*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මෙරටට ණය දුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹෙනවා – ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත්, ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත්, 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” අද( ජුනි 19 වනදා) සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් සඳහන් වේ.

තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමට නියමිත අතර, මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 1300 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට අන්තර්ගත වේ. නවෝත්පාදන, නව තාක්ෂණය සමඟින් නව කර්මාන්ත රැසක අංගයන් මෙම ප්‍රදර්ශනයේදී දැක හැකි වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ තානාපති කාර්යාල, වානිජ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් විදේශීය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේය.

“රමේෂ් පතිරණ අමාත්‍යතුමා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරනවා.එහි එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හඳුන්වාදිය හැකියි.මෙය මෙරට පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි.පසුගිය කාලයේ දී අප රට බංකොළොත් රටක් බවට පත්ව තිබුණා.නමුත් ඉදිරි සති කිහිපය තුළ අප එම බංකොළොත් රටක් යන ලේබලයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා.ඊට අදාළ ගිවිසුමටද ඉදිරි සති කිහිපය තුළ එළැඹිමට නියමිතයි. මේ සමඟ පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීමත් පහසු වෙනවා.

එසේනම් වසර දෙකක කාලයක් තුළ අප මෙම කටයුත්ත සිදු කර තිබෙනවා.නමුත් අපට මෙයින් සෑහීමකට පත් විය නොහැකියි.අප මෙම ණය නැවත ගෙවන්නේ කොහොමද කියා අවධානය යොමු කළ යුතුයි.අප දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා.ඒ සඳහා 2042 වසර වන තෙක් කාලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම අප ආනයන ආර්ථිකයක් නිසා ආනයන වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි.ඒ සඳහා අපට විදේශ විනිමය නැහැ.ඒ නිසා නැවත ණය ගැනීමට සිදු වෙනවා.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් තවත් වසර 15-20කින් අපට නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා.ඒ නිසා අප අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය වීමට කටයුතු කරමින් සිටිනවා.අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේදී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා.එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි.

ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලිය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා.මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි.

එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ.අපේ අසල්වාසි රටවන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා.තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇතිව තිබෙනවා.

අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි.ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ නිසා පළමුව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි.ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ඇති කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා.

1960දී අපට DFCC බැංකුව තිබුණා. ඒ වගේම 1980දී NDB බැංකුව ආරම්භ කළා.පුද්ගලීකරණයෙන් පසු මේ බැංකු දෙකම අපේ රටේ තිබෙන ප්‍රධාන වාණිජ බැංකු බවට පත්ව තිබෙනවා.විශේෂයෙන් එදා මේ බැංකු නොතිබුණා නම් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇගළුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහන සාර්ථක වන්නේ නැහැ.

ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කිරිමට අප අපේක්ෂා කරනවා.එහිදී පොලි අනුපාතය අඩු මට්ටමක තබාගත යුතුයි.ඒ වගේම මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ද ඇති කරනවා.අනෙකුත් මධ්‍යම පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් අලුත් ආයතනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.මේ රටේ සියලු කර්මාන්තකරුවන්ට සහාය ලබාදීම වෙනුවෙන් මේ ආයතන පද්ධතිය නිර්මාණය කරනවා.

ඊළග වසර 05 – 10 තුළ අප මෙම මාර්ගයේ ඉදිරියට ගමන් කළයුතුයි.ඒ වගේම බංග්ලාදේශය, මියන්මාර්ය වැනි රටවලට ගොස් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපට අවශ්‍ය නම් ඒ පිළිබඳවද ඉදිරියේදි අවස්ථාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා.අපේ ප්‍රතිපත්තිය මෙයයි. මේ කටයුතු සිදුකරන අතරම අප ඉන්දියාව සමගත් වැඩකටයුතු කරගෙන යනවා.

මම ඒ පිළිබඳ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කළා.ඒ වගේම හෙට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.මෙරට සූර්ය බලය සහ සුළං බලය භාවිතා කිරීම සහ හරිත හයිඩ්‍රජන් ලබා ගැනීම පිළිබඳ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.

උතුරු මුහුදේ එම වාසිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අදානි සමාගම ලංකාවට පැමිණියේ එහි පළමු පියවර ලෙසයි. අප මෙම නව මාර්ගයේ ගමන් කළයුතුයි.නමුත් හැම කටයුත්තකදීම අධිකරණයට යාමේ සිරිතක් අපේ රටේ ඇතැම් අයට තිබෙනවා.

එහි වාසිය ලැබෙන්නේ නීතිඥයන්ට පමණයි. අධිකරණයට ගිය පමණින් රට සංවර්ධනය කරන්න බැහැ.අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව අප ඉදිරියට යා යුතුයි. මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සියලුදෙනා සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මා කර්මාන්ත අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා.එම කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan