තව මාස හයකින් රටේ බැඩ්මින්ටන්වල පෙණුම වෙනස් කරනවා. – ශ්‍රී ලංකා බැඩිම්න්ටන් පරිපාලනයේ ලේකම් අජිත් විජේසිංහ

0
160

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සිය නිලවරණය පැවත් වූවා.එයත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ බලපෑම් සමඟ ඔට්ටු වෙමින් තිබී යම් ඉසිඹුවක් ලද අවස්ථාවක පැවත් වූ නිලවරණයක් හැටියටයි ඉතිහාසයට එකතු වෙන්නෙ.ඒ වන විට ජාත්‍යන්තර වශයෙන් මේ ක්‍රියා කළාපයන්වලට එරෙහිව දේශපාලන බලපෑම් කියන උද්ධෘතය යටතේම ශ්‍රී ලංකා බැඩිමින්ටන් ද තහනමට ලක් වීමේ අවදානමක පැවතියා.
නව නිල මඩුල්ලක් වුව ද,එහි දැකිය හැකි බොහෝ මුහුණු පරණ මුහුණුයි.නමුත් වසර හතළිහක පමණ දේශීය සහ විදේශිය බැඩ්මින්ටන් වපසරිය හඳුනන වත්මන් ලේකම් අජිත් විජේසිංහ පවසන්නේ අලුත් අදහස් ගණනාවක් සමඟ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉදිරි මාස හය තුළ ජාත්‍යන්තර හැඩයට සමීප වීමට නියමිත බවයි.
පහතින් දැක්වෙන්නේ අජිත් විජේසිංහ දැක් වූ අදහස්වලට බල පෑ සංවාදයේ එළිමයි
*බැඩ්මින්ටන් රටේ හැමතැනම ව්‍යාප්ත ද? තවමත් ජාතික මට්ටමට සෑම දිස්ත්‍රික්කයකින්ම බැඩිමින්ටන් ක්‍රිඩකයො එන්නෙ නැහැ නේද?

ඉස්සෙල්ලම බැඩ්මින්ටන් ව්‍යාප්ත කරන්න ඕනි.ඒකෙ රහ මිනිස්සුන්ට දනවන්න ඕනි.ඒ නිසා ලංකාව ජාත්‍යන්තර තරග මට්ටමට රැඟෙන යන්න පුළුවන් ගෘහස්ත බැඩ්මින්ටන් තරග වගෙම ජනතාව බැඩ්මින්ටන් කරා කැඳවගෙන එන එයාර් බැඩිම්න්ටන් ක්‍රීඩාවත් අපි ශ්‍රී ලංකා බැඩිමින්ටන් හරහා ක්‍රියාවට නඟනවා. ලංකාවෙ ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රිඩා කරන හැම පාසලකටම ගෘහස්ථ පිටියක් තියෙනවා කියන එක මම කියන්නෙ නැහැ.දැන් හැබැයි එටහම පිටියක පහසුකම් ලබාගන්න පුළුවන් තත්ත්වය පොඩි පහසුකම් පළල් වීමක් වෙලා තියෙනවා.අපේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඒ තත්ත්වයන්ට යම් ආකාරයකට දායක වෙලා තියෙනවා.ඒ නිසා මේ බැඩිමින්ටන් පළල් විම හරහා මෙවර පාසල් තරගවලදි පාසල් තුන්සිය ගණනක් දකින්න ලැබුණා.ඒක ලොකු ඉලක්කමක් ලංකාව වගෙ රටක.

ටිකක් සරල රටාවක් තියෙන එයාර් බැඩ්මින්ටන් බැඩ්මින්ටන් වඩා පහසුවෙන් සමාජය ආකර්ශණය කරගන්න පුළුවන් වැඩක්.ඒකට නිශ්චිත ගෘහස්ථ පරිසරයක් ඇතුළෙ නැතුව ක්‍රිඩාවට සෑහෙන ඕනෑම එළිමහනකට ගන්න පුළුවන් නිසා ව්‍යාප්ත කරන්න පහසුයි.ඒක කරන්න පුළුවන් නිසා ක්‍රීඩාවට ආකර්ශණය කරගන්න පහසුයි.ඒ නිසා අපි ඉදිරි මාස කිහිපය හමාර වන විට එයාර් බැඩ්මින්ටන් හරහා බැඩ්මින්ටන්වලට ආදරය කරන සංස්කෘතියක් පොළවෙ ස්ථාපනය කරන්න පදනම දමාගෙන යනවා.
*බැඩිමින්ටන් මේ පොළවට සීමා නොවී ඉදිරියට රැඟෙන යාමේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?
බැඩ්මින්ටන් සංගමය ගෙවුණු කාලයෙත් සෑහෙන්න වැඩ කරලා තියෙනවා.ඒ සඳහා අපි පුහුණු සංචිත පවත්වාගෙන යනවා.ජාතික සංචිතය වගෙම අපි දක්ෂතා අනුව වයස් ඛාණ්ඩ මට්ටමෙන් ශ්‍රේණිගතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලීනින්ග් අනුග්‍රහය ලබා දෙනවා.ඒ වගෙම ලීනින්ග් එක විදේශ සංචාරයන් සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ අඳුම් පැළදුම්වල සිට සියල්ල බලා ගන්නවා.

ඒ වගෙම තමයි ක්‍රිඩකයන්ට අවශ්‍යය බොහෝ දේවල් සඳහා සභාපතිවරයා පෞද්ගලිකවත් අනුග්‍රහය දක්වනවා.මීට අමතරව ජාත්‍යන්තර මට්ටමට ගෙන යා හැකි ක්‍රිඩකයන්ට අවශ්‍යය නේවාසික පහසුකම් සියල්ල සපයමින් විදේශ පුහුණුව ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා.මොකද අපි දේශීය මට්ටමෙන් විශාල ගමණක් යන්න පුළුවන් තරමට සංවර්ධනය කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පුුහුණුව සහ පහසුකම් ලබාගන්න පාර හදන්න ඕනි.මේකට හොඳම උදාහරණය තමයි මේ වන කොට ඉතිලියේ ඉන්න යුපුන් අබේකෝන් දක්වන දක්ෂතා.ජාත්‍යන්තර මට්ටමේ කුසලතා දියුණු කරගන්න තියෙන අවස්ථාවන් පහසුකම් සමඟම තරගකාරීත්වය නිසා ද විවෘත වෙනවා.
ඒ වගෙම දැනට තාවකාලිකව නවත්තලා තියෙන පෝෂණ දීමනාවත් අපි ඉක්මණින් නැවත ලබා දෙන්න කටයුතු සැළසුම් සකස් කරලා තියෙනවා.

*ලංකාවෙ බැඩ්මින්ටන් එක්ක නිතර සබඳකම් තියෙන ඉන්දියාව සහ මැලේසියාව ගත්තම ලෝකයේ ඉහළම බැඩ්මින්ටන් සංස්කෘතියක් යටතෙ පවතින රටවල් දෙකක්.මේවායෙන් ලංකාවෙ බැඩ්මින්ටන්වලට යම් ආදර්ශයක් ගන්නවද?

ඒවා යම් ආකාරයකින් ගාව ගන්න පුළුවන්.ඒත් ඒ රටවල්වල දැවන්තකම වගේම ක්‍රීඩාව පවතින ඉහළ තත්ත්වය එක්ක අපිට ඒවා සියයට සියයක් මේ පොළවට ඈදා ගන්න අමාරුයි.
උදාහරණයකට ගන්න ඉන්දියාවේ ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට තරග කරන්න සමහර විට එන්නෙ ගුවන් යානයෙන්.ඒ වගෙම මැලේසියාවෙ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශාල සංචිතයක් ක්‍රියාත්මක වෙනවා.මේ රටවල් දෙකේම සමහර වීට බැඩ්මින්ටන් පරිපාලනයට කරන්න තියෙන්නෙ යම් ලේඛණමය කරුණු විතරයි.ජාත්‍යන්තර තරගාවලි සඳහා වෘත්තීය මට්ටමෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් ඒ රටවල ඉන්නවා.
අපිට ඒ තරම් භෞතික සම්පත් නැහැ වගේම වෘත්තීය මට්ටමට බැඩ්මින්ටන් දියුණු වෙලා නැහැ කියන කාරණයක් පිළිගන්න වෙනවා.එතැනට යාම සඳහා අපි ඉදිරිය සකස් කරන්නනම් කුඩා දරුවන් හඳුනගෙන,පාසල් බැඩ්මින්ටන් සංගමය හරහා අධ්‍යාපන අමාත්‍යංශයත් මැදිහත් කරගෙන ඔවුන්ව වෘත්තීය ජීවිතයට රැගෙන එන්න වෙනවා.ඒ නිසා අපි මේ වන විට එවැනි විශාල අනාගතයකට පෙර නිමිති පළ කරන සමහර දරුවන්ට ඔවුන්ගේ ක්‍රීඩා කාල සටහන සුරැකෙන පරිදි ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමයකට පිවිසි තිබෙනවා.මේක තව ඉදිරියට පුළුල් කරගන්න බලනවා.මොකද වෘත්තීයක් විදිහට ක්‍රිඩාවේ නියැලෙන බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ලංකාවේ බැඩ්මින්ටන් ඉහළට ඔසවන්න අවශ්‍යය වෙනවා.
*මේ සියල්ලගෙන් පේන්නෙ දිගු කාලයක් ප්‍රතිපල දිහා බලාගෙන ඉන්න අවශ්‍යය බවක් නොවේද?එහෙම නැතුව ඔබ කියන්න මට කෙටිකාලීනව දැකිය හැකි ප්‍රගතිය ගැන…

ඉදිරි මාස හය ඇතුළත එයාර් බැඩිමින්ටන් හරහා සමාජයේ පුද්ගල ආකර්ශණය බැඩ්මින්ටන් වෙත යොමු කරගැනීම වැඩි කිරීම තමයි අපේ එක අරමුණක්.ඒ හරහා දිස්ත්‍රික් 25 ම ආවරණය වන විදිහට බැඩ්මින්ටන් රුචි මිනිසුන් කණ්ඩායමක් අපි නිර්මාණය කරනවා.එයින්යම් ප්‍රමාණයක් ගෘහස්ථ බැඩ්මින්ටන් කරා එයි.ඒ වගෙම මේ ප්‍රවනතාව එක්ක වැඩි පාසල් ප්‍රමාණයක් අපිට ජාතික මට්ටමේ පාසල් සහ වයස් කාණ්ඩ තරගවලදී දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.

ඒක ව්‍යාප්තිය සඳහා කරන වැඩවල ප්‍රතිපලය.
ඒ වගෙම ජාතික මට්ටමේ සහ වයස් මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල ඉන්න ක්‍රිඩකයන්ට සිය දක්ෂතා වැඩි දියුණු කර ගන්න දෙන පහසුකම් වැඩි කිරීම වගෙම තියෙන තත්ත්වයත් එක්ක තන ආකර්ශණය ඇති කරන විදහට සමාජයට බැඩ්මින්ටන් කැඳවා ගෙන යන්නෙ කොහෙමද කියන දෙසැම්බර් වන විට දැනෙයි.
ජාතික මට්ටමේ ක්‍රිඩකයින් අතර තරගය වගේම තවත් ජාත්‍යන්තරය දක්වා ගොස් නිරන්තරයෙන් පුහුණුවන ජාත්‍යන්තර බැඩ්මින්ටන් සමඟ සිටින යම් වෘත්තීය මට්ටමක් ප්‍රදර්ශනය කරන ක්‍රීඩකයො ඉදිරි මාස හය තුළ දකින්නට ලැබෙයි.

ඒ වගෙම දක්ෂ අනාගත වටිනාකම් සහිත පාසල් මට්ටමේ ක්‍රීඩකයින් සුරක්ෂිත කරන අතරේම ඔවුන්ව වෘත්තීමය ක්‍රිඩකයන්ගේ භූමිකාවේ ඉදිරියට ගෙන යන්න අවශ්‍යය වැඩ සටහන අපි මිට වඩා අධ්‍යාපන අමාත්‍යංශයෙ දායකත්වයත් අරගෙන පළල් කරනවා.2024 වන විට මේ වෙනස්කම් ටික පොළවෙ ඇති වෙයි.ඒවාට දිය පොහොර වැටිලා ඉහළ දස්කම් දක්වා යන තෙක් අපි බලා සිටිමු.ඔබට මේ දෙසැම්බර් වන විට ලංකාවෙ බැඩ්මින්ටන් තිබුණට වඩා වෙනස් වී ඇති බව දැකගන්නට ලැබෙයි.

සටහන – නිශ්මං රණසිංහ