පාස්කු ප්‍රහාරය ගැන කරුණු රැසක් හෙළිවෙලා. විමර්ශන ප්‍රගති වාර්තාව සමඟ යුක්තිය ඉටුකරන බවට ඇමති විජේපාල අදත් සහතික වෙයි (VIDEO)

0
186

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනය ගැඹුරින් සිදුවෙමින් තිබෙන අතර ඊට යුක්තිය ඉටුකිරීම අනිවාර්යයෙන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේතුවේදී යළිත් සහතික විය.

විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා ඒ බව අවධාරණය කළේය.

එම ප්‍රහාරයට අදාළව වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාව ආණ්ඩුවට පවතින බවත් ඊට අදාළ විමර්ශන සාර්ථකව සිදුකෙරෙන හෙයින් කුමන ඉහළ තැනක සිටියද වරදකරුවන් නීතිය හමුවට පමුණුවන බවයි විජේපාල මහතා පැවසුවේ.

අසාද් මවුලානගේ හෙළිදරව් කිරීම්වලට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් ඔහු මෙරටට ගෙන ඒම සඳහා නීත්‍යානුකූලව සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදුකෙරමින් පවතින බවද ඔහු සඳහන් කරන ලදී.

මේ අතර සාරා ජස්මින්ගේ DNA සම්බන්ධවද සංවේදී කරුණු හෙළිදරව් වී ඇති අතර ඒවා අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඒ ගැන පූර්ව දැනුවත්භාවයකින් සිට ඇති බවද විමර්ශනවලින් හෙළිදරව් වී තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයට අයත් කණ්ඩායමක් කිසියම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අන්තවාදී කණ්ඩායමකට සහය දීමක් හෝ නොකර හැරීමක් කර ඇත්ද යන්න අනාවරණය කරගැනීම වෙනුවෙන් ගැඹුරින් විමර්ශන සිදුවන බවද අමාතයවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ