ආදරය ලෙස
මා එකල නම් කළ
යම් බැඳුම් කිහිපයක්
ලිහි ගිය පසුය
අප
එනම්
මා
සමඟ
මා
පෙම් කරන්නට
පටන් ගත්තේ
ඔව්
බෙදා ගන්නවා අප
යහන
තව අය සමඟ
උදෑසන
අප
එනම්
මා
සමඟ
මා
කතාබහ කරනවා
ඒ උදවිය ගැන
එයා නම් හොඳ තමයි
ඒත් උන්නේ
යම් පටලැවිල්ලක මැද
නිකන්
අලුතෙන් ගෙනා
බළල් පැට්ටෙක් වගේ
ටික කලක් දැන්
මා මට ම
පොත් සහ පැල
තෑගි දෙන්නට අරන්
ඔයා සතුටින් ද
අහනවිට ඔබ
කියන්නට ඇත්තේ
අප
මා සමඟ මා
අසා ගන්නවා එය
නිතරම
එකිනෙකාගෙන්
~ ඉසුරු චාමර සෝමවීර


