2026/2027 ගල් අඟුරු ටෙන්ඩරය යළිත් මතභේදයට – ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් Potentia FZCO සුදුසුකම් ලබා ඇති බවට චෝදනා

June 24, LNW (Colombo): 2026/2027 වසර සඳහා ශ්‍රී ලංකාවට ගල් අඟුරු සැපයීමේ ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලිය යළිත් වරක් බරපතළ මතභේදයකට ලක්ව ඇති බවට ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව, වසර 10ත් 15ත් අතර කාලයක් තිස්සේ ලංකා කෝල් සමාගමේ (Lanka Coal Company) ප්‍රධාන තනතුරුවල සේවය කරන ඇතැම් උසස් නිලධාරීන් සහ ටෙන්ඩරයේ Bid Evaluation Committee (BEC) හි ඇතැම් නිලධාරීන් අතර රහසිගත එකඟතා සහ ගනුදෙනු සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා සත්‍ය නම්, එය රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන තත්ත්වයක් බව නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

මෙවරද වැඩි අවධානයක් යොමුව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි Potentia FZCO සමාගම සම්බන්ධයෙනි. මෙම සමාගම පසුගිය කාලයේද ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ මතභේදයන්ට ලක්ව තිබූ අතර, මෙවරද ටෙන්ඩර් කොන්දේසි සම්පූර්ණ නොකර තිබියදී සුදුසුකම් ලබා ඇති බවට චෝදනා මතුව ඇත.

මේ අතර, Potentia FZCO සමාගම සම්බන්ධයෙන් තවත් විශේෂ කරුණක් වන්නේ 2024/2025 වසරේ ගල් අඟුරු සැපයුම් කොන්ත්‍රාත්තුවට අදාළව අමතර ගල් අඟුරු මෙට්‍රික් ටොන් 225,000ක් සැපයීම සඳහා 2025 ජූලි 18 දින ලංකා කෝල් සමාගම නිකුත් කළ ඇණවුමක් 2025 ඔක්තෝබර් 24 දින අවලංගු කිරීම සම්බන්ධයෙන් එම සමාගම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබීමයි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා කෝල් සමාගම, එවකට බලශක්ති අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා නම් කර තිබූ අතර, 2026 ජනවාරි මාසයේ සිට විභාගයට ගත් එම නඩුවේ තීන්දුව 2026 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය එම පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම, Potentia FZCO සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ සමීප හිතවතෙකුට සම්බන්ධ සමාගමක් බවට පසුගිය කාලයේ විවිධ මාධ්‍ය වාර්තාද පළ වී තිබුණි. කෙසේ වෙතත්, එම වාර්තා සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් විසින් විවිධ අවස්ථාවල අදහස් දැක්වීමේ අවස්ථාව පවතින බවද සඳහන් කළ යුතුය.

මෙවර ටෙන්ඩර් ලේඛන අනුව, ඕනෑම සැපයුම්කරුවෙකු පසුගිය අඛණ්ඩ වසර තුන තුළ සෑම වසරකදීම අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක වාර්ෂික පිරිවැටුමක් (Annual Turnover) පෙන්නුම් කළ යුතු බව පැහැදිලිව දක්වා ඇත.

එහෙත්, Potentia FZCO සමාගම එවැනි පිරිවැටුමක් පෙන්වා ඇත්තේ වසර දෙකක් සඳහා පමණක් බවත්, තෙවන වසර සඳහා ඉදිරිපත් කර ඇත්තේ විගණනය නොකළ සහ ස්වාධීනව සහතික නොකළ කළමනාකරණ ගිණුම් (Management Accounts) බවත් වාර්තා වේ. ටෙන්ඩර් කොන්දේසි අනුව එවැනි ලේඛන පිළිගත හැකිද යන්න පිළිබඳවද නීතිමය සහ ප්‍රසම්පාදන විශේෂඥයන් අතර ප්‍රශ්න මතුව ඇත.

මෙම තත්ත්වය තුළ Bid Evaluation Committee විසින් මෙම අඩුපාඩු නොසලකා හැර තිබේද, නැතහොත් හිතාමතාම නොතකා හැර තිබේද යන්න පිළිබඳවද බරපතළ සැකයන් මතුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව, මෙම ටෙන්ඩරයේ තවත් අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ සැපයුම්කරුවෙකු සතුව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක Working Capital පවතින බව සනාථ කිරීමයි. වාර්තා වන පරිදි Potentia FZCO සමාගම සනාථ කර ඇත්තේ ඩොලර් මිලියන 4ක පමණ ක්‍රියාකාරී ප්‍රාග්ධනයක් පමණක් වන අතර, ඉතිරි මුදල ලෙස ලංකා කෝල් සමාගමෙන් පෙර සැපයුම් සඳහා ලැබීමට නියමිත ඩොලර් මිලියන 29ක මුදලක් පෙන්වා ඇති බව සඳහන් වේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, Working Capital යන කොන්දේසියේ අරමුණ වන්නේ සැපයුම්කරුගේ ස්වාධීන මූල්‍ය ශක්තිය තහවුරු කිරීම මිස ලැබීමට නියමිත මුදල් පෙන්වා එම අවශ්‍යතාව සපුරාලීම නොවන බවයි. එබැවින් මෙය ටෙන්ඩර් කොන්දේසිවලට අනුකූලද යන්න පිළිබඳවද බරපතළ ප්‍රශ්න මතුව ඇත.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු සැපයුම් පද්ධතිය ඉතා දැඩි කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන අතර සාමාන්‍යයෙන් සෑම දින පහකට වරක්ම ගල් අඟුරු නෞකාවක් දිවයිනට ළඟා විය යුතුය. තවද වසරේ මාස කිහිපයක් මෝසම් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු සීමා වන බැවින්, සැපයුම්කරුගේ මූල්‍ය ශක්තිය සහ අඛණ්ඩ සැපයුම් හැකියාව රටේ විදුලි උත්පාදනයට සෘජුව බලපාන සාධක ලෙස සැලකේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් මේ දක්වා ලංකා කෝල් සමාගම හෝ Bid Evaluation Committee විසින් නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැති අතර, මෙම තොරතුරු සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත්, ඉහත සඳහන් කරුණු අතරින් රහසිගත ගනුදෙනු, ටෙන්ඩර් ඇගයීම් ක්‍රියාවලිය හා සුදුසුකම් සම්බන්ධ චෝදනා මේ වන විටත් චෝදනා මට්ටමේ පවතින අතර, ඒවා පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන්ට තම ප්‍රතිචාර සහ කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය පවතින බවද සඳහන් කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...