හඳුන්වා දීපු ‘Limited Plurality ‘ නැතිනම් ‘සීමිත බහුත්ව රූපණය’ තමා මේ ආකාරයෙන් මෙකව කියවා ගැනීමට කියන තාක්ෂණික නාමය. සීමිත බහුත්ව රූපණය කියන්නෙ කිසියම් හෝ නිර්මාණයක් කියවීමට හෝ කියවාගැනීමට එම නිර්මාණය අභ්‍යයන්තරයෙන්ම නිර්ණායක සොයා ගැනීමයි.

සරල උදාහරණයකින් එය ඔබට පැහැදිළි කරන්නට උත්සාහ කරන්නම්. හිතන්න ‘අයිස්’ සාමාන්‍ය ජීවිතයේදී යොදා ගන්නෙ දේවල් සීත කරලීම සඳහා වුවත් කිසියම් හෝ නිර්මාණයක වියමනක් (Text) ඇතුළෙ අයිස් කියන දේ නිතර භාවිතා වෙලා තියෙන්නෙ ක්ෂණිකව දේවල් ඉවර වෙන බව පෙන්වීමට කියලා හිතන්න. මේ සඳහා හොඳම නිර්මාණාත්මක උදාහරණය තමයි ‘ගාබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගෙ One Hundred Years Of Solitude හි එන මැකොන්ඩොවේ කැප්ටන් කියන මෙන්න මේ දෙබස. “අපේ කාලයේ විශිෂ්ටතම සොයා ගැනීම තමයි අයිස්.” ඒකෙන් අදහස් වෙන්නෙ හැම දෙයක්ම Instant වෙලා කියන එකයි. එහෙම නැතුව අයිස් කියන්නෙ මහා සොයා ගැනීමක් කියන එක නෙමෙයි. අන්න ඒ වගේ රූපිකාර්ථ කියවගන්න බාත්ගෙ මේ තාක්ෂණික ක්‍රමය මසුරන් වටිනවා. දැන් බලන්න උක්ත අප කී කවේ පහත උද්ධෘතය.

“ඒ වුණත් පෙම්වතී
මගෙ ජීවිතේ මෙහෙයවන යතුර
මට නැතිවෙලා ටික කාලයක් වෙනවා
ඔව්, ඔයාට ඒක නැතිවුණේ
මටත් කළියෙන් බව දන්නවා” (උපුටා ගැනීම-මගෙ කොරියානු පෙම්වතී. පිටුව 17)

දෙදෙනෙකු සම්මත විවාහ ජීවිතයකට ඇතුළත් වූ පසුව බොහෝ දුරට ඔවුන් ප්‍රේම කිරීම නවතා දමනු ලබනවා. මන්ද සිය ප්‍රේමාන්විතයේ ගමනාන්තය විවාහය බව කියායි ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සිතන්නේ. නමුත් මෙම අවස්ථාවේදී අපට මහා පණ්ඩිත විදියට අර ලැකාන්ගෙ ආදරය සම්බන්ධ රූපිකය මතකයට නැගෙනවා. ලැකාන් කියන්නෙ කල්පිත වෘක්ෂයකින් පහළට අතක් දිගු වන විට එම අත අල්ලා ගැනීමට තවත් අතක් එම වෘක්ෂයෙන් පහළට දිගු වන බවයි.

නමුත් මේ දෙ අත් කිසිදිනෙක එකිනෙක ස්පර්ශ වන්නේ නැහැ. ඉතිං ඒ අනුව බලද්දි ලැකාන් තමයි නිවැරදිවම ආදරයට පර්යාය කථනයක් ලබා දී තිබෙන්නේ. මන්ද කිසිවිටෙකත් ලැකාන් පවසන ආකාරයට ආදරයට ගමනාන්තයක් නැහැ. ආදරයට ගමනාන්තයක් නොමැති බව තේරුම් ගත් විට විවාහ දිවිය තුළ මතුවන අර ඇල්මැරෙන උදාසීන ගති සොභාවයන් සඳහා කොහෙත්ම ඉඩක් නැහැ. කොටින්ම කියනවා නම් ඔවුන් හැමදාමත් ආදරය සොයා ගවේෂණයක යෙදෙනවා.

නමුත් ප්‍රසාද්ගෙ මෙ කවි පොතේ එන මෙම කවියේ කථකයා අත්විඳින්නේ එලෙසින් ආදරයට ගමනාන්තයක් නැතැයි කියන පරාසය නොව ඇතැයි කියන පරාසයයි. එම නිසයි මේ දක්ෂ කවියා ඉතා කුඩා පද කීපයකින් සහෘදයාට මෙසේ පවසා තිබෙන්නේ.

“සංස්කෘතික කොරියානු වහල්බැමි හරි නපුරුයි” (උපුටා ගැනීම-මගෙ කොරියානු පෙම්වතී. පිටුව 17)

කොරියානු නාට්‍ය, කොරියානු සිනමාව, කොරියානු ටී.වී. සීරියස් අතිශය ජනප්‍රිය වෙලා තියෙන කාල වකවානුවක ප්‍රසාද් ඉතා දක්ෂ අයුරින් ඇරිස්ටෝටල්ගෙ තර්ක ශාස්ත්‍රයේ භාවිතාවක් වෙන ‘සාදෘශ්‍ය විතැන් කිරීම’ කියන කාරණාව හරහා අනියම් ප්‍රේමය කාව්‍යාලෝකනයකට හසු කරගෙන තියෙන්නෙත් පොතේ නාමයට එය යොදාගෙන තිබෙන්නෙත් සූක්ෂම වෙළඳ මොළයකින් බවයි අපට නම් හැඟෙන්නෙ.

සාදෘශ්‍ය විතැන් කිරීම කියලා කියන්නෙ පේන්න තියෙන දෙයින් එපිටට තර්කය අරන් යන එකයි. එහෙමත් නැතිනම් පේන්න තියෙන ප්‍රස්තූත විෂයෙන් එපිටට කතාව නාභිගත කිරීමයි. ඒකටත් සරල උදාහරණයක් අරන් බලමුකො. දැන් ‘ඒ’ සහ ‘බී’ කියලා දෙන්නෙක් කතා වෙනවා පොතක් ගැන. ‘ඒ’ තමා පොත ගැන කතා කරන්නෙ. ‘බී’ ට පොත් ගැන වැඩිය දැනුමක් නැහැ. ඒ නිසා ‘බී’ කරන්නෙ එයාට පේන තැනක තියෙන පත්තරයක් අතට අරන් පත්තරය ගැන කතාවක් පටන් ගන්න එකයි. අන්න ඒකට තමයි සාදෘශ්‍ය විතැන් කිරීම කියලා කියන්නෙ.

“මගෙ කොරියානු පෙම්වති” කියන්නෙත් පැහැදිළිවම සාදෘශ්‍යයන් විතැන් කරපු කවියක් වගේම පොතක්. මොකද ඒක අන්තර්ගතය අතින් බලද්දි පට්ට දේශපාලනිකයි. හැබැයි ග්‍රන්ථ නාමය අතින් බලද්දි පට්ට ප්‍රේමණීයයි.

ඒ වගේම මේ පොතේ අපේ හිතට වැදුණු තවත් පට්ටම කවියක් තමයි “සංඥා” කියන්නෙ. ඒක නම් කතා කරන් නැතුවම බැරි කවියක්. මේක කියවද්දි අපිට මතකයට ආවේ මහගම සේකරයන් අවුකන පිළිමය ගැන ලියලා තිබ්බ කවියයි. කොහොම නමුත් ප්‍රසාද්ගෙ නිර්මාණය කොහෙත්ම සේකරගෙ නිර්මාණයේ කොපියක් නම් නෙමෙයි.

සංඥා කියන මේ කවියෙන් කියවෙන්නෙ පන්සල් භූමියක නැතිනම් භාවනා අසපු භූමියක සංඥා කුලුනක් ඉදිකිරීම ගැනයි. මේ ගැන යථාර්ථවාදී වෙන අසපුවේ හිමි නම සංඥා කුලුනට පිටු පාලා භාවනා කරන්න පටන් ගන්නවා. නමුත් අද අපිට හමුවන බොහොමයක් බෞද්ධ භික්ෂූණ් නම් ඒ වගේ භාවිතාවන්වල නිරත වෙන්නෙ නෑ.

අනිත් එක ගිහියන් අතේ නැති වුණත් ඒ අය අතේ නම් ‘ස්මාර්ට් ෆෝන්’ එකක් වරදින්නෙම නෑ. බුදුන්වහන්සේ වදාළ ධර්මයට අනුව සියලු සංඥාවන් නිරුද්ධ කළ යුතුයි. එවිටයි භික්ෂුවකට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ. නමුත් අද වන විට බහුතරයක් භික්ෂූන් කරන්නෙ සංඥා අතහැරීම වෙනුවට සංඥා ගොඩගසා ගැනීමයි. අසපු භූමිය තුළම සංඥා කුලුන ඉදි කිරීමේ කාව්‍යාත්මක උත්ප්‍රාසය එයයි.

ඉතිං මේ කවියා සැබැවින්ම අපගේ හද මනස සොරා ගන්නා සැබෑම කවි භාවිතාවකින් හෙබි කවියෙකු බවට තවත් උදාහරණ අවැසිද???.
එමෙන්ම ජන කවියේ ආභාසයත් රැකියා විරහිත උපාධිධාරියාගේ සිට පන්සලේ හිමි නම පවා මුහුණ දෙනු ලබන දේශපාලනික සන්දර්ශනයන්වලත් කාව්‍යාත්මක සන්නිදර්ශනයක් හැටියට ප්‍රසාද්ගෙ “මගෙ කොරියානු පෙම්වතී” කවි එකතුව හඳුන්වන්න පුළුවන්.

සැබැවින්ම ප්‍රසාද්ගේ මේ නිර්මාණයට ලංකා නිවුස් වෙබ් අඩවිය මුළු හදවතින්ම සුබ පතන අතරම පොඩි සංවාදයකට ප්‍රසාද්ව සම්බන්ධ කරගන්නත් අපි අමතක කළේ නෑ. මොකද කවිය සම්බන්ධයෙන් විතරක් නොවෙයි සිනමාව සම්බන්ධයෙනුත් ඔහු ප්‍රමාණාත්මක බුද්ධිමතෙක්. ඒ නිසා ඔහුගේ හඬට අපේ අවකාශයෙන් ඉඩක් ලබා දිය යුතුයි කියලා අපි විස්වාස කරනවා.

ඉතිං මෙතන ඉඳන් පහතින් පළ වෙන්නෙ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලංකා නිවුස් වෙබ් අඩවිය සමඟ සිදු කළ සාකච්ඡාවයි.

ප්‍ර. ඉතිං ප්‍රසාද්….අපි මේ කතා බහ බොහොම සරල තැනකින් ආරම්භ කරමු. ‘මගෙ කොරියානු පෙම්වතී’ කවි පොතේ එන කවි ඔබ නිර්මාණය කළේ කෘතියක් උදෙසාමද නැතිනම් ඒවා තැනින් තැන පළ වූ ඔබේ නිර්මාණවලින් නිකුත් කළ එකතුවක්ද???

පි. වේගයෙන් කවි ලියන එක මං අතින් කවදාවත් වෙන්නෙ නෑ. කොළයකුයි පෑනකුයි අරන් වාඩි වෙලා දැන් මං කවියක් ලියනවා කියලා හිතලා කවියක් ලියන්න හැකියාවක් මට කවදත් නෑ. ඉතිං පොතක් ගැන හිතලා කවි ලියනවා කියන එක කවදාවත් මං අතින් වෙන්නෙ නෑ.
නමුත් වසරකට කවි පොත් දෙක තුනක් පවා ලියලා පළ කරන සමහර කවියෝ ඉන්නවා. ඒ වගේම සමාජ ජාලවල මං දකිනවා දිනපතා කවියක් ලියලා පළකරන අය පවා. එහෙම කරන එක වැරදි කියලාවත්, ඒක කරන්න බැරි දෙයක් කියලාවත් නෙමයි මං කියන්නෙ. ඇත්තටම ඒ අයගේ හැකියාව ගැන මට පුදුමයි. ඒ විදිහේ වේගයෙන් ලියලාත් ඒ ඇතැම් අයගේ කවි ඉතාම හොඳ නිර්මාණ.

ඇත්තටම මේ පොතේ තියෙන්නෙ කාලයක් තිස්සෙ මං අතින් ලියැවුණු නිර්මාණ. වෙනත් විදිහකට කියනවානම් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අවසන් වසරේ දෙකේ ඉඳලා පොත පළවෙන දා වෙනකම් විටෙන් විට ලියැවුණ ඒවා. ඒ සමහර ඒවා පත්තරවල පළ වුණා. සමහර ඒවා ලංකාවේ කවීන්ගේ නිර්මාණ එකතු කරලා පළකළ ප්‍රකට කාව්‍ය සංග්‍රහවල පළවුණා. තවත් ඒවා ෆේස්බුක් එකේ පළවුණා. මේ පොතේ පමණක් පළවුණු නිර්මාණ කිහිපයකුත් ඒ අතර තියෙනවා.

ප්‍ර. මා සමඟ සංවාදයේ යෙදී තිබෙන බොහොමයක් කවියන් කියලා තියෙන දෙයක් තමයි ප්‍රසාද් දේශපාලනික නැතිනම් කවිය කවියක් නෙමෙයි කියලා. ඔබ ඉන්නෙත් ඒ මතයෙමද? මං අහන්නෙ ප්‍රසාද් කවිය දේශපාලනික විතරක් නෙමේ දාර්ශනිකත් වුණොත් කොහොමද???

පි. ඒ දෙකමත් නැතිව කවියක ප්‍රබල භාවාත්මක තැවරුමක් පමණක් වුණත් තියෙන්න පුළුවන් කියලයි මං හිතන්නෙ. උදාහරණයකින් කියනවා නම් එකපාරට ඈත අහසේ දැල්විලා අවට ලෝකය එළිය කරලා නිවිලා යන අකුණු පහරක් වගේ යම් කවියකට පුළුවන් අවශ්‍යනම් රසිකයාගේ හදවතේ නිලීන වෙලා තිබුණ සියුම් භාවයක් ක්ෂණිකව දල්වලා අතුරුදන් වෙලා යන්න.

ඒවගේ නිර්මාණයක දේශපාලනය හරි ගැඹුරු දාර්ශනික චින්තාවක් හරි කැටි වෙලා තිබුණේ නෑ කියලා ඒක කවියක් නෙමෙයි කියලා අපි කියනවානම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි කියලයි මම හිතන්නෙ. අනික් කාරණය තමයි බැලූ බැල්මට දේශපාලනික හෝ දාර්ශනික නිර්මාණයක් නොවන කවියක උනත් දේශපාලනික හා දාර්ශනික යටි අරුත් තියෙන්න පුළුවන්.

ඒක ඒ ඒ රසිකයාගේ සියුම් කියැවීමේ හැකියාව හා ඔහුගේ හෝ ඇයගේ අත්දැකීම්වලට අනුවයි සිදුවන්නේ. මේ පොතේ තියෙන මගෙ කොරියානු පෙම්වති කියන නිර්මාණය උනත් බොහෝ අය හුදු ආදර කවියක් විදිහට ගන්න කැමති උනත් ඒ යටින් කියැවෙන සමාජ දේශපාලනික කතාවකුත් තියෙනවා කියලා කියන්න පුළුවන්.

ලංකාව තුළ බොහෝ විට ඔබ ඇසූ දේශපාලන සංවාදය මතු වෙන්නෙ කලාවේ භෞතිකවාදය හා විඥානවාදය ගැන කාලයක් තිස්සේ අපේ රටේ ආපු සංවාදය නිසා. ඒ සංවාදයේ ඒ ඒ පැත්තට වැඩිය කැමති රසිකයින් කලාවේ හරය තමන් දකින මානයෙන් දකින්න උත්සාහ කළා. ඒ සංවාදය අපේ රටේ සාහිත්‍ය කලා ආදියට විශාල සේවයක් කළා තමයි. එහෙම උනත් තවත් පැත්තකින් කලාවේ බහුවිධත්වය දකින්න තියෙන නැඹුරුව විචාරශිලීත්වය තරමක් දුරට අඩු රසිකයාගෙන් ඈත් කරන්නත් ඒක පාදක වෙලා තියෙනවා.

වෙනත් රටවල එහෙම නෙමෙයි. ඒ අය කලාවේ කාර්යයන්, ශානරයන් වගේ සියල්ල කෙරේ විවෘත මනසකින් බලනවා අපිට සාපේක්ෂව.හැබැයි විශාල දේශපාලනික හා දාර්ශනික අරුත් සහිත කවි විඳින්න මං උනත් වැඩිපුර කැමතියි කියන එක මෙතනදි කියන්න ඕන.

ප්‍ර. මේ මොහොතේ ලංකාවේ දේශපාලනය පුරවැසියෙක් විදියට ඔබ දකින්නෙ කොහොමද??? මං අහන්නෙ මෑත අතීත ලංකාව ගැන නෙමේ. මෑත අතීත ලංකාවේ දේශපාලනය ගැන ඔබේ අදහස මම මේ ලිපියේ ප්‍රවේශය තුළින්ම සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මං අහන්නෙ මේ දැන්…මේ මොහොත ගැන…

පි. ලංකාවේ දේශපාලනය කියන්නෙ කවදත් අවුල් සහගත දෙයක්. පුරවැසියන් විදිහට අපි හුරුවෙලා ඉන්නේ දේශපාලනය කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි වෙනත් අය අපි වෙනුවෙන් කරන දෙයක් හැටියට හිතන්න. ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන චින්තනය යටතේ ඒ දේ දකින්න අපි හුරු වෙලා නෑ. යම් පිරිසකට බලය පවරලා ඒ අය කරන ඕනෑම දෙයක් යථාර්ථය විදිහට පිළිගන්නයි අපි හුරුවෙලා ඉන්නේ.

වෙන එකක් ඕන නෑ, මේ තරම් බංකොලොත් කළ රටක ඉන්න එදා වේල හොයාගන්න බැරි දුප්පත් මනුස්සයෙක් එක්ක කතා කරලා බලන්න. ඒ අයගෙන් බහුතරය හිතන්නේ තමන් දුප්පත් වෙලා තියෙන්නෙ සම්පූර්ණයෙන් තමංගේ වරද නිසා කියලා. නැතිනම් තමන්ගේ කරුමෙ නිසා කියලා ඒක ආගමික අර්ථයෙන් ගන්නවා. දියුණු ලෞකික සමාජ සාධකයන්ගෙන් තියා රටේ පුරවැසියා මූලික අවශ්‍යතාවන්ගෙනුත් විතැන් කරලා තියෙන එකේ දේශපාලනික සම්බන්ධය ඒ අය දකින්නෙ නෑ.

යම් පැලැන්ති දෙක තුනකින් එහා රටේ දේශපාලන අනාගතයක් දකින්න අපි හුරු වෙලා නැත්තේත්මේ සැබෑ පුරවැසිත්වයෙන් ඈත් උන දුප්පත් චින්තනය නිසාම තමයි. තවත් පැත්තකින් ඕක අපිට විතරක් නෙමෙයි දකුණු ආසියාවේ බොහෝ රටවල තියෙන නිධන්ගත රෝගයක් කියන්නත් පුලුවන්.

ඇත්තටම බැලුවොත් ජ්‍යොතිෂය, ධනාත්මක චින්තනය වගේ දේවලුත් මේ ක්‍රමය පවත්වාගෙන යන්ඩ විශාල වශයෙන් උදව් කරනවා. මොකද ඒ අය තමයි උගන්නන්නෙ මේ ගැටලුවලට මුළ ග්‍රහ තාරකා මිස දේශපාලනය නෙමෙයි කියලා. එහෙම නැතිනම්, මේ ගැටලු කවුරුත් නිසා නෙමෙයි මේවා ඇති වෙලා තියෙන්නේ තමන්ගෙම හිත නිසා කියලා. ඉතින් දිවා රෑ දෙකේ යන මේ මැතිරිලිවලට හුරුවෙලා ඉන්න මේ වගේ රටවල මිනිස්සුන්ගේ පුරවැසි භූමිකාව ඒ අයට හුරු කරනවා කියන එක ඉතාම අමාරු දෙයක්. මොකද මේ වැරදි දෘෂ්ටිවාදයන් පෙවිලා තියෙන්නෙ කිරිත් එක්කමයි.

ප්‍ර. සිනමාව පිළිබඳ අධ්‍යනය කරන්න ඔබ පෙළඹුණේ කොහොමද? ‘සිනමා ශානර මීමංසා’ නමිනුත් ඔබ කෘතියක් නිකුත් කරලා තියෙනවා නේද?

පි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයන් සිංහල විශේෂවේදී ගෞරව උපාධියක් ගත්තු මගේ මූලික අධ්‍යන විෂය උනේ භාෂාව හා සාහිත්‍යය. එතනදි සිනමාව සම්බන්ධ පොඩි පොඩි පාඨමාලාවනුත් ඇතුළත් උනා. තව පැත්තකින් ඒ වගේ විෂයක් හදාරන්න බෑ අනික් කලාවන් සම්පූර්ණයෙන් අයින් කරලා. නමුත් සිනමාව කියන විෂයට අවබෝධයෙන් යුතුව මම තදින්ම එළඹුනේ ඊටත් පස්සේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ මම ජනමාධ්‍යවේදියෙක් විදිහට රාවය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ වගේම මව්බිම පුවත්පතේ ආරම්භක කර්තෘමණ්ඩලයේත් වැඩ කළා. ඒ කරද්දී ප්‍රවෘත්ති සහ විශේෂාංග වගේ දේවලට අමතරව සාහිත්‍ය විචාර වගේම සිනමා කෘති සම්බන්ධ විචාරයනුත් මං අතින් ලියැවුණා. මේ සඳහා සිනමා කෘති නරඹන්න නරඹන්න මං සිනමාව ගැනත් මීට වඩා ශාස්ත්‍රීයව හදාරන්න ඕන කියන කාරණය මට හිතුණා.

ඒ වගේම මෙතෙක්කල් ලියමින් සිටි සිනමා විචාර සාහිත්‍ය විචාර ස්වරූපයෙන් බැහැරව, තව දුරටත් සිනමාව ගැන අවබෝධයෙන් කරන්න ඕන කියලා මට හිතුණා. ඒ අතර මං සිනමාව ගැන තව තවත් කියවන්නත් සිනමා කෘති නරඹන්නත් ගත්තා.

ඔය අතරේ මං දර්ශනපති උපාධිය කරද්දී එතනදිත් සිනමාව ගැන පාඨමාලාවක් මට හදාරන්න පුළුවන් උනා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යන අංශයේ. කොහොම උනත් සිනමා ශානර මීමංසා කෘතිය ලියන්න මූලික වශයෙන් ප්‍රයෝජන උනේ මගේ පොතපත කියැවීම ඇතුළු ස්වයං හැදෑරීමෙන් ලබාගත්තු දැනුම කියලා කියන්න පුළුවන්.

මේ පොත ලියන්න තවත් මූලික හේතුවක් උනේ සිනමාව ගැන සිංහලෙන් ලියැවිලා තියෙන කෘති ඉතා අල්ප වීමත්, විශේෂයෙන් මේ කෘතියේ කතා කරන මාතෘකා බොහෝමයක් ගැන සිංහලෙන් ලියැවිලාම නැති තරම් වීමත් කියන කාරණය ඒ හැදෑරීම් උත්සාහයේදී මට දැනුන එක.

ඒ වගේම මේ පොත ලියමින් ඉන්න කාලේ වොජිත් කරුණානායක වගේ සිනමාව ගැන විශාල අවබෝධයක් තියෙන යාලුවෝ මට මුණ ගැහුනා. සිනමාව ගැන තවදුරටත් හැදෑරීමටත් මේ කෘතියේ වැඩ සම්පූර්ණ කරගැනීමටත් ඒ මිත්‍රත්වය එක්ක ආපු පෙළඹුම වැදගත් වුනා.

කොහොම උනත් සිනමා ශානර මීමංසා කෘතියත් වසර තුන හතරක් තිස්සේ මහන්සියෙන් ලියපු එකක්.

ප්‍ර. ප්‍රසාද් අපි ආයිත් කවියට එමුකො. ප්‍රසාද් මට ඔබේ කවිය හරි ප්‍රභල විදියට දැනෙනවා. ඇත්තටම ඔබ කොහොමද ඒ තරම් ප්‍රභල ප්‍රස්තූත විෂයන් අක්ෂර අතර හසුරුවාගන්නෙ. ඒ කියන්නෙ ඔබ හිතට දැනෙන දේ එක පාරටම ලියලා ඉවර කරනවද? නැතිනම් කාලයක් අරගෙන ක්‍රමයෙන් නිර්මාණය පෝෂණය කරනවද?

පි. මේ පොතේ තියෙන බොහෝ කවි වලට ප්‍රස්තුත වෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීම්. එහෙමත් නැතිනම් පුරවැසියෙක් හා විශේෂයෙන් මාධ්‍යෙව්දියෙක් ලෙස මම ලැබුව සමාජ දේශපාලනික අත්දැකීම්. ඔබ කියූ ලෙස මේ කවි ඔබට දැනෙනවා නම් ඒකට මූලික හේතුවක් වෙන්න පුළුවන් ඒක. මොකද මේවා හිත හිතා ලියපු කවි නෙමෙයි, මොකක් හරි අත්දැකීමකින් ඇතිවූ කම්පණයක් නිසා ඉබේම ලියැවුණු ඒවා.

තමන්ගේ මූලික භාව ප්‍රකාශන මාධ්‍ය කවිය කරගත්තාම සමහර අත්දැකීම් තියෙනවා කවියක් ලියන්නෙ නැතිව ඉන්න අමාරු. ඒ වගේ අවස්ථාවක මටත් කවියක් ලියැවෙනවා හදිස්සියෙන් වගේ. එහෙම ලියලා හිතනවා මේක ලිව්වා හදිසි වැඩියි, ඒ නිසා පස්සෙ හදන්න ඕන කියලා. නමුත් පස්සෙ දවසක අරං බලද්දී ඒක තියෙනවාට වඩා හොඳට හදාගන්න බෑ. මොකද ඒ අත්දැකීම ඒ මොහොතේ දැනුනු විදිහට පස්සෙ දැනෙන්නෙ නෑ. ඒ නිසා සංස්කරණය කරන්න උත්සාහ ගත්තත් බොහෝ විට පසුකාලීනව ලොකුවට සංස්කරණය වෙන්නෙ නෑ මගේ කවි.

නිර්මාණකරණය හදාරද්දි අපි මූලික වශයෙන් ඉගනගන්න දෙයක් තමයි කලාකරුවා හා අනුභූතිය ගැන. එතනදි සාම්ප්‍රදායිකව කියැවෙන්නේ කලාකරුවාට යම් අනුභූතියක් ලැබුණාම ඒක වසර ගණනාවක් ඔහුගේ මනසේ පැහැව පැහැව තිබිලා පරිපාකයට පත් වෙලා තමයි අවසානයේ එක් මොහොතක කවියක් හෝ වෙනත් නිර්මාණයක් බවට පත් වෙන්නේ කියලා. නමුත් මේ පොතේ කවි දිහා බලද්දි මට හිතෙන දේ තමයි මේවා බහුතරය ඒ අත්දැකීම් ලත් විගසම වගේ තමයි මගේ අතින් ලියැවුනේ. එහෙම නැති කවිත් කිහිපයක් තියෙනවා. එගොඩවැල්ලේ ඇන්ටනී කියන්නේ එහෙම කවියක්. නමුත් ඒකත් පෞද්ගලික විඳීමක්. ඉතිං මේ කවි බහුතරය අත්දැකීමෙන් කම්පණය වූ විගසම වගේ ලියැවුණු ඒවා කියන උත්තරේ තමයි නිවැරදි.

ප්‍ර. මේ කවි එකතුවේ කල්පනා ඇම්බ්‍රෝස් සහ වොජිත් කරුණානායක පරිවර්තනය කරපු කවි දෙකකුත් අන්තර්ගත වෙනවා. ඇත්තටම ඔවුන් කොහොමද මේ වැඩේට සම්බන්ධ වුණේ???

ඒ දෙදෙනාම මුණ ගැහෙන්නෙම මගේ ලේඛන හරහා. ඇත්තම කියුවොත් මාලතී කල්පනා කිවිඳිය මගේ සමීප මිතුරියක් වන්නේම මේ පොතේ තියෙන පරිවර්තනය නිසාමයි. ප්‍රොමිතියස්ගේ නික්මයෑම කියන ඔය කවිය ලියන්නේ මං රාවය පත්තරේ වැඩ කරන කාලේ. ඉතිං ඊටත් කළින් ඉඳන්ම මං ඉතාම ජනප්‍රිය සහ වැදගත් කලා වෙබ් අඩවියක් වූ බූන්දියට කවි, විචාර ආදිය ලියනවා. පත්තරේ පළකරන සමහර සම්මුඛ සාකච්ඡා වගේ දේවලුත් බූන්දියට දානවා. මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කියන නම මං මුළින්ම දන්නෙත් බූන්දිය හරහා.

ඒ මුල් දවස්වල ගෙවල්වල අන්තර්ජාල පහසුකම් තිබ්බෙ නෑනේ. ස්මාර්ට් ෆෝනුත් නෑ. ඉතින් ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින් තමයි බූන්දිය පවා බලන්නේ. අනික ඒ දවස්වල රාවය පුවත්පතේ වෙබ් පිටුව අප්ඩේට් කළේත් මම. සතියේ දවස් පහේ රාවයේ වැඩ කරලා, සති අන්තේ නුවර ඇවිත් කැෆේ එකට යනවා වෙබ් එක අප්ඩේට් කරන්න. එහෙම දවසක් මාලතී මට ඊමේල් එකක් දාලා තිබ්බා එයා මගේ ප්‍රොමිතියස්ගේ නික්මයෑම කියන කවියට ගොඩාක් කැමතියි ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පර්මිෂන් දෙනවාද කියලා. ඉතිං ඒ කවිය ඇය පරිවර්තනය කරලා බූන්දියේ දැම්මා වගේම එදා ඉඳන් ඇය මගේ සමීපතම මිතුරියක් උනා.

වොජිත් මුණ ගැහෙන්නේ ඊට පස්සෙ කාලෙක. ඒත් අන්තර්ජාලය හරහාම තමයි. විශේෂයෙන් මං ලියන ඒවාට ඔහු ඉතා වැදගත් කමෙන්ට්ස් දානවා. විශේෂයෙන් සිනමාව ආදිය ගැන ඔහුට පුදුම හිතෙන දැනුමක් තියෙන බව මට තේරුණා. ඉතිං දවසක් මං කතා කළා ඔය වගේ මොකද්ද වැඩකට. මොකද ඒ වන විට මං සිනමා කෘතියේ වැඩ කරමිනුයි හිටියේ. අද වන විට ඔහුත් මගේ සමීපතම මිතුරෙක් වගේම මගේ බොහෝ ශාස්ත්‍රීය වැඩවලට ඔහුගේ දායකත්වය ඉහළින්ම ලැබෙනවා. මේ කවිත් ඔහු එහෙම තෝරගෙන පරිවර්තනය කළ ඒවා.

ප්‍ර. අපි දැන් මේ සාකච්ඡාව නතර කරමු. අන්තිමටම අපිට කියන්න ඊළඟට පාඨකයන්ට ඔබව මුණ ගැහෙන්නෙ කොහොමද???

මං මුළින්ම කියපු විදිහට මට කවි ලියැවෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා අලුත් කවි පොතකින්නම් මෑතකදී මාව මුණ ගැහෙන්නෙ නෑ කියන එක විශ්වාසයි. මගේ ඊළඟ පොත විදිහට එළි දකින්න නියමිත ඇතුල් වියමන් කියලා ශාස්ත්‍රීය කෘතියක්. ඒක නූතන කවිය සම්බන්ධව ලියැවිලා තියෙන්නේ. ඉගන ගන්න ළමයින්ට වගේම පොදු පාඨකයාටත් වැදගත් වෙයි කියලා හිතන ඇතුල් වියමන් මේ අවුරුද්දේ අග පළවේවි.

මේ වනවිට වැඩ ඉවර කරමින් තියෙන අනික් කෘතිය බටහිර කාව්‍ය පරිවර්තන කෘතියක්. ඒකත් මේ වසර අග හෝ සමහරවිට ලබන වසර මුළ පළවෙයි. ඒ වගේම මගේ කෙටිකතා පොතක් සහ තවත් ශාස්ත්‍රීය ලිපි එකතුවකත් වැඩ මේ වනවිට කරමින් තියෙනවා. ඒවා බොහෝවිට අර කෘතිවලට පස්සේ තමයි පළවෙන්නේ.

රාවය සහ මව්බිම පුවත්පත්වල කර්තෘමණ්ඩලවලින් ඉවත් උනාට පස්සේ එදා ඉඳන් මම දිගටම වගේ නිදහස් මාධ්‍යෙව්දියෙක් විදිහට වැඩ කරනවා විවිධ පුවත්පත් සමග. ඉස්සරහටත් එහෙමයි. ඉතිං පාඨකයින්ට ඒවායෙනුත් කියවන්න පුළුවන් වේවි මගේ ලියමන්.

~ සටහන හා සාකච්ඡාව
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan