රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා කතරගම දේවාලය’ යනු, එහි පය ගැසුවන්ගේ ගත ද සිත ද සිහිල් සුවයෙන් නිවාලීමට සමත් උතුම් පුදබිමකි. කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩසිටින පුදබිමෙහි එක් පසෙක වූ දේව මාලිගාවේ තේජස් සම්පන්නව වැඩවසන්නේ කතරගම දිව්‍යරාජයාණන් වහන්සේය. ජාති ආගම් භේදයක් නොමැතිව ශ්‍රී ලාංකිකයෝ රුහුණු මහා කතරගම දේවාලයේ කඳ සුරිඳුන්ගේ පිහිට ලබාගනු පිණිස වන්දනාමාන කරති. කදිර සුරිඳුන්ගේ පිහිට පතා මේ පින් බිමට පැමිණෙන බැතිමතුන් එහි පිං කැටයට තමාට හැකි පමණින් සුළු හෝ ආධාරයක් කරති. එලෙස වාර්ෂිකව රුහුණු මහා කතරගම දේවාලයට නන් අයුරින් ලැබෙන ආදායම් මුදල්, දේවාලයේ නඩත්තුවට මෙන්ම අද වන විට සමාජ සුබසාධනය උදෙසා ද වැය කරනු දැකිය හැකිය.
එයට ආසන්නතම නිදසුන නම් ‘කදිරදේවාපේක්ෂා’ අරමුදල මගින් අපේක්ෂා රෝහල වෙනුවෙන් නව වාට්ටු දෙකක් ඉදිකිරීමය. සැබැවින්ම එය කඳ සුරිඳුන්ගේ බැල්ම මහරගම පිළිකා රෝහලට යොමු කළා මෙන් ඉතාමත් අගනා කාර්යභාරයකි. මන්ද යත් මෙතෙක් කල් අපේක්ෂා රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් ශල්‍යාගාර පවත්වාගෙන යනු ලැබුවේ කන්ටේනර් තුනක් ඇතුළත නිම කළ ඉදිකිරීමක් තුළය. විශ්වාස කිරීමට මඳක් අපහසු වුවද සත්‍ය වූයේ එයයි. එම ඉදිකිරීම වෙනුවට කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන් වූ නව ගොඩනැගිල්ලක් මේ වසරේ ජනවාරි මාසයේ විවෘත විය. මෙම ගොඩනැගිල්ල හුදු සාමාන්‍ය තත්ත්වයේ ගොඩනැගිල්ලක් නොව සුවිශේෂී ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ පිරිවැය දරනු ලැබුවේ රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල විසිනි.
මේ පිළිබඳ දේශය සිදුකළ විමසීමකදී දැනට රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“දේවාලයට බැතිමතුන් දෙන ආධාර, දේවාලයේ පඬුරු පෙට්ටිය සහ ඉඩකඩම්වලින් එන ආදායමෙන් තමයි දේවාලයේ නඩත්තුවට ආදායම් ලැබෙන්නේ. දළ වශයෙන් ගත්තොත් වාර්ෂිකව මිලියන 400 ක වගේ ආදායමක් දේවාලයට ලැබෙනවා. එතකොට ඒවායෙන් දේවාලයේ නඩත්තු කටයුතු කරලා, පඩි නඩි ගෙවලා, පෙරහර මංගල්‍ය ටික කරන්න ඕනෙ. ඊට පස්සේ තමයි රෝහල් ඉදිකිරීම් ඇතුළු සමාජ සේවා වැඩ කරන්නේ. දෙවි හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න නම් මේ වගේ දේවල් තමයි කරන්න ඕනෙ. මිලියන දෙසීයක් විතර වියදම් කරලා, පිළිකා රෝහලේ එක වාට්ටු සංකීර්ණයක් හදලා ඉවරයි. දෙවැනි අදියර විදිහට පිළිකා රෝහලට නවීන මුළුතැන්ගෙයක් හදමින් පවතිනවා. ඒ වගේ ගොඩක් වැඩ මේ වෙනකොට කරගෙන යනවා. ඒ අතරේ කතරගම රෝහල හදලා ඉවර කළා. මොනරාගල රෝහලේ හෘද ඒකකය, තට්ටු තුනක ගොඩනැගිල්ලක් මේ වෙනකොට ඒක හදමින් පවතිනවා.”
මෙම ගොඩනැගිල්ල පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ බස්නායක නිලමේවරයා විසිනි. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයාගනු ලබන්නේ කතරගම දෙවියන්ට පිං පිණිස බැතිමතුන් පූජා කරන මුදලිනි. මෙබඳු ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අරමුණ පැහැදිලි කරමින් ඩිෂාන් ගුණසේකර මහතා මෙලෙස පැවසීය.
“අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් තිබෙනවා ලීනියර් එක්සලරේටර් (Linear Accelerator) නමින්. එය දරුවන්ගේ ප්‍රතිකාර වෙනුවෙන්ම වෙන්වුණු යන්ත්‍රයක්. මම දවසක් රූපවාහිනිය නරඹමින් සිටියදී ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා, එම යන්ත්‍රය අක්‍රීය වෙලා තියෙන බවට. ප්‍රවෘත්තිය විකාශනය වුණු දවසට පසුවදාම ගොස් රෝහල් අධ්‍යක්ෂතුමා හමුවෙලා මේ පිළිබඳ කරුණු විමසුවා. එසේ කරුණු විමසූ පසු රෝහල් අධ්‍යක්ෂතුමා පැවසුවා දින පහක් ඇතුළත එය නවීකරණය කර දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පොරොන්දු වූ බව. ඒ අවස්ථාවේ එහි සිටි විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා වෙනත් අදහසක් යෝජනා කළා. දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටුවල ඉතාමත් තදබදයක් පවතින බැවින් ඒ දරුවො සහ දරුවන්ගේ මව්වරු දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත්, එම අපහසුතාව වළක්වා ගැනීමට හෝ අවම කිරීමට හැකි වැඩපිළිවෙළක් යොදනවා නම් එය ඉතා වටිනා බවත් වෛද්‍ය වසන්ත රත්නායක මහතා පැවසුවා. පසුව මම මේ පිළිබඳ සොයා බැලුවා. එහිදී දකින්න ලැබුණේ අඩි 10×12 කාමරයක දරුවො හතර දෙනෙක් රඳවා සිටින ආකාරයයි.
ඇත්ත වශයෙන්ම බැලුවොත් ඒ ඉඩ ප්‍රමාණය දරුවො හතර දෙනකුට ප්‍රමාණවත් මදි. මෙන්න මේ හේතුව නිසා තමයි රෝහල් අධ්‍යක්ෂතුමා සමඟ සාකච්ඡා කරල මේ ගොඩනැගිල්ල ඉදි කරන්න සැලසුම් කළේ.”
රජයේ රෝහල්වලට සාපේක්ෂව මෙම ගොඩනැගිල්ල තුළ දරුවන් 76 දෙනකුට අවශ්‍ය ඇඳන් 76 ක් සහිත සියලු සැප පහසුකම් ඇතුළත්ය. සම්පූර්ණ ගොඩනැගිල්ල මහල් හතරකින් යුතු වන අතර, මහල් දෙකකට මෙම ඇඳන් 76 යොදා තිබේ. එහිදී දරුවන්ට අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකම්, දෙමාපියන්ගේ වැසිකිළි කැසිකිළි පහසුකම් යනාදිය සඳහා ද නවීනතම සනීපාරක්ෂක උපකරණ සවි කර තිබේ. එමෙන්ම රෝගී දරුවාගේ මවට නිදාගැනීම සඳහා විශේෂ ඇඳක් සපයා ඇති අතර, එය සකසා ඇත්තේ අවශ්‍ය වෙලාවේදී භාවිත කර අනෙක් වෙලාවේදී දරුවාගේ ඇඳ තුළට ඇතුළු කිරීමට හැකිවන පරිදිය.
මීට අමතරව නවීන තාක්ෂණයෙන් යුතු පරිගණක විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් පවා මෙයට ඇතුළත්ය. එමෙන්ම ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි අන්තර්ගතය. පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය ද මෙය වීම විශේෂත්වයකි.
මෙහිදී එම ප්‍රතිකාරය නොමිලයේ කරගත හැකි අතර, අවශ්‍ය උපකරණ, වෛද්‍යවරුන් සහ අනෙකුත් පහසුකම් සියල්ලම ඇති නිසා රජයට මේ වෙනුවෙන් දැරීමට සිදුවන්නේ ද ඉතා සුළු මුදලකි.
“ඵල ඇති රුකටයි පහර වදින්නේ” යන කියමන සනාථ කරමින් මෙබඳු උත්තරීතර කාර්යභාරයකටද ගල්මුල් පහර එල්ල කෙරිණි. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඩිෂාන් ගුණසේකර මහතා මෙලෙස පවසා සිටියේය.
“මම කතරගම දෙවියන්ට පිං සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ රෝගී දරුවන්ට කළේ සේවයක්. මා කිසිදු දේශපාලන අරමුණකින් හෝ කිසිවකු ප්‍රවර්ධනය කිරීමේ යටි අරමුණකින් මෙම රෝහලට උපකාර කළේ නැහැ. පොදු සේවයක් අගය නොකර මා සොරකු බව පවසා සමාජ ක්‍රියාකාරී මහත්මයෙක් රහස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කතරගම දේවාලයෙන් කරන සෑම සමාජ සත්කාරයක්ම නිසි විනිවිදභාවයකින් කර තිබෙනවා.
මහරගම ළමා වාට්ටුවට වැය කරපු සෑම සතයක්ම කාටත් බලාගන්න හැකි වන ලෙස ගිණුම්ගත කර තිබෙනවා. දරුවකුට වතුර උගුරක්වත් නොදුන් අය මේ වැඩේට චෝදනා කරනවා. මහරගම රෝහලේදී සෞඛ්‍ය ඇමැතිතුමා කළ කතාව වරදක් ලෙස මා දකින්නේ නෑ. එතුමා කිව්වේ ඉදිරියට කරන සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධවයි. ඒ වගේම මාවත් දේශපාලනයට ගාවලා කතා කරනවා. එදා මම රෝහලට ගියේ මහේන්ද්‍ර මාරසිංහ නමැති රෝහලට ආධාර කළ මහත්තයෙක් එක්ක. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගැන කිව්වා කියලා සමාජ මාධ්‍යවල කතා හදලා.
මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ හැටියට රටේ සිටින සෑම මහජන නියෝජිතයකුටම සහ සෑම රජයකටම ගරු කරනවා. දේවාලයේ සංවර්ධන වැඩවලට දේශපාලනය ගාවාගෙන නැහැ. බුද්ධාගම බේරාගත්ත අනගාරික ධර්මපාලතුමා මහමෙරක් සේවය කරලා දැඩි කලකිරීමෙන් රටින් ගියා. මම එසේ කරන්නේ නෑ. රජයේ උපදෙස් මත තව ගොඩනැගිල්ලක් මහරගම පිළිකා රෝහලට හදලා දෙනවා. මටත් දරුවෝ ඉන්නවා. සමාජයට සේවයක් කළාම එයාට හොරා කියනවා. මේවා හෙළා දැකිය යුතුයි. මේ නිසා උපකාර කරන අය කලකිරීමට පත් වෙනවා. පොදු වැඩ නතර කරනවා. කතරගම දේවාලයේ අයවැය කාටත් බලන්න පුළුවන්. අද කතරගම තරුණ තරුණියන් හෝටල්වල රැකියා කරන්න නොමිලේ පුහුණුවීම් කළා. රට රැකියාවලට යන්න පුහුණුවීම් කළා. දරුවන්ට අමතර පන්ති කළා.
මම හැමදාම බස්නායක නිලමේ විදිහට ඉන්න ආවේ නෑ. කතරගම කළ සංවර්ධනය මම ගෙදර ගෙනියන්නේ නෑ. මම සොරකු ලෙස මාධ්‍යවලට කියූ මහත්තයා ගැන අනුකම්පා කරනවා. ඔහු ජීවත් වෙන්න කරන රැකියාව තමයි කාට හරි අපහාස කරන එක.”
කෙසේ වෙතත් ජාතිවාදය, ආගම්වාදය මුල් කොටගෙන දහස් ගණන් ජීවිත විනාශ කරන ලෝකයක උතුම් පුදබිමකින් ලැබෙන ආධාර මුදල්, රෝගීන් සුවපත් කරනු වස් රෝහල් සෑදීමට සහ ඒවා වැඩිදියුණු කිරීමට වැය කිරීමට අදහසක් පහළ වීම පවා උතුම් මනුසත් ගූණයක් බව සිහි තබාගත යුතුය.
~ මංගලා පවිත්‍රානි
(දේශය පුවත්පතේ පළවූ ලිපියකි)
