*
Monday, October 7, 2024
spot_img

Latest Posts

ළමා ආරක්ෂණ අර්බුදය හමුවේ නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කරන මෙන් ඉල්ලා ජනපතිට ලිපියක්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): මෙරට දෙවන විශාලතම අපරාධය ළමා අපයෝජනය වන බවට ශ්‍රී ලංකා පොලීසිය විසින් වාර්තා කර ඇති පසුබිමක ළමා ආරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික අර්බුදයක් බවට පත්ව ඇති අතර, මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම බලධාරීන් වෙත යොමුකළ කරුණුවලට අදාළව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ළමා ආරක්ෂණ සන්ධානය (Child Protection Alliance) පෙන්වා දෙයි.

රට තුළ උග්‍ර වෙමින් පවතින ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ නැවත වරක් සිහිපත් කරමින් ළමා ආරක්ෂණ සන්ධානය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලිපියක් යොමු කිරීමට කටයුතු කර තිබේ.

  1. ළමා හා යෞවන ආඥාපනත 2022 අංක 39 දරණ සංශෝධන පනත් කෙටුම්පත – මෙය ක්‍රියාත්මක කරන දිනයකින් තොරව, 2022 නොවැම්බර් 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම සංශෝධනයෙහි සඳහන් ප්‍රධාන කරුණු දෙකක් වේ

    (i) UNCRC නිර්වචනය හා ගැළපෙන පරිදි අවුරුදු 16 සිට අවුරුදු 18 දක්වා ළමුන්ගේ වයස නිර්වචනය කිරීම
    (ii) 71(6) වගන්තිය අවලංගු කිරීම. “ඕනෑම දෙමාපියකුට, ගුරුවරයකුට හෝ දරුවකුගේ නීත්‍යානුකූල බලය පවරා ඇති වෙනත් පුද්ගලයකුට, දරුවකුට හෝ නව යොවුන් දරුවකුට දඬුවම් කිරීමට ඇති අයිතියට මෙම වගන්තියේ සඳහන් කිසිවක් බලපාන්නේ නැත.”

දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා රැඳවුම් නිවාසවල රඳවා සිටින, අවුරුදු 16 – 18 අතර පසුවන, නීතියේ වරදකරුවන් වූ ළමුන් 35 දෙනෙකුගේ ආරක්ෂාව හා රැකවරණය භාර ගැනීමට අවශ්‍ය සම්පත් හෝ පුහුණුව තම ආයතනය සතුව නොමැති බවට පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මතු කළ විරෝධය හේතුවෙන් ඉහත සංශෝධන ක්‍රියාත්මක කෙරෙන දිනයක් නොමැතිව, මෙය අඩාල වී ඇති බව එම සන්ධානය පෙන්වා දෙයි.

එමෙන්ම, මෙම දරුවන්ගෙන් 25 දෙනෙකුට පමණ ඇප ලබා දී ඔවුන්ව තහ නිවෙස්වලට මුදාහැරිය හැකි අතර අවසානයේ ඉතිරි වන්නේ දරුවන් 10 දෙනෙකු පමණක් බව තහවුරු වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවලට අනුව, අවශ්‍ය පුහුණුව සහ සම්පත් ලබා දීම සඳහා විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සූදානම්ව සිටින බවත් එම සන්ධානය අවධාරණය කළේය.

කෙසේවෙතත්, ඉහත (ii) සඳහන් කරුණු වහාම ක්‍රියාත්මක කළ නොහැකි මන්ද යන්නට පැහැදිලි හේතුවක් නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

2. දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන මඟින් ශාරීරික දඬුවම් නිසැක වශයෙන් අහෝසි කිරීම – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව මේ සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කර තිබේ. කෙසේ වෙතත්, දරුවාගේ වයස  වෙනස් ආකාරයට අර්ථ දක්වා තිබෙන බැවින්, ඉහත (1) හි ළමා හා යෞවන ආඥාපනතේ සංශෝධන ක්‍රියාත්මක කරන තෙක් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නොහැකි බවට කමිටු සභාපති සඳහන් කරයි.

3. ළමා ආරක්ෂණ හා නීති පිළිබඳ පනත් කෙටුම්පත – 2022 ජූනි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කර ඇත. පූර්ව දැක්මෙන් යුත් මෙම පනත කෙටුම්පත් කරන ලද්දේ, ‘දරුවාගේ යහපත උදෙසා’ යන ගෝලීය මූලධර්මයට අනුගතව ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නීතියේ වරදකරු වන දරුවකු පවා සමාජ ගොදුරක් බැවින්, අපරාධකරුවක් වශයෙන් හංවඩු ගැසීම වෙනුවට වින්දිතයකු සේ සලකා, රැඳවුම් නිවාස වෙනුවට විශේෂ රැකවරණ නිවාස ඇතිකර, වැරදි නිවැරදි කරගෙන පුනරුත්ථාපනය වීමට ඉඩ සැලසේ. කෙසේ වෙතත්, ඉහත (1) පරිදි, වයස අවුරුදු 16 – 18 අතර ළමුන්ගේ රැකවරණය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන තවසත් නොවිසඳුණු ගැටළුව හේතුවෙන් කෙටුම්පත අවසන් කිරීම මන්දගාමී වී ඇත.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අර්බුදයට පැහැදිලි සහ තිරසාර වෙනස්කම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවට එම සන්ධානය අවධාරණය කරයි.

ඒ අනුව, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහතිකයක් ලබා ගැනීමට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් ළමා ආරක්ෂණ සන්ධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan