සීයට තිහේ අලුත් බද්ද අපේ ඇඟළුම් කර්මාන්තයට බලපාන හැටි

0
251

මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ විභවයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. වෙන ආණ්ඩුවක් තිබුණත් බොහෝ විට මේ ප්‍රතිඵලයේ වෙනසක් සිදු වෙන එකක් නැහැ.

බද්ද පැනවීමෙන් පසුව ආණ්ඩුව කටයුතු කළ ආකාරයේ කියන්න වැරැද්දක් නැහැ. මේ බද්ද තනිකරම මෙන් ඇමරිකාවේ ඒකපාර්ශ්වික තීන්දුවක්. රාජ්‍ය නායකයින්ට ලිපි ලියා තිබෙන ආකාරයෙන්ම මේ තීරණයේ අධිපතිවාදී ස්වරූපය පැහැදිලිව පෙනෙනවා. ඇමරිකාවේ ආණ්ඩුව විසින් තනිව තීරණය කර නියෝග ස්වරූපයෙන් ඒ තීරණය දැනුම් දීමකුයි මෙහිදී සිදු වී තිබෙන්නේ.

මේ වගේ අවස්ථාවකදී දැක්විය හැකි ප්‍රතිචාර වර්ග දෙකක් තිබෙනවා. එකක් ඇමරිකාවේ තීරණයට ප්‍රතිරෝධය දැක්වීම. චීනය වැනි රටවල් විසින් කළේ එයයි. දෙවන ක්‍රමය කණ පාත් කරගෙන ඇමරිකාව කියන දේ පිළිගැනීම.

ඔය ක්‍රම දෙකෙන් ලංකාව හමුවේ තිබුණු හොඳම ප්‍රතිචාරය දෙවැන්නයි. ඊට හේතුව ඇමරිකාව ලංකාවට සාපේක්ෂව සුපිරි බලවතෙක් වීම නෙමෙයි. ඇමරිකාව හා ලංකාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වීය වෙළඳාම ලංකාවට ඉතාම වාසි සහගත එකක් වීමයි. මේ බද්ද නිසා ඒ වාසිය අඩු වුනත්, තවදුරටත් මේ වෙළඳාමේ වාසිය තියෙන්නේ ලංකාවටයි.

ප්‍රතිරෝධයක් දක්වන්න ගියානම් වෙන්නේ දැනට තිබෙන වාසියත් නැති වෙන එක. කරන්න ඉතිරි වී තිබුණේ කණ පාත් කරගෙන “හරි සර්. අපි කරන්න ඕනෑ මොකක්ද?” කියලා අහන එක විතරයි. ආණ්ඩුව විසින් කරන්න ඇත්තේ එයයි. එහෙම කළානම් එහි වැරැද්දක් නැහැ.

දෙවන වටයේ තීරු බදු අනුපාත තීරණය කිරීම් තවමත් අවසන්ව නැතත් දැනට ප්‍රකාශිත අනුපාත දෙස බලද්දී සංශෝධන සිදුව ඇති ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පළමු වටයේ තීරු බදු තීරණය කර තිබුණේ ඉතාම යාන්ත්‍රික ලෙස සමීකරණයක් අනුවයි. සමීකරණය නිවැරදිද යන්න වෙනම ප්‍රශ්නයක්. එම තීරු බදු වලට භූ දේශපාලනය සම්බන්ධ වී තිබුණේ නැහැ.

දෙවන වටයේදී සිදුව තිබෙන්නේ මුල් වටයේ යාන්ත්‍රික ලෙස තීරණය කළ බදු වෙනත් කරුණුද සලකා සීරුමාරු කිරීමක්. එහිදී ලංකාව වැනි ඇතැම් රටවලට මේ බදු නිසා සිදු විය හැකිව තිබුණු හානිය සීමා වී තිබෙනවා. එසේ ලංකාව වැනි රටවලට සිදු විය හැකි හානිය සීමා කර තිබෙන්නේ එයින් ඇමරිකාවට ලොකු පාඩුවක් සිදු නොවන නිසා. දෙවන වටයේ බදු සංශෝධන කිරීමේදී සලකා බලා ඇති කරුණු කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.

  • රටවල් වැඩි ගණනක් 25%, 30%, 35% වැනි සමාන බදු කාණ්ඩ වලට දැමීම. මෙය ඇමරිකාවට පරිපාලනමය වශයෙන් පහසුයි.
  • ආසන්න රටවල් අතර තීරුබදු වෙනස්කම් අඩු කිරීම. මේ මගින් වෙනත් රටවල් හරහා ඇමරිකාවට භාණ්ඩ එවීම සීමා කරගන්න පුළුවන්. කොයි තරම් වහසිබස් දෙඩුවත් ඔය වැඩේ වෙන එක පරිපාලනමය ලෙස පාලනය කරන්න අමාරුයි. නමුත් තීරු බදු වෙනස්කම් සීමා කිරීම මගින් මෙය කළ හැකියි. මෙහිදී භූගෝලීය සහ වෙළඳ සබඳතා යන නිර්ණායක දෙකම සලකමින් ආසන්න රටවල් නිර්ණය කර තිබෙනවා.
  • ලෝක වෙළඳ ක්‍රමයේ සුසමාදර්ශ වෙනසක් වන මෙම තීරු බදු හේතුවෙන් සිදු වන වෙළඳපොළ නැවත සකස්වීමේ කම්පනය අවම කිරීම.

මේ සියල්ල කර තිබෙන්නේ ඇමරිකාවේම වාසියට වුනත්, දෙවන හා තුන්වන කරුණු දෙක නිසා ලංකාවට සිදු විය හැකි හානිය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ලංකාවේ අපනයන වලින් 22%ක් පමණම මිල දී ගන්නේ ඇමරිකාවයි. එයින් 75%ක් පමණම ඇඟලුම්. ඉතිරි කොටසේ රබර් නිෂ්පාදන, තේ, මැණික් ඇතුළු තවත් දේ තිබෙනවා. වෙනත් බොහෝ දේ ඇමරිකාවට අපනයනය කෙරෙන නමුත් ලංකාවේ ආර්ථිකයට ලොකුම බලපෑමක් වෙන්නේ ඇඟලුම් අපනයන වලිනුයි.

ලංකාවේ අපනයන වලින් විශාල පංගුවක්, හයෙන් පංගුවක් පමණ, ඇමරිකාවට සිදු කරන ඇඟලුම් අපනයන වුනත් ඇමරිකාවේ ඇගලුම් ආනයන වලින් ලංකාවේ පංගුව 1.5%ක් පමණයි. ඇමරිකාවට ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල් දහය අතර ලංකාව නැහැ. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් නැත්තටම නැති වුනත් එය ඇමරිකාවට දැනෙන්නේ නැහැ.

ඇමරිකාවට ඇඟලුම් එවන ප්‍රධානම රටවල් වන්නේ චීනය හා වියට්නාමයයි. අසල්වැසි ඉන්දියාව, බංග්ලා දේශය සහ පකිස්ථානයත් මුල් රටවල් දහය අතර ඉන්නවා. කලාපයක් ලෙස ඇමරිකාවට වැඩිපුරම ඇඟලුම් එවන්නේ ආසියාව වුවත්, දකුණු ඇමරිකාවේ භූමිකාව නොසලකා හරින්න බැහැ. මෙක්සිකෝව වගේම නිකරගුවා, හොන්ඩියුරාස් වගේ රටවලුත් ඉන්නේ ලංකාවට උඩින්. පහත තිබෙන්නේ ඇමරිකාවට ඇඟලුම් එවන රටවල වෙළදපොළ පංගු.

චීනය – 29.6%

වියට්නාමය – 12.7%

ඉන්දියාව – 8.0%

බංග්ලා දේශය – 6.1%

මෙක්සිකෝව – 4.5%

ඉන්දුනීසියාව – 3.9%

පකිස්ථානය – 3.3%

කාම්බෝජය – 3.0%

ඉතාලිය – 2.8%

තුර්කිය – 2.2%

හොන්ඩියුරාස් – 2.2%

නිකරගුවා – 1.5%

ශ්‍රී ලංකාව – 1.5%

ජෝර්දානය – 1.4%

කැනඩාව -1.4%

එල් සැල්වදෝර් – 1.4%

ගෝතමාලාව – 1.3%

ඊජිප්තුව – 1.2%

දකුණු කොරියාව – 1.1%

තායිලන්තය – 1.0%

දැනට ප්‍රකාශිත තොරතුරු අනුව මේ ලැයිස්තුවේ ඇති ආසියානු රටවල් සඳහා බලපාන තීරු බදු අනුපාතය 30%කට ආසන්නයි. ඒ නිසා ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ රටකට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. ඉන්දියාවට මුල් වටයේ දමා තිබුණේ 26%ක තීරු බද්දක්. එය ලොකුවට අඩු වුනේ නැත්නම් අවසාන වශයෙන් බලද්දී කලාපයේ තීරුබදු අනුපාත කැරකෙන්නේ 30% සීමාව ආසන්නයේ. 5%ක වෙනසකට ආයෝජන රටකින් රටකට ගෙනියන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ අනෙක් රටවලට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ.

පොදුවේ ආසියානු කලාපය සඳහා වන තීරුබදු 30% සීමාව ආසන්නයේ තියෙද්දී, දකුණු ඇමරිකානු රටවල් සඳහා පැනවෙන්නේ 10%ක තීරු බද්දක් පමණයි. ඒ නිසා, ඇඟලුම් කම්හල් ආසියානු කලාපයේ සිට දකුණු ඇමරිකානු කලාපය දක්වා විතැන් වීමේ විභවයක් තිබෙනවා. එසේ සිදු වීම ඇමරිකාවේ භූ දේශපාලනික අරමුණු එක්කත් පෑහෙනවා.

මෙයින් අදහස් වෙන්නේ තීරුබදු පැනවීමෙන් පසුව ලංකාවේ තිබෙන කම්හල් ගලවාගෙන ගිහින් දකුණු ඇමරිකාවේ තියයි කියන එක නෙමෙයි. එවැන්නක් සිදු වනු ඇත්තේ වඩා සුමට ආකාරයකිනුයි. ඉදිරි වසර වලදී අලුතෙන් ඉදි කෙරෙන ඇගලුම් කම්හල් ආසියාවට නොපැමිණ දකුණු ඇමරිකාවට යන්න පුළුවන්. ඒ වගේම ආසියානු කලාපයේ ඇඟලුම් කම්හල් විශාලනය කිරීම් නවතින්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තයේ ප්‍රතිලාභ නැවත රට තුළම ආයෝජනය කිරීම සීමා වෙන්න පුළුවන්.

ඇඟලුම් කම්හලක් වැහෙද්දී මෙන් මේ දේවල් ඇහැට පෙනෙන එකක් නැහැ. නමුත් ආයෝජන අඩු වෙනවා කියන්නේ ආර්ථික වර්ධනය සීමා වෙනවා කියන එක. ඒ වගේම විණිමය වෙළඳපොළ තුළ පීඩනය ඉහළ යනවා කියන එක. මේ බලපෑම් ඉදිරි වසර කිහිපය තුළ ඇති වෙන්න පුළුවන්.

~ ඉකොනොමැට්ටා