කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග වදින සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රීසා සාරුක්ට මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අද (15) දිනයේදී එම මන්ත්‍රීවරුන් 62 දෙනාගේම අත්සන් සහිතව ලේඛනයක් ද සකස් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 48ක් සහ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර 69ක් ද හිමිවී තිබිණි. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ සහාය අවශ්‍ය වන අතර රීසා සාරුක්ට දැනටමත් මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය අත්සන් සහිතව ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම මෙම මන්ත්‍රීවරුන් 62 දෙනා අතරට සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් එක්සත් ජාතික පක්ෂයේ ටෝනි රම්සි මන්ත්‍රීවරයාත් ඇතුළත් නොවන බවත් සඳහන්.
සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවක් ප්‍රකාශ කර ඇති අතර ටෝනි රම්සි මන්ත්‍රීවරයා රීසා සාරුක්ට සහාය නොදෙන බව මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ හෙයින් ඔවුන් නොමැතිව මෙසේ මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ අත්සන් ලේඛනය සකස් කරගෙන ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
කොළඹ නගර සභාවට මෙවර පත්වී සිටින මන්ත්‍රීවරුන් අතරින් වැඩිම කාලයක් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමට ද එකඟතාවකට පැමිණ ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (16) දිනයේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.
