*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ඖෂධ, ඉන්ධන සහ පොහොර නැතිව දුක්විඳි අතීතය අමතක කරන්න එපා – ජනපති

කොළඹ LNW:ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමිනි.

පසුගිය කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

2015 නව ඖෂධ පනත සම්මත කිරීමත් සමඟ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය ස්ථාපිත කෙරිණි. රට තුළ ඖෂධ මිල පාලනයට සහ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමේදී කොන්දේසි විරහිත කාර්යභාරයක් ඉටු කරන මෙම සංගමය රජයේ වකුගඩු අරමුදල සහ සෞඛ්‍ය අරමුදල ශක්තිමත් කිරීම ඇතුලු සමාජ සද්කාර රැසක් සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපති දේශමාන්‍ය චන්දික ගන්කන්ද මහතා වෙත සහ හොඳම දිස්ත්‍රික් සංගම් සහ නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

”පසුගිය කොරෝනා වසංගත සමයේ දි රටට අවශය ඖෂධ ලබා දීම පිළිබඳ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට රජය වෙනුවෙන් මගේ විශේෂ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. රට අසීරු අවස්ථාවකට මුහුණ දී සිටියදී සහ රජයේ ආයතන කඩා වැටීමකට ලක්ව තිබූ අවස්ථාවක ඔබ ඉදිරියට පැමිණ ඔබේ වගකීම ඉටු කළා.

ඒ වගේම වර්තමනයේ මතුව ඇති ගැටළු පිළිබඳවද ඔබ සංගමය කළ දැනුම් දීම අනුව ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා. අද මේ රටේ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින්නේ නම් ඒ ඔබේ උත්සාහය නිසා බව කිවයුතුයි. පසුගිය කාලයේ රටට අවශ්‍ය ඖෂධ ලබා ගැනිමට මුදල් තිබුණේ නැහැ. නමුත් ඔබ එම අසීරු අවස්ථාවේ පැන ගියේ නැහැ. නමුත් ඔබ ඔබේ යුතුකම ඉටු කළා. අප රටේ සියලුදෙනාගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. නමුත් අවාසනාවකට එය සිදු වන්නේ නැහැ.

මම මේ රට භාරගන්නා විට රට ඉතා අසීරු තත්ත්වයක පැවතුනා. රටේ විදේශ විනිමය තිබුණේ නැහැ. අවශ්‍ය ඖෂධ, ඉන්ධන ගෙන්වා ගැනීමට මුදල් තිබුණේ නැහැ. ලැබුණු මුදල් ප්‍රමාණය ඉන්ධනවලට ලබාදෙනවාද, පොහොරවලට ලබා දෙනවද කියා තීරණය කිරීමට සිදු වුණා. නමුත් අප පොහොර ලබාගෙන කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළා. ඒ තුළින් නිෂ්පාදන කටයුතු ඉහළ නංවා ගනිමින් ජනතාවට අවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළා. මෙවන්අසීරු තත්ත්වයක් අප පසු කළා. ඉන්දීය රජයෙන් ලැබුණු මුදල් නිසා ඉන්දියාවෙන් ඖෂධ ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම බංග්ලාදේශයෙන් ලැබුණු මුදල් නිසා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වුණා.

කෙසේ හෝ අප රටක් ලෙස බොහෝ අසීරුවෙන් පළවෙනි මාස 06 පසු කළා. ඉන්පසුව රට ක්‍රමානුකූලව දියුණුවීමට පටන් ගත්තා.

ජනතාව ඔබ ළගට පැමිණ මුදල් නොමැතිව ඖෂධ ඉල්ලා සිටි අවස්ථා තිබුණා. ඔවුන්ට ඖෂධ ලබා නොදී මරණය වැළඳ ගැනීමට කියනවද, නැතිනම් පාඩු විදගෙන එම ඖෂධ ලබා දෙනවාද කියා තීරණය කිරීමට ඔබට සිදු වුණා. අප සියලුදෙනාට එම අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අපි සියලුදෙනා අසීරුවෙන් හෝ එම තීරණ ගත් නිසා රටක් ලෙස ඉදිරියට පැමිණ සිටිනවා. ඒ වගේම වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. මෙම තීරණ සමග රටේ ආදායම් මාර්ග ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වී ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා.

අප පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල දෙවන වටයේ සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ නිවැරැදි බවට සහතිකයක් එහිදී හිමි වුණා. ඒ අනුව අපට ණය ගෙවීම සඳහා කාලය ලැබී තිබෙනවා. ඒ වගේම මෙම වැඩකටයුතු අවසන් කිරීම පිළිබඳ අප මේ වන විට චිනය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම පැරිස් සංගමයේ රටවල් සහ පැරිස් සංගමයට අයත් නොවන රටවල් සමගත් නිල වශයෙන් අප ණය දෙන රටවල කමිටුව සමඟත් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මේ විදියට රට වැටී තිබු ආගාධයෙන් දැන් එළියට එමින් සිටිනවා. නමුත් එයින් ගමන අවසන් වන්නේ නැහැ.ඇයි අපි රටක් ලෙස අගාධයට වැටුණේ කියා අවධානය යොමු කළයුතුයි.

අප මේ රටේ කිසිදිනක අපනයන කර්මාන්තයක් ඇති කළේ නැහැ. අපට අවස්ථා තිබු නමුත් අප ඒ සියලු අවස්ථා අතහැරියා. මම 1979 චීනයට යන විට චීනය අපට වඩා දුප්පත් රටක්. දැන් චීනය අපට මුදල් දෙනවා. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මාව හමු වුණා. ඔබ ආයෝජන ලබා ගත්තේ කොහොමද, විදේශ විනිමය ලබා ගත්තේ කොහොමද, වෙළෙඳ කලාප ඇති කළේ කොහොමද කියා ඔහු මගෙන් ප්‍රශ්න කර උපදෙස් ලබා ගත්තා. ඔහු මම දුන් උපදෙස් සටහන් කරගත්තා. නමුත් දැන් මම වියට්නාමයට ගියොත් මට ඔහු කියන දේ සටහන් කර ගැනීමට සිදු වෙනවා.අප අපට තිබු සියලු අවස්ථා අතහැරියා. අප මෙය නිවැරදි කර ගනිමින් නව ආර්ථිකයක් කරා ගමන් නොකළහොත් නැවත රටක් ලෙස අගාධයට ඇද වැටෙනවා. අප නැවත වරක් එම අදුරු යුගයකයට යා යුතුද, දැන් අප නව වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර තිබෙනවා. පැරණි ක්‍රමයෙන් ඉවත්ව අලුත් ක්‍රමයක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් ලබන එම දියුණුවත් සමග අපත් ඉදිරියට යා යුතුයි. තරගකාරි ආර්ථිකයකට යොමු විය යුතුයි. එහිදී කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණය භාවිතා කළ යුතුයි. අප අලුතින් සිතා අලුත් රටක් නිර්මාණය කරමු.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan