*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

අපි නිරන්තරයෙන් මේ රටට ආදරය කළ ජනතාවක් – නාමල්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගනු ලැබූ සෑම තීන්දුවක්ම ගෙන තිබෙන්නේ මේ මහපොලොවේ ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අනාගත දරු පරපුරේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන් නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පෙන්වාදෙන ඒ මහතා ඉදිරියේ දී පැමිණෙන කුමන අභියෝගයක් වුවද ජයගැනීමට හැකි බවද රටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් සවිමත් දේශපාලන බලවේගය ලෙස නිරන්තරයෙන් පෙනී සිටින බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ කිරිබත්ගොඩ නගරයේ දී ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් “කැලණිය” ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

” අපි නිරන්තරයෙන් මේ රටට ආදරය කළ ජනතාවක්. මෙතන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති විශ්වාස කළ දේශපාලන කණ්ඩායමක්. එදා බොහෝ දේශපාලන පක්ෂවල වසර 30 ක සටන් පාඨයක් වුණු සාමය, නිදහස, සාම සාකච්ඡා ආදිය කෙටි කලක් තුළ සමස්ත මැතිවරණ වේදිකාවෙන්ම හකුලා දමන්න මහින්ද රාජපක්ෂ මහතාට මේ ජනතාව හයිය ලබාදුන්නා. සීග්‍ර සංවර්ධනයකට අපේ රට රැගෙන ගියා. වේගයෙන් සංවර්ධනය කරන්න පටන් ගත්තා. අපි විශ්වාස කළා මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ සංවර්ධනය කරන්න. පාරවල් හැදුවා. 2005 ට පෙර රාජ්‍ය නායකයෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි කළා. මධ්‍යම පන්තියේ ජීවත් වන මේ ප්‍රදේශ එදා සුළු සංවර්ධනයකට ලක්වෙලා තිබුණේ. අපේ ගම්වල අම්මලා, තාත්තලා කැලණිය විහාරය වැඳපුදා ගන්න එනවිට එක් පැත්තකින් පැය 8 ක 9 ක ගමනක් පැමිණිලා වැඳපුදා ගත්තා. කිරිබත්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන්ට ත්‍රස්තවාදය නිසා තිබුණු ආර්ථික අවපාතය නිසා දැවැන්ත ඇර්බුදයන්ට මුහුණ දුන්නා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මේක දැක්කා.

අපි විශ්වාස කළා ත්‍රස්තවාදය අවසන් කිරීම වගේම මේ රට සංවර්ධනය කරා රැගෙන යන්න ඕන කියලා. එදා අධිවේගී මාර්ග හැදුවේ ඒ නිසයි. සමහරු හිතුවා අධිවේගී මාර්ගය හැදුවේ ඇඹුල්තියාල් ගෙන්න කියලා. ඇඹුල්තියාල් ද ගෙනාවා. ඒ අයත් රැස්වීම්වලට එනවා යනවා. නමුත් අපිට වැඩපිළිවෙලක් තිබුණා. කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ සම්බන්ධ කරන්න අපිට අවශ්‍ය වුණා. කොළඹ හා හම්බන්තොට වරායන් අධිවේගී මාර්ග පද්ධතිය තුළින් සම්බන්ධ කරන්න. ඒ වගේම තමයි කැලණිය වගේ අර්ධ නාගරික ප්‍රදේශ නාගරික සංවර්ධීත බවට පත්කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්නත් අවශ්‍ය වුණා. අපේ රටේ බොහෝ වෙලාවට එදා අපි ණය ගත්තේ තිරිගු පිටි ගෙනත් පාන් කන්න දෙන්නයි. සංවර්ධනය කරන්න නොවෙයි. නමුත් අපි ණය ගත්තේ මේ රටේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්නයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්නයි. නගරයේ දරුවන්ට ලැබෙන සම්පත් හා පහසුකම් ගමේ දෙමාපියන්ගේ දරුවන්ටත් ලබාදෙන්න අපි උත්සාහ කළා.

ඒ අවශ්‍ය දැක්මක් සමඟ අපි වැඩ කලා. අලුත් රැකියාවන් උත්පාදනය කරන්න අපිට අවශ්‍ය වුණා. අපි තොරතුරු තාක්ෂණ ගම්මාන ගැන කතා කළේ ඒ නිසයි. අධිවේගී මාර්ගවල පිවිසුම් ස්ථාන හදුනාගෙන කුරුණෑගලින් පටන් ගත්තාම ගාල්ලට අපේ ඉලක්කය තිබුණා අධිවේගී මාර්ගය දඹුල්ලට ගෙනයන්න. ඒ නිසා හඹරනට අපේ ඉලක්කයක් තිබුණා. කන්ද උඩරටට ගෙනයන්නත් අපේ අවශ්‍යතාවය තිබුණා. මහනුවරට වගේම නුවරඑළියට ගෙනයන්න අවශ්‍ය වුණා. අවශ්‍ය තාක්ෂණ ගම්මාන ගොඩනඟලා අපේ දරුවන් අපේක්ෂා කරන තාක්ෂණ විප්ලවයෙන් ගොඩනැගෙන නව රැකියාවලට නව ව්‍යාපාරවලට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අපි ඒක ආරම්භ කලා. අවාසනාවකට අපේ රටේ බොහෝ පිරිසකට මේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාගන්නවත් තේරුම් ගන්නවත් ඇතැම් දේශපාලන පක්ෂ ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා ඒ සියල්ල අතරමග කඩා වැටුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර ගන්න සිදුවුණේ මහින්ද රාජපක්ෂ මහතා බාරදුන් රට නොවෙයි. පාස්කු ප්‍රහරය එක් පැත්තකින්. අනෙක් පැත්තෙන් රැකියා කප්පාදු කළ ආර්ථික වර්ධන වේගය සියයට 2.53 දක්වා අඩුවුණු කෘෂිකර්මය කඩා වැටුණු රටක්. ඒ අතර කොරෝනා ආවා.

ඒ වෙලාවේ අපිට තීන්දුවක් ගන්න වුණා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවාද. රට විවෘත කරලා ආර්ථිකය දුවන්න දීලා ආර්ථිකය රැක ගන්න්වා ද කියන කාරණය ගැන සිතන්න වුණා. නමුත් අපි ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කළා අපි ජීවිත ආරක්ෂා කරන්න ඕන කියලා. ජීවත් වෙලා ඉන්න ඕන ආර්ථිකය හදන්න. එදා බදු අඩුකළා. අපි ඒක පිළිගන්නවා. ඒකට අධිකරණයෙන් නියෝගයක් එන්න ඕන නැහැ. අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම තිබ්බා. යහපාලන ආණ්ඩුවෙන් ගැසූ බදු වැඩි නිසා ඒක අඩු කරන්න ඕන කියලා. එදා කොවිඩ් වෙලාවේ බදු අඩුනොකළා නම් කිරිබත්ගොඩ නගරයේ ව්‍යාපාරවල සේවකයන්ට පඩි ගෙවන්න වෙන්නේ නැහැ. මේ රටේ කර්මාන්ත වැටෙනවා. ඒවා ආරක්ෂා කර ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළා. අපි අතින් යම් අඩුපාඩු වුණා. නමුත් අපි ගත්ත හැම තීන්දුවක්ම ගත්තේ මේ මහපොලොවේ ජීවත් වන ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කරන්නයි. ආරක්ෂා කරන්නයි. අපි අදටත් විශ්වාස කරනවා මේ බදු ප්‍රතිපත්තිය තුළ දේශීය ව්‍යාපාරිකයාගේ බදු අඩු වෙන්න ඕන. රජයක් විදියට විදේශ ආයෝජන සඳහා විශාල වශයෙන් සහන ලබාදෙනවා.

ඒ සහන දේශීය ව්‍යාපාරිකයන්ටත් දෙන යුගයක් අපි ආරම්භ කළයුතු වෙනවා. දේශීය ව්‍යාපාරිකයා දියුණු වුණොත් තමයි නව රැකියා උත්පාදනය වන්නේ. නව රැකියා උත්පාදනය වුණොත් තමයි අපේ දරුවන් අතට සල්ලි ලැබෙන්නේ. බලාපොරොත්තුවන් ඇති වෙන්නේ. විශ්ව විද්‍යාලය හෝ කාර්මික පුහුණුව හෝ තාක්ෂණ පීඨය හෝ මෙයින් ලැබෙන අධ්‍යානය තුළ දරුවන්ට නව රැකියාවක් ලැබෙනවා. අසීමිත බදු ප්‍රත්පත්තියක් තුළ මේ රටේ ව්‍යාපාරිකයන්ට සාධාරණයක් ඉටුවන්නේ නැහැ. බදුවල ප්‍රතිශතයට වඩා බදු ගෙවන ප්‍රතිශතය වැඩි කරන්න අපි උත්සාහ කරනවා. ඒකට තාක්ෂණයත් බද්ධ කරනවා. අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. ඔබේ දරුවා අපේක්ෂා කරන තාක්ෂණීක විප්ලවය තුළ නිර්මාණය වන රැකියාවට දරුවන් රැගෙන යන්න අපිට වැඩපිළිවෙක් තිබෙනවා. ඒ තුළ අපි විිශ්වාස කරන්නේ ඉදිරියේ දී පැමිණෙන අභියෝගවලට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අපි අද ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් අපේ මන්ත්‍රී කණ්ඩායම කරන වැඩපිළිවෙල තුළ අද ණය ප්‍රතිව්‍යුහගතකරණය කර තිබෙනවා. ඒ ප්‍රතිව්‍යුහගතකරණය කළ ණය ප්‍රමාණය, ද්වීපාර්ශවික ණය එදා ගත්තේ මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න.

නමුත් රාජ්‍ය සම්පත් විජාතීයකරණය තුළ ඒ ණය ගෙවන්නේත් නැතිනම් විකුණන සල්ලි පරිභෝජනයට ගන්නවා නම් අපිට ඉදිරියේ දී හෝ මේ අර්බුදයෙන් ගොඩ එන්න නොහැකි තැනට පත් වෙනවා. ණය කපා හැරලා නැහැ. ණය ගෙවන්න ඕන. යහපාලන කාලයේ ගත්ත ණය ටික නම් කපා ගන්න පුළුවන් වෙයි. ආණ්ඩුව මැදිහත් වෙලාඒවායින් යම් ප්‍රමාණයක් අඩුකර ගන්න වෙයි කියා අපි විශ්වාස කරනවා. රාජ්‍ය සම්පත්වලට ආයෝජකයින් ගේන්න ඕන. ඔවුන් ගෙනත් ඒවා පුළුල් කළයුතු වෙනවා. ඒ කතුළ නව රැකියා උත්පාදනය කළයුතු වෙනවා. නමුත් ආයෝජකයාට පැමිණ ආයෝජනය කළහැකි පරිසරය අපි හදලා තිබෙන්නේ. අසීමිත බදු බර, කාලයෙන් කාලය වෙනස්වන ප්‍රතිපත්ති, දේශපාලන අස්ථාවරත්වය තුළ සාධාරණත්වය අපේ දේශීය ව්‍යාපාරිකයන්ට හෝ විදෙස් ආයෝජකයින්ට හෝ ඉටුවෙන්නේ නැහැ. අපි අවුරුදු 30 ක් යුද්ධ කළා. මහින්ද රාජපක්ෂ මහතා ඒක අවුරුදු තුනෙන් අවසන් කළා. ඒ සටන් පාඨය ඉවත් කළා. දැන් ඇතැමුන් උත්සාහ කරනවා හොරු අල්ලන සටන් පාඨය ඊළඟ අවුරුදු 30 ට තමන්ගේ මැතිවරණ වේදිකාවේ සටන් පාඨයක් කරගන්න.

යහපාලන ආණ්ඩුව පැමිණි පසුව අපේ ලැම්බෝ ගිනි තිබෙනවා කියා සොයා බැලුවා. රත්තරන් අශ්වයෝ සොයා බැලුවෝ. ඩොලර් බිලියන 18 ක් තිබෙනවා කියා සොයා බැලුවා. නමුත් දැන් ප්‍රතිව්‍යුහගතකරණය කරනවිට ඩොලර් බිලියන 10 ක් හමුවී තිබෙනවා. නමුත් 18 ක් සොරකම්කර තිබෙනවා කියනවා. බොරු කියා මේ රටේ ජනතාව තුළ වෛරය උත්පාදනය කරනවා. වෛරීය දේශපාලනය තුළ ඔබේ දරුවාට අනාගතයක් නැහැ. ඔබේ දරුවාට අනාගතයක් තිබෙන්නේ වැඩපිළිවෙලක් හා දැක්මක් සමඟ දේශීයත්වය අගය කරන අපේ කමට ගරු කරන ආගම දහම ආරක්ෂා කරන දේශපාලන බලවේගයටයි. අපේ සංස්කෘතිය අපි රකින්න ඕන. කිරිබත්ගොඩ නගරය ඒකට හොඳ උදාහරණයක්. එදා අරගලයෙන් කළේ අපේ සංස්කෘතියට ගහපු එක. සංස්කෘතිය වට්ටපු එක. ඔබ එදා ලබාදුන් හයිය තුළින් ගොඩනැඟුණු දේශපාලන සාරධර්ම ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරනවා. එදා ත්‍රස්තවාදය අවසන් කරනවිට ඊට විරුද්ධ වූ පිරිසක් හිටියා. අදටත් අපිට ඇතැමුන් කියනවා යුද්ධය ගැන කතා කරන්නේ ඇයි කියලා. එහෙම කියන අය යුද්ධය සම්බන්ධයෙන් පොත් ලියනවා.

එදා අපි විශ්වාස කළේ රණසිංහ ප්‍රේමදාස මහතා විතරයි එල්.ටී.ටී,ඊයට තුවක්කු දුන්නේ කියලා. පිල්ලෙයාන් ඇමැතිවරයා ප්‍රකාශයක් කර තිබෙනවා තවත් දේශපාලන පක්ෂයක් එල්.ටී.ටී.ඊයට තුවක්කු දුන්නා කියලා. එලෙස තුවක්කු ලබාදී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු වෙනවා. ඇත්තටම එහෙම දේශපාලන පක්ෂයකට තුවක්කු තිබුණා ද එල්.ටී.ටී.ඊ යට දෙන්න. එලෙස තුවක්කු දුන්නා නම් එම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් වියයුතු වෙනවා. අපි වැඩපිළිවෙලක් එක්ක යමු. ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන් නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා පොදුජන පෙරමුණ වටා එක් වෙන්න. මේ පිරිස රටට, ජාතියට ආදාරය කරන පිරිසක්. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති සමඟ බද්ධ වුණු සහ එම ප්‍රතිපත්තිවලට ආදරය කළ පිරිසක් ලෙස අපේ බලවේගයත් එක්ක එකතු වෙන්න කියා ආරාධනා කරනවා. ප්‍රසන්න රණවීර මහතා ඉතාම හොඳින් මේ ආසනයේ සංවිධාන කටයුතු කරනවා. හැම අවස්ථාවකම මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ඒ මහතා කටයුතු කර තිබෙනවා

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan