ප්‍රංශයේ අධික උෂ්ණත්වය හෙතුවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
යුරෝපයට බලපා ඇති දැඩි උෂ්ණත්ව රැල්ල හේතුවෙන් ප්‍රංශයේ මරණ සංඛ්‍යාව 2,025ක් ලෙස වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

වාර්තාවලට අනුව, ජූනි මාසයේ අවසාන සතියේ මරණ සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව සියයට 29කින් ඉහළ ගොස් තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ස්ටෙෆනි රිස්ට් සඳහන් කළේ වයස අවුරුදු 45ට වැඩි පුද්ගලයන් අතර මරණ සංඛ්‍යාවේ පැහැදිලි ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

ජූනි 24 වැනිදා ප්‍රංශය සිය ඉතිහාසයේ සාමාන්‍ය උෂ්ණත්වය අනුව වාර්තා වූ උණුසුම්ම දිනය අත්විඳ ඇති අතර, පැරිසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41කට ආසන්න වී තිබිණි. එමෙන්ම රටේ ප්‍රදේශ රැසකට රතු තාප අනතුරු ඇඟවීම් සහ ලැව්ගිනි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ ප්‍රංශයේ දකුණු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ළඟා විය හැකි බවයි. බෝඩෝ, ටූලූස් සහ ඒජන් ඇතුළු ප්‍රදේශවල සෙල්සියස් අංශක 36 සිට 37 දක්වා උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.

මේ අතර, අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඊයේ (02) ප්‍රකාශ කළේ ගිම්හාන සමය ආරම්භයේ සිට මේ දක්වා ලැව්ගිනි 7,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, හෙක්ටයාර 8,700කට ආසන්න භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

අධික උෂ්ණත්වය ප්‍රංශයට පමණක් සීමා වී නොමැත. පෘතුගාලයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇති බවත්, රාත්‍රී කාලයේදී පවා සෙල්සියස් අංශක 25ට වඩා වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇති බවත් පුරෝකථනය කර තිබේ.

ස්පාඤ්ඤයේ නිරිතදිග ප්‍රදේශ සඳහා ද තැඹිලි මට්ටමේ උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ යුරෝපයේ බටහිර ප්‍රදේශ දෙසට විශාල අධි පීඩන පද්ධතියක් වර්ධනය වෙමින් පවතින අතර, සති අන්තය වන විට ප්‍රංශය සහ දකුණු බ්‍රිතාන්‍යය පුරා උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර, පසුගිය සතියේ නෙදර්ලන්තයේ ද අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 480කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...