බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන – රුවන් නෙළුගොල්ල

බදුල්ල – මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 34 දෙනෙකි.

මෙසේ අනතුරට ලක්ව තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේ සිට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකි.

ඔවුන් බදුල්ල, මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී බස් රථය විදුලි කණුවක ගැටී පෙරළී තිබිණි. ඒ, ඊයේ පස්වරු 06.00 ට පමණ ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවය.