*
Tuesday, July 23, 2024
spot_img

Latest Posts

සංස්කෘතිය, පුද්ගල චර්යා හා ගනුදෙනු

අන්තර්වර්තික (introvert) හා බහිර්වර්තික (extrovert) ලෙස පුද්ගලයින් වර්ග කිරීමක් තිබෙනවා. මෙය සියවසකට වඩා පැරණි, ස්විට්සර්ලන්ත මනෝචිකිත්සක කාල් ගුස්ටාව් ජුං විසින් මුලින්ම ඉදිරිපත් කළ අදහසක් ලෙසයි සැලකෙන්නේ. නමුත් මේ අදහස විෂය ඇතුළේ වගේම සාමාන්‍ය භාවිතය තුළත් කාලයත් එක්ක පරිණාමය වී තිබෙනවා.

බහිර්වර්තික පුද්ගලයින්ට උත්තේජනය වෙන්න බාහිර උත්තේජක අවශ්‍යයි. එයින් වෙනස්ව, අන්තර්වර්තික පුද්ගලයින් උත්තේජනය වන්නේ තමන්ගේම අභ්‍යන්තරයෙන්. බහිර්වර්තික පුද්ගලයෝ විවෘත, සමාජශීලී පුද්ගලයෝ. නමුත් අන්තර්වර්තික පුද්ගලයින් තමන්ගේ හැඟීම් වෙනත් අයට ප්‍රදර්ශනය කරන්න මැලිකමක් දක්වන පුද්ගලයෝ. ඔය වගේ තවත් වෙනස්කම් තිබෙනවා.

කොහොම වුනත් මේක ද්විමය (binary) බෙදීමක් නෙමෙයි. මේ ලක්ෂණ වලින් විස්තර කෙරෙන්නේ සන්තතික (continuous) රේඛාවක දෙපැත්තේ අන්ත දෙක. ඔය රේඛාවේ හැම තැනකම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ පුද්ගලයෙක් සැලකුවොත් යම් තරමකින් හෝ අන්තර්වර්තික ලක්ෂණ වගේම හා බහිර්වර්තික ලක්ෂණත් තිබෙනවා. නමුත් බොහෝ විට දෙපැත්තෙන් එක පැත්තකට බර වැඩියි.

ඔය ලක්ෂණ දෙවර්ගයෙන් වඩා හොඳ එක කොයි එකද? මෙය බොහෝ දුරට සංස්කෘතික කාරණයක්. සමස්තයක් ලෙස ගත්තහම සමහර සංස්කෘතීන් වඩා අන්තර්වර්තිකයි. සමහර ඒවා වඩා බහිර්වර්තිකයි. පුද්ගලයින්ගේ වෙනස්කම් නිසා මේ විදිහේ සංස්කෘතික වෙනස්කම් ඇති වෙලා තිබෙනවද එහෙම නැත්නම් සංස්කෘතික වෙනස්කම් පුද්ගල චර්යාවන් කෙරෙහි බලපා තිබෙනවද? බොහෝ විට ඔය දෙකම වෙන්න පුළුවන්.

කරුණක් ලෙස ගත්තොත් ඇමරිකන් සංස්කෘතියේ අන්තර්වර්තික චර්යාවන් ඒ තරම් අගය කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙවැනි චර්යාවන් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ලෙස දකින තත්ත්වයක් දකින්න පුළුවන්. සමාජයීය ලෙස පුහුණු කෙරෙන්නේ අන්තර්වර්තික පුද්ගලයින්ව බහිර්වර්තික පුද්ගලයින් කරන්නයි. (මම මේ දේවල් ලියන්නේ පුද්ගල නිරීක්ෂණ ලෙස මිසක් විෂය ප්‍රවීණයෙක් විදිහට නෙමෙයි.).

උදාහරණයක් විදිහට සමහර අවස්ථා වලදී වෙනත් සමාජ වල වගේම ඇමරිකන් සමාජයෙනුත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් වාර්තා වෙනවනේ. වෙඩි තැබීම්, සමහර විට සාමූහික ඝාතන වගේ දේවල් කියා කියමු. ඔය වගේ වෙලාවට චුදිතයා ගැන මේ වගේ අදහස් පළ වෙනු දැකිය හැකියි.

“හරිම ගුප්ත පුද්ගලයෙක්. ගෙදරට යනවා සහ එනවා දකිනවා. නමුත් කා එක්කවත් වැඩි කතාබහක් නැහැ. [මටනම් ඔය මනුස්සයා ඔහොම දෙයක් කරයි කියලා සැකයක් මුල ඉඳන්ම තිබුණා.]”

මේ වගේ කෙනෙක් දිහා ඇමරිකන් සමාජය බලන්නේ ටිකක් සැකයෙන්. උදාහරණයක් විදිහට ත්‍රස්තවාදියෙක් විය හැකි පුද්ගලයෙක් විදිහට. නමුත් මේක සමාජ සම්මතයක් පමණයි. සමාජ විරෝධී වැඩ කරන හැමෝම අන්තර්වර්තික පුද්ගලයින් නෙමෙයි. සමහර විට සමාජ විරෝධී වැඩ සහ අන්තර්වර්තික/ බහිර්වර්තික චර්යාවන් අතර කිසිම සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්.

අන්තර්වර්තික පුද්ගලයින් වගේම බහිර්වර්තික, ඉතාම සමාජශීලී පුද්ගලයින් විසින්ද සමාජ විරෝධී වැඩ කරන අවස්ථා එමටව තිබෙනවා. ඒ වගේ වෙලාවක ඇමරිකන් සමාජයේ ප්‍රතිචාර මේ වගේ.

“හැමෝම එක්ක කතා බහ කරලා ඉන්න ඉතාම සමාජශීලී පුද්ගලයෙක්. මේ වගේ දෙයක් කළේ කොහොමද කියන එක හිතා ගන්නවත් බැහැ! [මේ මනුස්සයාගේ පුද්ගල ස්වභාවය අනුව මෙහෙම වැඩක් කරන්න විදිහක් නැහැ.]”

සමහර විට පාසැල් වයසේ දරුවන් ගැන ඔවුන්ගේ දෙමවුපියන් ඇතුළු වැඩිහිටියන් හිතන විදිහ දිහා බැලුවත් ඇමරිකන් සමාජයේ අන්තර්වර්තනය දෙස නිශේෂණාත්මක ලෙස බලන ආකාරය පේනවා. මගේ දරුවන්ගේ සමීප පාසැල් මිතුරන්ගේ දෙමවුපියන් අතරද සමීප සම්බන්ධයක් තිබෙනවා. ඔවුන් අතර පරම්පරා ගණනාවක් ඇමරිකාවේ ජීවත් වූ සුදු ඇමරිකානුවන් වගේම අප වැනි සංක්‍රමණිකයින් කිහිප දෙනෙක්ද ඉන්නවා. මේ දෙමවුපියන් හමු වන ගොඩක් අවස්ථා වලදී, සිදු විය යුතු පරිදිම, ප්‍රධානම පොදු මාතෘකාව වෙන්නේ දරුවෝ.

මේ දරුවන් අතරින් එක දරුවෙක් නව වන ශ්‍රේණියේදී පමණ පෙම්වතියක් සොයා ගත්තා. ආසියානු රටකින් සංක්‍රමණය වූ පවුලක දරුවෙක්. මෙය අනෙක් සුදු ඇමරිකානු දෙමවුපියන් බොහෝ දෙනෙක් දැක්කේ ඔහුගේ ලොකු ජයග්‍රහණයක් (achievement) හා දක්ෂකමක් ලෙසයි. ඒ වගේම, ඒ ගැන කතා කරද්දී තමන්ගේ දරුවා ඒ වෙද්දී පෙම්වතියෙක් සොයා ගෙන නොසිටීම ගැන යම් කණස්සල්ලක් වැනි දෙයක්ද පේන්න තිබුණා. මෙහිදී පිළිබිඹු වුනේ තමන්ගේ දරුවා අන්තර්වර්තික පුද්ගලයෙක් වෙයිද කියන බිය. එය ඇමරිකන් සමාජය තුළ යම් තරමක ප්‍රශ්නයක්.

ඇමරිකන් දෙමවුපියන් විසින් බොහෝ විට උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ව පුළුවන් තරම් සමාජ ක්‍රියාකාරකම් වෙත යොමු කරවන්නයි. පොතේ පතේ ඇලී ඉන්න දරුවෙක් බොහෝ විට කණස්සල්ලට කාරණයක්.

ලංකාවේ සමාජ සම්මතය, අඩු වශයෙන් සම්ප්‍රදායික ශ්‍රී ලාංකික සංස්කෘතිය ඇතුළේ, මේකේ අනෙක් පැත්ත කියලයි මට හිතෙන්නේ.

“අර බලන්න xxx. පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. ඔයා වගේ රට වටේ රස්තියාදු ගහන්නේ නැහැ.”

සාමාන්‍යයෙන් අන්තර්වර්තික දරුවන්ට ලංකාවේ දෙමවුපියෝ කැමතියි. ඒ අය “හොඳ ළමයි” කියන එකයි ලංකාවේ සමාජ සම්මතය.

ඔය වගේ “හොඳ ළමයි” අවුල් වැඩ කරන වෙලාවලුත් තිබෙනවා.

“පේනවා නේද හිමිජ්ජා වගේ ඉඳලා කරලා තියෙන දේ!”

හිමිජ්ජා වගේ ඉන්න, අන්තර්වර්තික, ළමයෙක්නම් හොඳ ළමයෙක් විය යුතුයි. එහෙම ළමයෙක් අවුල් වැඩක් කරලනම් ඒකේ අවුලක් තිබෙනවා. හැබැයි රට වටේ රස්තියාදු ගහන, කොයි වෙලාවකවත් ගෙදර නැති, බහිර්වර්තික, ළමයෙක් අවුල් වැඩක් කළොත් ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ.

“ඕකා කොයි වෙලාවක හරි ඔහොම වැඩක් කරයි කියලා මමනම් මුල ඉඳලම දැනගෙන හිටියා!”

හැබැයි ලංකාවේ මේ සමාජ සම්මතය දැන් දැන් වෙනස් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම නාගරික සංස්කෘතිය ඇතුළේ. ඒක වෙන්නේ ඇමරිකන් ආභාෂය නිසා වෙන්න පුළුවන්. මම මෙය හොඳ දෙයක් හෝ නරක දෙයක් ලෙස ලේබල් කරන්නේ නැහැ.

මෙහිදී බටහිර ආභාෂය නොකියා ඇමරිකන් ආභාෂය කියා කිවුවේ බහිර්වර්තනය ඇමරිකන් සංස්කෘතියේ කොටසක් වුනත් පොදුවේ බටහිර සංස්කෘතියේ කොටසක් කියා කියන්න අමාරු නිසා. බොහෝ ආසියානු රටවල අන්තර්වර්තනය නරක දෙයක් සේ සැලකෙන්නේ නැහැ වගේම බොහෝ විට හොඳ දෙයක් සේ සැලකෙනවා. විශේෂයෙන්ම ජපානය වගේ රටවල. නමුත්, මෙය පෙරදිගට සීමා වූ සංස්කෘතික චර්යාවක් නෙමෙයි. ඇතැම් බටහිර යුරෝපීය රටවල සංස්කෘතීන් තුළද අන්තර්වර්තනය කෙරෙහි නැඹුරුවක් දකින්න පුළුවන්.

මගේ පෞද්ගලික නිරීක්ෂණය අන්තර්වර්තනය ප්‍රවර්ධනය කෙරෙන සංස්කෘතීන් තුළ මිනිස්සු අනෙක් අයගේ හැඟීම් වලට වඩා සංවේදීයි කියන එකයි. බහිර්වර්තිකයෝ තමන්ගේ හැඟීම් නොපැකිළ ප්‍රකාශ කරනවා වගේම අනෙක් අයෙගෙනුත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. එයින් වෙනස්ව, අන්තර්වර්තිකයෝ කියන්නේ මිනිස් හැඟීම් හැම විටම වචන විදිහට එළියට නොඑන බව තේරුම් ගෙන, ඒ හැඟීම් මොන විදිහකින් හෝ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක්.

ලංකාවේ මම හැදිච්ච සංස්කෘතියේ පහත ආකාරයේ සිදු වීම් ඒ තරම් දුලබ නැහැ.

“පුතා අදනම් බත් ටිකක් කාලම යන්න ඕනෑ!”

ඔහොම කියන්නේ යාළුවෙක්ගේ ගෙදරට හදිසියේ ගොඩ වැදුනහම ඒ යාළුවගේ අම්මා. එහෙම නැත්නම් දුර නෑදෑයෙක්ගේ ගෙදරට හදිසියේ ගොඩ වැදුනහම.

ඔහොම බල කරලම කිවුවට “හරි එහෙනම් බත් ටිකක් කමු!” කියලා කිවුවොත් දෙන්න ගෙදර බත් නැහැ. සමහර විට උයන්න කියලා දෙයකුත් හරියකට ගෙදර නැහැ.

“නෑ, ඇන්ටි දැන් කන්න බැහැ. දැන් පොඩ්ඩකට කලිනුයි බත් කෑවේ!”

ඕකත් බොරුවක්. ඔහොම කියන්නේ පට්ට බඩගින්නේ ඉන්න ගමන්.

ඔය වගේ වෙලාවක එළියට දමන්නේ තමන්ගේ ඇත්ත හැඟීම් නෙමෙයි. නමුත් මේක සියයට සියයක්ම අනෙකාගේ පැත්තෙන් හිතලා කරන දෙයක්. කියන දේවල් වලින් එහාට ගිහින් අනෙකාගේ හැඟීම් තේරුම් ගන්න එක සංස්කෘතියේ කොටසක්.

හැබැයි මේ විදිගේ චර්යාවන් වෙළදපොළ ක්‍රමය එක්ක හොඳින් පෑහෙන්නේ නැහැ. වෙළදපොළ ක්‍රමය ඇතුළේ තමන්ගේ රුචි අරුචිකම්, තමන්ට අවශ්‍ය දේ සෘජුව ප්‍රකාශයට පත් කළ යුතුයි. එහෙම කරන එකෙන් අනෙකාට හිත් රිදීමක් වෙනවාද කියන එක අදාළ නැහැ. එහෙම වෙනවනම් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ නිදහස අනෙකාට තියෙනවා.

මම හිතන්නේ මම ලංකාවේ සන්දර්භය ඇතුළේ වුනත් අන්තර්වර්තික පැත්තට වඩා බර කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට ඇමරිකන් සමාජය ඇතුළේදී යම් සංස්කෘතික ඝට්ඨනයකට මුහුණ දෙන්න වෙනවා. ඇමරිකාවේ ක්‍රමය තමන්ට අවශ්‍ය දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙළින්ම කියන එක. හැබැයි ඒ එක්කම අනෙක් පුද්ගලයා එයට එකඟ නොවීම කිසිම ප්‍රශ්නයක් නැතිව භාර ගැනීමකුත් තිබෙනවා. “බැහැ” කිවුවා කියලා කවුරුවත් තරහා වෙන්නේ නැහැ.

මේ කාරණයේදී චීන සංස්කෘතිය වෙනස්. එය ලංකාවේ සංස්කෘතියට වඩා සමීපයි.

ඇමරිකන් සංස්කෘතිය ඇතුළේ අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමේ උත්සාහයක් ලොකුවට නැහැ. කියන්න දෙයක් තියෙනවානම් කට ඇරලා කෙළින්ම කියන්න වෙනවා. උදවුවක් ඉල්ලුවොත් උදවු කරන්න සූදානම් අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් කවුරුවත් බලෙන් උදවු කරන්න එන්නේ නැහැ. ඒක සැලකෙන්නේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් විදිහට.

ලංකාවේ එහෙම නෙමෙයිනේ. කන්න ගියොත්, බඩුවක් ගන්න ගියොත්, සංචාරයක යෙදෙන්න හිතුවොත්, උපදෙස් දෙන්න ඕනෑ තරම් අය ඉන්නවා. විවාහය ගැන, දරුවන් හැදීම ගැන උපදෙස් දෙන්න අය ඉන්නවා. මේක පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් විදිහට බොහෝ අය දකිනවා ඇති. ලංකාවේ අලුත් ප්‍රවණතාව ඒක. නමුත් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් සිදු නොවන ඇමරිකානු සංස්කෘතියේ හැදුණු වැඩුණු ඇතැම් අය මේ වගේ දේවල් මාර විදිහට අගය කරනවා.

මටනම් වෙනත් අය මා වෙනුවෙන් තේරීම් කරන එක සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානු සංස්කෘතියට මම කැමතියි. නමුත් වෙනත් අය වෙනුවෙන් තේරීම් කරන අය බොහෝ විට එසේ කරන්නේ හොද හිතින්.

සමහර වෙලාවට ලංකාවට ගියාම මම කන්න කැමති ඇති කියලා උපකල්පනය කරලා කෑම වර්ග අරගෙන හෝ හදාගෙන එන අය ඉන්නවා. එහෙම කරන්නේ ලොකු කැප කිරීමක් කරලා. සමහර විට අතේ සල්ලි තියෙනවට නෙමෙයි. වෙලාව තියෙනවට නෙමෙයි. ආපහු දෙයක් බලාපොරොත්තුවෙනුත් නෙමෙයි.

ඔය විදිහේ දේවල් කරන්නේ දන්නා කියන අය පමණක් නෙමෙයි. කිසිම පෙර හැඳුනුම්කමක් නැති අයත් ඔය වගේ උදවු කරන අවස්ථා මම ඕනෑ තරම් තියෙනවා. චීනයේදී මම දැක්කෙත් හරියටම ඔන්න ඔය සංස්කෘතික චර්යාව.

පැකිලීමක් නැතිව අනුන් වෙනුවෙන් තීරණ ගන්න ඉදිරිපත් වෙන සංස්කෘතියක් ඇතුළේ තමන් වෙනුවෙන් වෙනත් අය විසින් ගන්නා එවැනි තීරණ භාර ගැනීමේ නැඹුරුවකුත් තිබෙනවා. දෙකෙන් එකක් පමණක් පවතින්න බැහැනේ. ඒ වගේ සංස්කෘතික පසුබිමක ගනුදෙනු සිදු වන ආකෘතියේත් වෙනසක් තියෙනවා. පාර්ශ්ව දෙකම ගණුදෙනුවට ඉදිරිපත් වෙන්නේ තමන්ගේ වාසියට අමතරව අනෙකාගේ පැත්ත ගැනත් හිතලා. හැබැයි අනෙකා ගැන හිතන්නේ තමන්ට සාපේක්ෂව.

මෙහි තිබෙන ප්‍රශ්නය තොරතුරු අසමමිතිය. කෙනෙකුට කවදාවත් වෙනත් කෙනෙකුගේ හැඟීම් හරියටම තේරුම් ගන්න බැහැ. ඒ නිසා, ඇමරිකන් සංස්කෘතිය ඇතුළේ වෙළදපොල ගනුදෙනු වඩා කාර්යක්ෂමයි. ලංකාව හෝ චීනය වගේ රටක ඒ කාර්යක්ෂමතාවය යම් සීමාවකින් නවතිනවා. ඒක සංස්කෘතික සීමාවක්. ඒ වගේම, ලංකාව හා චීනය වගේ රටවල රාජ්‍ය මැදිහත් වීම් වලට ඇමරිකාවේ නැති සංස්කෘතික ඉඩක් තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan