සටහන – රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ (LNW):
- ▪️දුම්රිය වැඩවැරුම අවසන් කළේ වර්ජකයින්ගේ රස්සා නැති වෙනවට බයේ.
▪️වර්ජනය ඉවර වෙද්දි ජීවිතයක් බිල්ලට ගෙන ඉවරයි.
▪️දකුණේ ගුරුවරුනුත් වර්ජනය කරමින් දරුවන්ගේ ඉගෙනීම උකසට අරන්.
බංකර්වල දරුවන් උගත් කිලිනොච්චියේ සිට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
දුම්රිය වෘත්තීය සමිති සාමාජිකයින් කොමිස් වෙනුවෙන් දියත් කළ සිය වෘත්තීය සමිති අරගලය අවසන් කළේ ඔවුන්ගේ රැකියා නැති වන බවට පළවෙනි ලිපි දහස නිකුත් වන බව දැනගැනීම හේතුවෙන් බවත්, ඒ වන විට සිය වර්ජනය හරහා ඔවුන් ජීවිතයක් බිල්ලට ගෙන අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
“තමන්ගේ රස්සාවල් ටික නැති කරනවා කියලා පළවෙනි ලිපි දහස නිකුත් කරනකොට කට්ටියට 2024 ජූලි මාසේ නැවත වතාවක් 80 ජූලි මාසේ මතක් වෙන්න පටන් ගත්තා. කොමිස් වෙනුවෙන් එළියට බැහැපු ඇතැම් වෘත්තීය සමිති අවසානෙදි තමන්ගේ අරගලය ඉවර කළේ ජීවිතයකුත් නැති කරලා.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කිලිනොච්චිය ‘ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනේ සමාරම්භක දිනයට අද (12) සහභාගි වෙමිනි.
උතුරේ යුද සමයේදී පවා නිවෙස් තුළ, බංකර් තුළ දරුවන්ට අධ්‍යාපනය දුන් ගුරු – විදුහල්පතිවරුන් සිටියද දකුණේ ගුරු – විදුහල්පතිවරුන් සිය වැටුප සහ දුම්රිය වර්ජකයින්ගේ කොමිස් මුදල් සඳහා කරන වර්ජන වෙනුවෙන් සහයෝගය දක්වමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය උකසට ගෙන කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සමගිය වෙනුවෙන් තීරණ ගත් එකම රාජ තාන්ත්‍රිකයා හැටියට සඳහන් කළ අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.
“කිලිනොච්චිය දරුවන් දිහා බැලුවහම මට සතුටකුත් දුකකුත් ඇති වෙනවා. කිලිනොච්චියේ දරුවෝ උතුරේ යුද්ධය තිබුණ බරපතලම තැන විදිහට පීඩාවට පත්වෙලා, අවුරුදු ගණනාවක් අධ්‍යාපනය හදාරන්නට බැරි වෙලා, මේ දරුවන්ගේ අම්මල තාත්තලා දැඩි පීඩනවලට ලක්වෙලා, සියල්ල කැප කරගෙන අද දවසෙදි ඉතාමත්ම හොඳින් අධ්‍යාපන කටයුතු කරද්දී දකුණේ දරුවෝ – ඒත් මගේම දරුවෝ අද ඔවුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරලා තියෙනවා එක එක දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයට. උතුරේ යුද්දෙ තිබුණත් ඒ දවස්වල ගෙවල් ඇතුළේ බංකර් ඇතුළේ තියාගෙන මෙහි ගුරුවරු, විදුහල්පතිවරු උගන්වන්න වැඩ කරද්දී අද දකුණේ ගුරුවරු, විදුහල්පතිවරු තමන්ගේ වැටුප වෙනුවෙන් දුම්රිය වර්ජකයින්ගේ කොමිස් මුදල් සඳහා කරන වර්ජන වෙනුවෙන් සහයෝගය දක්වමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය උකසට අරගෙන තියෙනවා.
මට කිලිනොච්චි දිසාපතිතුමා හම්බ වෙලා කතා කරනකොට කිව්වෙ මෙහෙ රෝහල ඉදිරිපිටත් දහස් ගණනක් සෙනග ආව වර්ජනයක් වුණා, ඔවුන් ඇවිල්ලා කිව්වෙ රෝහලේ කටයුතු තවත් කාර්යක්ෂම කරන්න කියන එකයි. සිවිල් ජනතාව පාරට බැහැලා ඉල්ලන්නේ රාජ්‍ය සේවය තවත් ශක්තිමත් කරන්නට කියලා. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ගාවට ඇවිල්ල මිනිස්සු ඉල්ලීම් කරමින් RTI පාවිච්චි කරලා තොරතුරු අහනවා කියලා ඔහු කිව්වේ. වර්ජනය කරන අය දුම්රිය වර්ජනය හරහා ජීවිතයක් බිල්ලට ගත්තා.
ඒ ජීවිතය බිල්ලට අරගෙන තමන්ගේ වර්ජනය සාර්ථකයි කිව්වා. රජය, කැබිනට් මණ්ඩලය තීන්දු කරලා ජනාධිපතිතුමා දැඩි තීන්දු ගන්නකොට සේවය නිම කරලා එන රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ප්‍රශංසා ලිපියක් දාලා ශක්තියක් දෙන්න, අපි දැක්කා ජනතාව ඔවුන්ට මල් මාලා දානවා. හැබැයි ඒ මල් මාලා දාපු මිනිස්සුම හෙට වර්ජනය කරලා දරුවන්ගේ අධ්‍යාපනයට, රෝහල්වල වර්ජනය කරලා රෝගීන්ගේ ජීවිතවලට, අත්‍යාවශ්‍ය සේවා ඇපයට තියලා තමන්ගේ අයිතීන් කියලා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාරට බැහැලා කරදර වෙන විදිහට වැඩ කළොත් කොයි තීරණ ගනීද කියලා අපිට තේරුම්ගන්න බෑ. අපි සමාජ මාධ්‍යයේ අද දකිනවා ජනතාව දැඩි ප්‍රකෝපකාරී වෙලා තියෙනවා මේ වර්ජකයන් සම්බන්ධයෙන්. ඒ අයට මේ යාපනේ, කිලිනොච්චියේ සිවිල් සංවිධානවල ආදර්ශය ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. 1984 වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් විදිහට වෙන් කළත් යුද්දය පටන්ගෙන තිබුණ නිසා කිලිනොච්චියට දිස්ත්‍රික්කයක් විදිහට වෙනම දියුණු වෙන්න තිබෙන අවස්ථාව අහිමි වුණා.
එල්ටීටීඊයේ ප්‍රධාන මූලස්ථාන තිබුණ ප්‍රදේශයක් හැටියට මේ පළාත දැවැන්ත කඩාවැටීම් රාශියක් සිද්ද වෙලා කෙටි කාලීනව තමයි මේ තියෙන තත්ත්වයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. විජය කුමාරයා මේ රටට එනකොට යක්ශ – නාග කණ්ඩායම් තමයි හිටියේ. ඒකෙන් ‘අයියක්කච්චි’ කියලා තාම කියවෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින්ගේ ප්‍රදේශය කියන එක මතක් කරන්න කියලා මට ප්‍රාදේශීය ලේකම්වරුන්, දිසපතිතුමන් පැවසුවා.
එදා මුළු ලංකාවෙම හිටියේ යක්ෂ, නාග ගෝත්‍රිකයෝ. කැලණියේ නාග ගෝත්‍රය ගැන කතා වෙන්නේත් එහෙම. මේ රටේම ජීවත් වෙන අපි එක මිනිස්සු. එතනින් එහාට තමයි විජය කුමාරයා ඇවිල්ලා අලුත් පරම්පරාවක් බිහි වෙන්නේ. එදා තම්බපණ්ණි කියලා බිමට අත තියපු පොළව කිලිනොච්චියේ පසට සමානයි. කිලිනොච්චියත් ඛනිජවලින් පරිපූර්ණ ප්‍රදේශයක්. මේ පස මූලද්‍රව්‍ය රැසක් තියෙන ඇලුමීනියම්, සිලිකා, යකඩ, ලැටෝසෝල් ඛනිජවලින් ශක්තිමත්, ආර්ථික වශයෙන් ලෝකයට අවශ්‍ය කරන සම්පත් බහුල වීමකිලිනොච්චිය සංවර්ධනය කරද්දී අනාගතයේදී අවධානය යොමු කරන්න වෙනවා.
අද අපි දියුණුයි කියන ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලට දිගු ඉතිහාසයක් නෑ. ඒ රටවල ඉන්න ජාතීන් විවිධ විදිහට හඳුන්වන්නේ නෑ. අපි ඉතිහාසය ගැන කතා කරමින් වෛරය වපුරමින් දේශපාලන අවශ්‍යතා අනුව වැඩ කරනවද නැතිනම් ශ්‍රී ලාංකික ජාතියක් හැටියට ඉතිහාසයේ යක්ෂ – නාග ගෝත්‍රිකයින් හැටියට හිටියා වගේ එකට ඉන්නවද කියලා කල්පනා කරන්න ඕන. අපි මෙතනින් ඉස්සරහට යන්න ඕනේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්ද කියලා නෙවෙයි. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට. එහෙම වුණොත් විතරයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න 2015දි රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා තීන්දුව ගත්තේ රාජ තාන්ත්‍රිකයෙක් හැටියට මිස දේශපාලකයෙකු ලෙස නෙවෙයි. එදා ඔහුට දේශපාලනික ලෙස බරපතල බලපෑම් ආවා. ඔහු ඒ තීන්දු දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ගත්තේ මේ රට වෙනුවෙන් එකම රාජ තාන්ත්‍රිකයා ඔහු නිසා.
දැනට සිංහල නායකයින් අතරින් ජනතාවට වැඩිම සේවයක් කළ ජන නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතිහාසයට එක් වුණා වගේම අනාගතයේදී ඉදිරි වසර පහ වෙනුවෙන් මේ පළාත්වලට සැලසුම් කර තියෙන ව්‍යාපෘති, ආයෝජන ව්‍යාපෘති සියල්ල එක්ක උතුර සහ නැගෙනහිර පළාත් දෙකේම සංවර්ධනය එතුමගේ නායකත්වයෙන් සිද්ධ වෙනවා. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නිර්මාතෘ ජී.ජී. පොන්නම්බලම් 1947දී ඔහු ඩී.එස්. ඒනානායක මහත්තයාගේ ආණ්ඩුවට එකතු වීමෙන් පුළුවන් වෙනවා පරන්තන් රසායනික කම්හල, පුල්මුඩේ ඛනිජ වැලි සමාගම් මේ පළාත්වලට ගෙනල්ලා දියුණු කරන්න. ඒ පුළුවන්කම ලැබුණේ වෙන් වෙලා නොඉඳ එකට එකතු වෙලා සංවර්ධනය ගේන්න කටයුතු කළ නිසා. ඒ ඉතිහාසෙන් ඉගෙනගත්තු පාඩම් අපි අරගෙන – යුද්දයක් කියලා විනාස වෙලා, විරසක වෙලා ගිය අතීතය සිහිපත් නොකර අද අපිට පොන්නම්බලම් මැතිතුමාගෙන් පාඩම් ඉගෙනගෙන කටයුතු කරන්න කාලය ඇවිත් තියෙනවා. දේශපාලනඥයො විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරියොත් එහෙම ඉන්නවා. ලයනල් ප්‍රනාන්දු මැතිතුමා දඬුවම් මාරුවකට යාපනයට එන්නේ. අවසානෙදි යාපනයේ කළ වැඩ කොටස නිසා 1978 එතුමගේ අම්මා මිය ගිය වෙලාවේ අම්මගේ දේහයවත් කොළඹට ගෙනයන්නට යාපනයේ මිනිස්සු ඉඩ දුන්නේ නෑ. ඔහුගේ අම්මගෙ දේහයට මෙහෙ ගෞරව කරලා, ඒ දැවැන්ත සහාය ඔහුට ලබා දුන්නා. චෙල්වනායගම් මැතිතුමාගේ මරණයට පසුව වැඩිම සෙනග ආවේ ඒ මරණයට කියලා දේශපාලන විචාරකයො කියනවා. ඒ තරම් ආදරයක් යාපනේ මිනිස්සු ඒ රාජ්‍ය නිලධාරියාට දැක්වූවා. යාපනය ගොඩනගන්න දරපු සහයෝගයට. වර්තමානයේත් අපේ රණවිරුවෝ සේවය කරලා යද්දී ඔවුන්ටත් අපේ මෙහි සහෝදර සහෝදරියන් කොතරම් ලෙන්ගතුකමක් දක්වනවද කියලා. ඔවුන් එකිනෙකා දැඩි බැඳීමෙන් අත්වැල් බැඳගෙන වැඩ කරනවා දකිද්දි අපිට ලොකු සතුටක් දැනෙනවා. ශෙල් වෙඩි සද්දේ අසමින් දකිමින් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාලවලට ගිය උතුරෙ දරුවො අද රාජ්‍ය නිලධාරීන් බවට පත් වුණ බහුතරයක් ඉන්නේ. ඒ පීඩාවන්ට මුහුණ දීපු අය මේ ඉන්නේ. අතීතය පැත්තක දාලා රටක් විදිහට ගොඩනැගෙන්න උතුරටත් දකුණටත් වගකීමක් තියෙනවා. මේ අභියෝගය උතුරට ප්‍රශ්නයක් නෙවෙයි. දකුණත් රට දිනවන්න එකට එකතු වෙන්න ඕන.
දෙවුන්දර තුඩුවේ ඉපදුණු සඳරැසී සුදුසිංහ කිවිඳිය ලියලා තියෙනවා යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන කවියක්. එහි තියෙන්නේ ‘බැරල් තුළ නිදපු පුතුනේ වරෙල්ලා’ කියලා. එහි අවසානයට කියනවා ‘පිල් විදා නටන මොනරුනි – උතුරු කොනේ වැඩිම ලකුණු අරගෙන පියඹා වරෙව්’ කියා. මේ දෙවුන්දරතුඩුවෙන් ආරාධනාව පේදුරු තුඩුවට. ඉතිහාසයේ මාතර බත් කඩ තිබුණා යාපනේ. යාපනේ හදපු සුරුට්ටු දකුණේ රස කර කර බිව්වා. ඒ තමයි දකුණේ රසය යාපනේ මිනිස්සු දැනගෙන හිටපු හැටි. සාගර පලන්සූරිය කියන කවියා ඔහුගේ කවියකින් කියන්නේ සුරුට්ටුවකින් වුණත් ජාතික සමගිය ගැන පණිවිඩයක් දෙන්න පුළුවන් බවයි.” යනුවෙන් අමාත්‍යවරයා කීය.