කොළඹ LNW:ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂාව සමඟින් දිනෙන් දින උණුසුම් වන දේශපාලන පිටිය පසුගියදා යම් කැළඹීමකට පත්වන ආකාරයක් දක්නට ලැබුණි. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය විසින් සිය ජාතික සමුළුව පැවැත්වීම එම කැළඹීමට හේතුවන ආකාරය පෙනෙන්නට තිබුණු අතර ජාතික ජන බලවේගයේ දේශපාලන දිශානතිය පිළිබඳව සමාජයටද යම් පණිවිඩයක් ඉන් ගලා යමින් තිබේ.
කෙසේවෙතත් දේශපාලන වේදිකාවට එය තැති ගැන්මක් ගෙන දුන් ආකාරය පැහැදිලි වුණේ ඊට එරෙහිව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු 08 දෙනෙකු විසින් පැවැත්වූ මාධ්‍ය හමුවෙන් අනතුරුවය. මැක්කගේ කතාව මෙන් ජවිපෙට තලන්න තියෙන එකම ආයුධය 71 – 88/89 කැරළිය. පසුගිය ගෝල්ෆේස් අරගල තුළ සමාජය ප්‍රකෝප ගැන්වීමේ වගකීමද ජවිපෙ පිට ගසන්නට උත්සහ දැරුවද එය සාර්ථක නොවුණි. මන්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පාරට බහින්නෙම රාජපක්ෂලාට කතිරය ගැසූ සාතිශය බහුතරයම වීම මෙහිදී සිහිපත් කරගත යුතුය.
කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ උක්ත විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුවෙන් පසු යළි යළිත් ජවිපෙ ප්‍රමුඛ මලිමාවට තලන්නේ පරණ භීෂණ තැටිය වාදනය කරමින් වීම තුළම එක අතකින් ඔවුන්ගේ විරුද්ධවාදී දේශපාලනය කෙතරම් දුප්පත්ද යන්න පැහැදිලි කරමින් පසුවෙයි. එය එසේ වන විට එම වේදිකාවේ සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රටට සුවිශේෂ චරිත බව රහසක් නොවේ. පසුගිය කාලය පුරාම ඔවුන් රට තුළ ආන්දෝලනයට ලක් වුණු චරිත බවට පත්වන්නේද මේ රටේ දේශපාලනයේ කෙරුම්කාරකම් නිසාවෙන්මය.
මෙම විශ්‍රාමික පොලිස් සාමූහිකය වැදගත් වන්නේම එහි නියෝජනයන් නිසාවෙන්ය. බොහෝ දෙනා කලබල වී සිටින්නේද එකී චරිත පාදක කරගෙනය. විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන චරිත ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැනි චරිත මාලිමාවේ වේදිකාවට ගොඩවීම දේශපාලන විරුද්ධවාදීන්ට නුරුස්නා ස්වභාවයක් ගෙන දී තිබේ. රට තුළ කතාබහට ලක්වුණු අතිශය සංවේදී සිදුවීම් රැසක විමර්ශන මෙහෙයවමින් අගමුල පාදාගෙන සිටින නිලධාරීන් ලෙස ඔවුන්ට අභිමානයක් තිබේ. එම අභිමානයට එරෙහිව විරුද්ධවාදී දේශපාලන දැන් අවි අමෝරමින් ඉදිරියට පැමිණෙමින් සිටින නමුත් රවී සෙනෙවිරත්න්ලාට, ශානි අබේසේකරලාට අභිමුඛවීමට තරම ශක්තියක්ද ඔවුන්ට නැති බව ද මෙහිදී සඳහන් කළ යුතුය. රවී සෙනෙවිරත්නලා නීති ගරුක සමාජයක අපේක්ෂාව දල්වන විට විරුද්ධවාදීන් පෞද්ගලික අවලාද නගන්නේ එහෙයිනි.
චන්ද්‍රා ප්‍රනන්දුලාගේ කලබලය!
හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුට හෝ ඒ මඟ යන කිසිවෙකුට කලබල වීමට දෙයක් එදා එම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුවේදී සිදුවූයේ නැත. ශ්‍රී ලංකා පොලීසියේ අභිමානයට කැළලක් වන දෙයක්ද වෙනවා අපි නොදුටුවෙමු. එම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඉතා පැහැදිලිව නීතිගරුක සමාජයක අවශ්‍යතාව පැහැදිලි කරන ලදී. ඇස, කන, මනස නිසිලෙස වැඩකරන කිසිවෙකුට හෝ ඊට එරෙහි වීමට දෙයක් තිබූණේ නම් එය කුමක්ද යන්න ප්‍රශ්න කිරීමට සිදුව තිබේ. ප්‍රශ්නය මාලිමාවේ වේදිකාව නම් එයද පෞද්ගලික දේශපාලන රුචි අරුචිකම්වලට ලඝු වෙනවා මිස ඉන් එහාට දෙයක් නැත. එදා මෙරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මාලිමාවේ වේදිකාවේදී පැවසූ කාරණාවල ගැටුමක් හෝ උභතෝකෝටිකයක් නොවුණි.
එම විශ්‍රාමික සාමූහිකයේ ප්‍රධානී ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සිය කතාව තුළ ප්‍රධාන කොටම මතුකළ කාරණා වුණේ නීතිගරුක සමාජයක් ගොඩනැගීම,ජනතා බලයෙන් ගොඩනගන පොලීසිය,පොලිස් කොමිසමේ ස්වධීන බව,පාස්කු විමර්ශනය එමන්ම විශේෂයෙන් රටම හඳුනාගෙන සිටින ප්‍රමුඛ විමර්ශකයෙක්ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත තත්ත්වය යන කරුණුය.
නීතිගරුක සමාජයක් ගොඩනැගීමේදී පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක වීමේ වැදගත්කම සෙනෙවිරත්න මහතා විසින් අවධාරණය කොට පෙන්වාදුන් අතර එවැනි ස්වාධීන ක්‍රියාවලියකට සමාජ විරෝධයක් එල්ල වන්නේ නම් එයද දේශපාලනය විසින්ම නිර්මාණය කරන ලද විරෝධයක් වනවා මිස මහජනයා තුළින් නැග එන්නක් නොවේ. එහෙයින් ඔහුගේ එම කාරණයටද එරෙහි වීමට හේතුවක් නැත. දේශපාලනික මැදිහත්වීම් නිසා පොලීසිය මෙන්ම රටද අරාජික වූ අවස්ථා ගැන ඔහු උදාහරණ සහිතව පෙන්වාදුන්නේය. ඉතින් එය වරදක්ද? අධිකරණ ක්‍රියාවලියක් එනම් නඩු විභාගයකින් පසු වරදකරුවන් ලෙස තීන්දු කරන නිලධාරීන් වෙනසකින් තොරව තවදුරටත් එකී උස් පුටුවලම රැඳී සිටින්නේ නම් එය අධිකරණයේ වරදක් නොව අධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනික වරදකි. ඒ අනුව චෝදනාවලට ලක්ව එය එසේ සිදුව ඇති බවට තහවුරු වූ තැනැත්තන් සමඟ ස්වාධීන පොලීසියක්, මහජන බලය පෙන්නුම් කරන පොලීසියක් ගොඩනැගිය හැකිද? පොලීසියේ ප්‍රමුඛ කාරණයක් වන මහජන ආරක්ෂාව ඉන් සුරක්ෂිත වන්නේ කෙසේද? හෝද හෝද මඩේ දාන කැරළි කතන්දර වෙනුවට චන්ද්‍රා ප්‍රනාන්දුලා මේවාට පිළිතුරු දෙන්නේ නම් යෙහෙකි බවද සඳහන් කළ යුතුය.
පොලිස් කොමිසම ස්වාධීන වෙනවාට පොලීසිය අකමැතිද?
පොලීසියේ ස්වාධීන බව සුරක්ෂිත කිරීමට ඇති කරන පොලිස් කොමිසමටද ක්‍රියාත්මක වීමට තරම් කශේරුවක් නැත්නම්,එය දේශපාලන බල හස්තයන්ගේ ගොදුරක් නම් නීතිගරුක සමාජයක් ගොඩනැගීමේදී එය වෙනස් විය යුතු නොවේද? නීතියේ ආධිපත්‍ය සහතික කිරීමේදී එකී කොමිසමේ ස්වාධීනත්වය ද තහවුරු කර ගත යුතුය. චන්ද්‍රා ප්‍රනාන්දුලා විශ්වස කරන, වන්දනාමාන කරන දේශපාලන ප්‍රවාහය තුළ චන්ද්‍රා ප්‍රනාන්දුලා ගොඩයනවා මිස ශ්‍රී ලංකා පොලීසියක් ගොඩයන්නේ නැත. එහෙම වුණා නම් චන්ද්‍රා ප්‍රනාන්දුලා සක්‍රීය පොලිස් සේවයේ දී සිටින කාලය තුළම වෙනසක් සිදුකිරීමට අවකාශ තිබුණි. රටේ ඇතැමුන් නොදන්නවා වුණත් ඔවුන්ගේ දේශපාලනය ගැන පොලීසිය නොදන්නවා නොවේ. 2006 විශ්‍රාම ගැනීමෙන් පසු චන්ද්‍රා ප්‍රනාන්දු නවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් ලෙසය. එවකට පැවති නැගෙනහිර මැතිවරණයේදී අක්‍රමිකතාවන්ට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් ලෙසද ඔහු ප්‍රසිද්ධය. එපමණක් නොව 2010 මැතිවරණයේදී උතුරු නැගෙනහිර මැතිවරණ මෙහෙයුම භාරව සිටියේ දැන් මේ පොලීසිය ගැනත් පොලිස් නිලධාරීන්ගේ අනාගතය ගැනත් බිය වී සිටින හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුය. එතැනින් නොනැවතී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පොලිස් කොමිසමේ සභාපති ලෙසද පත්වන්නේ ඔහුය. මෙවන් පසුබිමක චන්ද්‍රා ප්‍රනාන්දුලා තේරුම් ගැනීම අපහසු නොවේ. ශ්‍රී ලංකා පොලීසිය තුළ පරිච්ජේද අලුත් කළ, රටක විශ්වාසය තමන් දෙසට හරවා ගත් රවී සෙනෙවිරත්නලා වැනි නිලධාරීන් හිඳින වේදිකාවක් ගැන අවිශ්වාස කරන්නට තරම් ඔවුන් ගැන හොඳ හැටි දන්නා පොලිස් නිලධාරීන්ට කාරණයක් නැත. විශ්‍රාමික පොලිස් සාමූහිකය සම්බන්ධයෙන් විශේෂයෙන් විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට ඇත්තේ එවැනි සහතිකයකි. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් දේශපාලනිකව ජාතික ජන බලවේගය සමඟ එකට සිට ගැනීමය. ඕනෑම කෙනෙකුට දේශපාලන මතයක් දැරීමට, ඒවෙනුවෙන් මැදිහත්වීමට අයිතියක් තිබේ. එත් ඒ අයිතිය යොදාගෙන තවත් කෙනෙකුගේ දේශපාලය කිරීමේ නිදහසට හෝ මහජන මතය කෘතිමව වෙනස් කිරීමට හෝ සමාජයක් නොමඟ යැවීමට හෝ අයිතියක් නැත.
මේ අතර වැදගත් කාරණයක් මෙන්ම දේශපාලන කැළඹීල්ලට තවත් හේතුවක් වී තිබුණේ ශානි අබේසේකර මහතා වේදිකාවේ අසුන්ගෙන සිටීමය. පාස්කු ප්‍රහාරයේ විමර්ශනය,මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය,වෛද්‍ය සාෆිගේ සිද්ධිය,එක්නැළිගොඩ පැහැර ගෙන අතුරුදහන් කිරීම ඇතුළු රටේ අවධානයට ලක්වුණු විමර්ශන අවසන් කිරීමට ඉඩක් නොලැබී තිබෙන සංවේදී විමර්ශන රැසක් මෙහෙයවා තිබෙන්නේ මෙකි ශානි අබේසේකරය. මේ රටේ තිරයට පිටුපසින් සිදුව තිබෙන බොහෝ දේ ගැන හරි හැටි දන්නේ ඔවුන්ය. ඉතින් ඇතැමුන්ට ඔවුන් හිසරදයක් වීම අරුමයක් ද නොවෙයි. එහෙත් වඩා සුරක්ෂිත හෙටක් වෙනුවෙන් ආරක්ෂා කරගත යුත්තේද මෙවන් නිලධාරීන් බවද අප සිහිතබා ගැනීම වැදගත්ය. සිය රජකාරිය දේව කාරිය සේ කරන්නට ගොස් අවලාද, අපවාදවලට පමණක් නොව බන්ධනාගාරගත වන්නට ද ඔහුට සිදු විය. එය පසුගිය මැයි 09 වැනිදා පැවති විශ්‍රාමික පොලිස් සාමුහිකයේ වේදිකාවේදී රවී සෙනෙවිරත්න මහතා ඉතා පැහැදිලිව රටට ප්‍රකාශ කළ අතර අනතුරුව මාලිමාවේ නායකයා ලෙස අනුර දිසානායක රටක් අභිමුව පැවසුවේ මාලිමාවේ පාලනයක් තුළ ශානිට යුක්තිය ඉටුකරන බවටයි.
මෙවරත් ජන්ද සටනට පාස්කු යුක්තිය පෙරට?
විශේෂයෙන් පාස්කු ප්‍රහාරය තුළ කුමන්ත්‍රණයක් පවතින බවට විශ්වාස කරන බවත් එහි ඉතිරිව පවතින විමර්ශන සිදුවිය යුතු බවටත් එදා රවී සෙනෙවිරත්න මහතා පැහැදිලි ලෙසම පවසන ලදී. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව වැඩි කතාබහට ලක් වූ ජාතික ආරක්ෂාව පදනම් කරගනිමින් එකී ප්‍රහාරයේ සුල මුල අනාවරණය කරගනිමින් ඊට යුක්තිය ඉටුකරන බව පවසා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස ආණ්ඩුව පිහිටුවීමටත් පෙර සිදුකළේ එම විමර්ශන භාරව සිටි ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමය. ඊට සමගාමීව එම විමර්ශනයේ දී සිටි තවත් විමර්ශකයින් 700ක් පමණ අඩපණ කිරීමය. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නට පැමිණි ගෝඨාභය රාජපක්ෂ වැඩ ඇරඹුවේ එලෙස වන අතර එහෙත් ඔහුට පස්සේ දොරින්ම පලා යන්නට වීමද වෙනම සරදමකි.
කෙසේවෙතත් දැන් හදිසියේ මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පාස්කු ප්‍රහාරයේ විමර්ශනයක් සඳහා නව කමිටුවක් පත්කර තිබේ.
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි එම කමිටුව පතක්ර තිබෙන්නේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ. එන්. කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්. ඒ. එන්. නිෂේන් මහතා පත් කර තිබේ.
එමෙන්ම වවුනතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මාස හතරක කාලයක් විශ්වාස කළේ ඇයි ද යන්න සහ ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මොනවාද යන්න මෙම කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතයි.
අදාළ කමිටු වාර්තාව එළඹෙන සැප්තැම්බර් 15 හෝ ඊට පෙර ලැබ දිය යුතු වෙයි.
ජනාධිපති වික්‍රමසිංහත් කලබලෙන්ද?
කොහොමත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවිය යුතුය. එහි සැබෑ අරමුණ, ඒ පසුපස තිබෙන කුමන්ත්‍රණය රටට අනාවරණය විය යුතුය. වරදකරුවන් සියල්ලමට පාහේ නීතියද නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඒ සම්බන්ධයෙන් පොදු සමාජයට විවාදයක් නැත. දැනටමත් මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මඟින් නිරීක්ෂණ, නිගමන, නිර්දේශ තීන්දු කර තිබේ. මේ අතර ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අතිශය වැදගත් තීන්දුවකි. එය ඓතිහාසික තීන්දුවක් බවටයි කතෝලික සභාව පවා ප්‍රකාශ කර තිබුණේ.මේ අතර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකෙරුණි.
බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියාත්මක නොවීම තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,හිටපු පොල්සිපති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන,හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ය අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර තිබුණි. ඒ අනුව ඔවුන්ට වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම අක්රනු ලැබූ අතර නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසද නියෝග අකර තිබුණි. මේ අතර වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටද එවකට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්සිපති ලෙස වගකීම් පහර හැරීම ගඳ චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනුව විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස වින්දිත පාර්ශව වෙතින් දැඩි බලපෑම් එල්ල විණි. අදටත් කතෝලික සභාව පවා පවසන්නේ මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසයි. එහෙත් චෝදනා එල්ල වී සිටින නිලන්ත ජයවර්ධන වැනි ඉහළ පොලිස් නිලධාරීන් තවදුරටත් එකී උස්පුටුවලම රැඳී සිටින අතර ලැබුණේ උසස් වීම් හැර සිද්ධියේ වින්දිත පාර්ශවයට යුක්තිය ඉටුවීම නොවෙයි. ඔවුන් ඒ තැන්වලම තබාගෙන ජනාධිපති වික්රම්සින්හද මේ සිදුකරන්න හදන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩක්ද? ඒ අනුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නව විමර්ශන කමිටුවට කතෝලික සභාවේද විරෝධය එල්ල වී තිබෙන්නේ.
මේ කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම් එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලා නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බවයි.
“අපි එදා ඉඳන්ම ඉල්ලපු දේ තමයි මේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒ නිර්දේශ එකක්වත් රජයවත් නීතිපතිවරයාවත් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා අපි මේ ජනාධිපති පත්කළ නව කමිටුව පිළිගන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරනවා. නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ, පොලිපතිවරයා මේ වගේ අය තමයි මේ කමිටුව ඉදිරියේ පරීක්ෂණයට ලක්වෙන්නෙ. එහෙම නම් ඒ අය ධූරවල තියාගෙන සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද? මේක මැතිවරණ ඉලක්ක කරගෙන මිනිස්සුන්ව රවට්ටන්න කරන ක්‍රියාවක්ද කියන සැකය අප තුළ තියෙනවා. අපි යෝජනාවක් කරන්න කැමතියි රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට. නීතිපතිවරයා දේශපාලනීකරණය වෙලා. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා විශේෂ අභිචෝදකයකු හා කාර්යාලයක් ස්ථාපිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. එහෙම නැතිව තවදුරටත් මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරලා කල්මරලා නිරර්ථක දේ සිදුකරන්න එපා” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කර තිබුණි.
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් සබැ ලෙසම මේ මොහොතේ හෝ කළ යුතු දේ පසෙක තබා යලිත් වටයකින් කොමිසමකට මහජන මුදල් වැය කිරීමේ බලාපොරොත්තුව කුමක්ද? කළ යුතු දේ සමාජයට නිරාවරණය වී තිබියදී තවදුරටත් එය මැතිවරණයේ තීරක සාධකයක් බවට පත්වීමට නියමිතව ඇති බවද මේ සලකුණු කරමින් තිබෙන්නේ? 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසු එම විමර්ශන ද එකම කැඳ හැලියක් කර තවදුරටත් දේශපාලන කටගැස්මක් බවට පත්ව තිබීම සමාජයක් ලෙස අනුමත කළ නොහැක්කකි.
එදා මාලිමාව වේදිකාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මතු කළේ මේ යථාර්තයයි. බොහෝ දෙනා කලබල වී ඇත්තේ මෙකී ඇත්ත අනාවරණය වීම් හමුවේය. අලුත් විමර්ශන කොමිසම හරහා කලබල වූ ගොන්නට ජනාධිපති වික්‍රමසිංහ ද ඇතුළත් වූ සෙයක් වෙයි. කෙසේවෙතත් සිදුව ඇති දේවල් මෙන්ම සිදුවන්න නියමිත දේවල් පිළිබඳව දිග පළල වටහා ගැනීමට දැන් සමාජයට හොඳටම කාලය ඇතිය. එසේ නොවන්නේ නම් ඒ පොදු මහතා සමාජයේ ඇති දේශපාලන, සමාජ සාක්ෂරතාව ගැන වූ දුප්පත්කමයි. නීතිගරුක සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඒ දුප්පත්කමෙන් නම් අත්මිදීම අත්‍යවශ්‍ය බවද මෙහිලා සඳහන් කරන්නට කැමැත්තෙමි.
ආශිකා බ්‍රාහ්මණ