විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු, අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ දිසාපතිවරයකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අවුරුදු අනූ හතරක සිය කීර්තිමත් දිවිසැරිය 2025 ජුලි 07 වැනිදා නිමා කළේය. ඔහුගේ මෙම මතක පොත දිග හැරීම, 2010 වසරේදී රාවය පුවත්පතේ පළවූවකි.
බ්‍රැඩ්මන් මහත්තයාගේ ගම කොහෙද?
මම උපන්නේ කොළඹ. ඒ 1930 දි. හැබැයි ගම ලෙස සලකන්නේ පයාගල. ඒ පියාගේ ගම. එම ප්‍රදේශය හඳුන්වන්නේ පස්දුන් කෝරළය කියලයි. අපේ මුතුන් මිත්තෝ කසාද බැන්දේ ඒ ප්‍රදේශයේ අයමයි. ඒ අය බොහොම කලාතුරකින් තමයි රයිගම් කෝරළෙන් බැන්දේ. මොකද රයිගම්කෝරලේ අය හරි මෝඩ මිනිස්සු කියලා පස්දුන් කෝරළේ අය හිතුවා. රයිගම කට්ටිය පස්දුන් කෝරලයෙ අයට කියන්නේ කපටි මිනිස්සු කියලා.
පියා මොනවද කළේ?
පියා සහකාර පොලිස් අධිකාරිවරයෙක්. මව නුගේගොඩ කෙනෙක්. නාගරික ගති ලක්ෂණ තිබුණෙ. ඉතින් ගම සහ නගරය අතර තමයි මම හැදුනේ. පියා ගමට බරයි. මව බටහිරට බරයි.
පාසල් ගියේ කොහෙද?
මුලින්ම කළුතර හෝලික්‍රොස් විද්‍යාලයට. ඊට පස්සේ ගල්කිස්ස ශාන්ත තෝමස් එකේ ඉන්නකොට 1942 දී යුද්දෙ පටන් ගත්තා. අපේ පාසල ආරෝග්‍යශාලාවකට ගත්තා. ළමයි විසිරී ගියා. ඊට පස්සේ මම ගියේ ගුරුතලාවේ පටන් ගත්තු ශාන්ත තෝමස් එකට. මුලින්ම ළමයි හතළිස් දෙකයි. ගුරුවරු අටක් හිටියා. එක පන්තියක හිටියේ ළමයි හතරයි නැත්නම් පහයි. ඉතින් මම හැමදාම පළමු වැනියා, දෙවෙනියා හෝ තුන්වෙනියා වෙනවාමයි. කීවෙනියා උනත් හොඳයි, මොකද පන්තියේ කීදෙනෙක් ඉන්නවද කියලා කවුරුවත් අහන්නේ නැහැනේ.
ඉංග්‍රීසි භාෂාවෙන්ම අධ්‍යාපන කටයුතු කෙරුණු නිසා සිංහල පිළිබඳව වැඩිදුර ඉගෙන ගත්තේ කොහොමද?
මම රජයේ රැකියාවකට ගියාට පස්සේ සිංහල නැතුව බැහැ කියලා මට තේරුණා. මම තනියම පොත් කියවලා සිංහල ඉගෙන ගන්න පටන් ගත්තා. මාර්ටින් වික්‍රමසිංහගේ, අමරසේකරගේ, ඩබ්.ඒ සිල්වාගේ පොත් සේරම කියෙව්වා. ඒ අතරින් මට අමතක නොවන කතාවක් තමයි සයිමන්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා. මොනිකාගේ කවි කියෙව්වා. සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා වගේ පොත් වලින් තමයි මම සිංහල ඉගෙන ගත්තේ.
යුද්ධ කාලේ අත්දැකීම් කොහොමද? හිට්ලර් ගැන මොකද හිතුනේ?
ලොකු ආහාර අහේනියක් තිබුණා. බජිරි අල බතල තමයි කෑවේ අමාරුවෙන් ජීවිතයේ ගෙව්වේ. හිට්ලර් මහ යකෙක් කියලා තමයි ඒ වෙලාවේ මම හිතුවේ. කොහොමටත් ඉතින් මිත්‍ර පාක්ෂිකයෝ අපේ වීරයෝ වෙලා හිටියේ. යුද්ධ ඉවර වුණාම ආයෙත් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ආවා.
විශ්ව විද්‍යාලයේ අත්දැකීම් කොහොමද?
හරිම සුන්දරයි. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ ලක්ෂ්මී ජයසුන්දර කියන දෙන්නා අපිත් එක්ක හිටියේ. දෙන්නා පෙම්වතුන්. පසුව බැන්දා. ඒ කාලෙත් නවක වදය තිබුණා. හැබැයි අද කාලේ තරම් දරුණුවට නැහැ. කෝට් කලිසම් අනෙක් පැත්තට ඇඳගෙන මහ පාරේ යනවා වගේ දේවල් අපි කළා. ඒ කාලේ මම ටික දවසක් ගුරුතලාව පාසලේ උගන්වන්නත් ගියා. මම ලැටිනුත් ඉගැන්නුවා. හැබැයි ලැටින් දැනගෙන හිටියේ නැහැ. පොඩි අයට ලැටින් කියලා මොකක් ඉගැන්නුවත් ලැටින්නේ. 1952 දි මිචිගන් විශ්ව විද්‍යාලයට ගිහින් ශාස්ත්‍රපති උපාධියත් කළා. එතකොට මට වයස 22යි.
මේ කාලයේ අනිවාර්යයෙන්ම ප්‍රේම සම්බන්ධතාවල එහෙම පැටලෙන්න ඇති?
අපොයි ඔව් තිබුනා. ඒත් එකක්වත් වැඩිය සීරියස් ගියේ නෑ. සමහරු ඉතින් රෑ දවල් දෙකේම කළේ ඔය වැඩේ. ෆීලික්ස් තදින් ප්‍රේම කරපු මිනිහෙක්. හැබැයි ගෙදර ගිහින් හොඳට පාඩම් කරනවා. අපේ මහාචාර්ය මළලසේකරගේ දුව චිත්‍රා මළලසේකර අපිත් එක්ක හිටියේ. ආරිය රණවක කියලා තව මගේ යාළුවෙක් හිටියා. රණවකයි චිත්‍රයි ඒ කාලේ ප්‍රසිද්ධ පෙම් යුවලක්. ඒ කාලේ විශ්ව විද්‍යාලයේ ප්‍රේම කරන ගොඩක් අය අනිවාර්යෙන් බඳිනවා.
ඉතින් බ්‍රැඩ්මන් මහත්තයා විතරක් මොකද ප්‍රේම කරපු ගෑනු ළමයට කණුව තිබ්බේ?
ඕවා ඔහොම තමයි.
මිචිගන්වලින් ඇවිත් මොකද කළේ?
තාත්තා කිව්වා සිවිල් සේවයට යන්න කියලා. 53 සිවිල් සේවා විභාගයට පෙනී හිටියා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියේ ට්‍රෙෂරි ලොක්කා. ඒ හැරුණාම අයිවර් ජෙනිංග්ස් හිටියා. තව මහ ලොකු අය හිටියා. කෙනෙක් ඇහුවා මොකද්ද අර මේ කාලේ අලවලට හැදෙන රෝගය කියලා. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. නමුත් ලොකු බොරුවක් ගැහුවා. ඒ උත්තරේ හරි ගියා. මම දෙවැනියට විභාගයෙන් පාස් වුණා.
සිවිල් සේවයේ අත්දැකීම් කොහොමද?
මුලින්ම උපදිසාපතිවරයෙකු විදියට අනුරාධපුරේ හිටියා. ඊට පස්සේ යාපනයේ වැඩ කළා. ඒ කාලේ අපි නවතින්නත් ඕනේ මහ දිසාපතිතුමාගේ ගෙදර. එයාගෙන් රාජකාරිය වගේම සමාජ හැසිරීමත් ඉගෙන ගන්න තමයි එහෙම දාන්නේ. මම ඔහු සමග එළියේ inspection වලට යන්න ඕනේ. මිනිස්සුන්ට කතා කරන්නේ කොහොමද, දිසාපතිවරයෙකු විදිහට සභාවක් ඇමතිය යුතු ක්‍රමය ආදී හැම දෙයක්ම දිසාපතිතුමා උපදිසාපතිට උගන්වනවා. කොටින්ම තුන්වේල කන්න ඕනෙත් ඔහු සමග. ඉතින් ඔහුගේ පවුලේ අය සමගත් ලොකු මිත්‍ර සමාගමයක් ඇතිවෙනවා.

යාපනයේදී මං කළ හපන්කම තමයි දෙමළ බස කතා කරන්න ඉගෙන ගන්න එක. පණ්ඩිත් සුබ්‍රමණියම් කියලා කෙනෙකුට ගාස්තුව වශයෙන් රුපියල් විස්සක් බැගින් සහ පන්තිය කරන දවසට සිගරට් දෙක බැගින් දීලා තමයි මම දෙමළ ඉගෙන ගත්තේ. ඒ කාලේ මගේ පඩිය රුපියල් හරසියයි. ඒක ලොකු පඩියක්.
ඒ කාලයේ ඩ්‍රින්ක්ස් එහෙම පාවිච්චි කළාද?
වැඩියෙන්ම නැහැ. හැබැයි ඉතින් ඒ කාලෙ තරුණයෙක් හැටියට ඕක තමයි තිබුණේ. බොන්නම ඕනේ. සිගරට් දෙක තුනකුත් බොනවා. නිවාඩු දවසට ක්‍රිකට් ගහන්න යනවා. අනුරාධපුරයේ දිසාපතිතුමා හොඳට කන බොන මහත්තයෙක්. කාඩ් පැක් එකේ සෙල්ලම් ගොඩකුත් එයා මට ඉගැන්නුවා. යාපනයෙ නම් හොඳ සමාජ ශාලාවකුත් තිබුණා. ඇත්තටම ටිකක් බොන එක හොඳ සාකච්ඡාවකට මග පාදා ගන්න අවස්ථාවකුත් වෙනවා. හැබැයි වැඩිය දුර යන්න හොඳ නැහැ. එතකොට කෑ කෝ ගැස්සෙනවා. ඔය දෙක අතර සුන්දර අවස්ථාවක් තියෙනවා. වැදගත්ම දේ තියෙන්නේ එතන.
යාපනයෙන් පස්සේ කොහෙද හිටියේ?
එතකොට තමයි පටන් ගත්තෙ ඔය අගමැතිවරුන් එක්ක සෙල්ලම. අහම්බෙන් ඒක වුණේ. මම ඔය වගේ රස්සාවක් හෙව්වෙත් නැහැ. ගොඩක් දේවල් අහම්බෙන් උනේ. 55 දී අගමැති සර් ජෝන්ගේ නියෝජ්‍ය ලේකම් වුණා. ඔහුගේ ලේකම් ලෙස ක්‍රියා කළ නඩේසන් මහතා තමයි මං ගැන සර් ජෝන්ට දන්වා තිබෙන්නේ.
සර් ජෝන් කොහොම කෙනෙක්ද?
හරි කෙලින් මිනිහෙක්. අවංකයි. හරි සිම්පල්. හොඳට කනවා බොනවා, නටනවා, ගෑනුත් ආශ්‍රය කරනවා, අශ්වයා පදිනවා. මෙඩල් ගහගෙන තේජස්වී විදිහට හිටියේ. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් වැඩට දක්ෂ කාර්ය සූර හොඳ දැනුමක් තිබුණු කෙනෙක්. ඔහු සමග කාටවත් බොරු කරන්න බැහැ. බොරු කාරයෝ හොයාගෙන පලයන් යකෝ යන්න කියලා දෙකකුත් දීලයි එළවන්නේ.
සර් ජෝන් ඔබත් එක්ක තිබුණු හිතවත්කම කොහොමද?
කොහොමද වීරකෝන් කියලා තමයි මගෙන් අහන්නේ. එයා පැරදුණු වෙලාවේ සිද්ධියක් මට මතකයි. කන්තෝරුවේ එක ලාච්චුවක තිබුණා එයාට එක එක ලේඩිස්ලා එවපු ලියුම් වගයක්. බණ්ඩාරනායක අගමැති වුණාට පස්සේ මම හිතුවා මේවා පුද්ගලික ලියුම් නිසා තවදුරටත් මෙතන කියන එක හොඳ නැහැ, සර් ජෝන්ට දිය යුතුයි කියලා. එක දවසක් උදේ මම මගේ මොරිස් මයිනරයට ලියුම් ටිකක් දාගෙන කඳවල වලව්වට ගියා. එයා බොහොම සුහද විදිහට මාව පිළිගත්තේ. ලියුම් ටික දුන්නාම ස්තුති කරලා, වීරකෝන් ඔයා වැඩිවෙලා මෙහෙ ඉන්න එක ඔයාට හොඳ මදි, ඒ නිසා ඉක්මනට යන්න. හැබැයි මතක තියාගන්න මම අලියෙක් වගේ මිනිහෙක්, අලියා කවදාවත් කිසිම දෙයක් අමතක කරන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඔහු මට මුණගැසුනේ පනස් හයේ අගෝස්තු මාසේ මගේ විවාහය දවසෙදි.
බණ්ඩාරනායක මහතා අගමැති වුණාම මොකක්ද ඇතිවූ වෙනස්කම?
තාම ලාබාල කෙනෙක් නිසා මට දිගටම උපලේකම් තනතුරේම ඉන්න කිව්වා. ඔහුගේ කථිකත්වය ගැන නම් මට තාම පුදුමයි. 56 පෙරළිය ගැන මම කැමැත්තෙන් හිටියේ. මහජනයාගේ දුකත් එක්ක තමයි ඔහුගේ දර්ශනය ගොඩනැගුණේ. පුද්ගලික දේපළ ජන සතු කිරීම වැදගත් වැඩසටහනක්. සිංහලය රාජ්‍ය භාෂාව කළෙත් සිංහලය රජ කරවන්න ඕන කියන අදහසින් නෙවෙයි, වැඩි පිරිසකට සෙතක් සලසන්නයි.
නමුත් ඒ අදහස වැරදියි කියලා අද ඔබ හිතන්නේ නැද්ද?
නැහැ. එදාට අනුව හරි. හැබැයි දෙමළ අයටත් සාධාරණ තැනක් දිය යුතුයි කියන අදහස ඔහුගේ සිතෙහි තිබුණු බව මට තේරුණා.
බණ්ඩාරනායක මහතාට වෙඩි තැබූ බව ආරංචි වූ විට ඔබට මොකද හිතුනේ?
එහෙම සිද්ධියක් කවුරුවත් බලාපොරොත්තු වුණේ නෑ. ඒ ආරංචිය එනකොට මම හිටියේ කාර්යාලයේ, එතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකට යන්න අවශ්‍ය ලියකියවිලි පිළියෙල කරමින් උදේ එකපාරටම ටෙලිෆෝන් කෝල් එකක් ආවා රොස්මිඩ් ගෙදරින්, අනේ සර් ලොක්කට වෙඩි තියලා කියලා. මම හරි හිතේ අමාරුවෙන් වාහනය එලවගෙන රොස්මීඩ් ගෙදරට ගියා. මිදුලෙ පැත්තක පොලිසියෙන් වෙඩි කාපු සෝමාරාම අඬ අඬා හිටියා.
සිරිමාවෝ මැතිණියගේ කාලේ කොහොමද?
එතුමියගේ කාලෙ මම කෙලින්ම අගමැති ලේකම් උනා. ඇය ආධුනිකයි. ෆීලික්ස් තමයි උපදෙස් දුන්නේ. මැතිනිය මට සැලකුවේ බාල සහෝදරයෙකුට වගේ. මමත් එතුමියට හරි ආදරෙයි.
65 හා ඩඩ්ලි පත්වුනාම කොහොමද තත්ත්වය?

ඩඩ්ලි මට මොනවා කරයිද දන්නෙ නැහැ කියලා මැතිනිය දුක පල කළා.ඒත් ඩඩ්ලි පුදුම හොඳ මිනිහෙක්. මාත් එක්ක ඉතාම සුහදව වැඩ කළා. ඒ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලනේ හැඳින්වේ. දෙමල නායකයොත් ආණ්ඩුවේ හිටියා. බඩු මිල අඩු කළා. හතර පොහොයම නිවාඩු දින බවට පත්කළා. ඒක නම් ටිකක් තේරුමක් නැති වැඩක්.
70 දි යළි සිරිමාවෝ මැතිනිය අගමැති ධූරයට පත්වුණාම මොකද උනේ?
එතුමියගේ මල්ලිට විරුද්ධව ඒ වෙනකොට මම කිසියම් වරදක් සම්බන්ධයෙන් සාක්ෂි දී තිබුණා. එතුමියට මම ද්‍රෝහීකමක් කළා කියලා අගමැතිනිය හිතන්න ඇති. මම ලේකම් තනතුරු කාගෙන්වත් ඉල්ලලා ගත්තු එකකුත් නෙවෙයි. සිරිමාවෝ පත් වූ දවසෙම මාව අම්පාරෙ දිසාපති ලෙස මාරු කළා. නෝනගෙ අම්මට පුතා ඔබාර දීලා, මමයි නෝනයි. හරි කැමැත්තෙන් අම්පාරට ගියේ. වසර දෙකක් මම හරි අපූරු ලයිෆ් එකක් ගත කළා. මම ඉතින් කුඹුරු වල හේන්වල හැම තැනම ඇවිද්දා. සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා, අම්පාරේ ජන ජීවිතය ගැන. මගේ බිරිඳත් ගැමියන් සමඟ ශ්‍රමදාන වලට යනවා.
71 කැරැල්ල ගැන මතකය කොහොම ද?

එතකොට මම අම්පාරේ. තරුණයෝ ටිකක් අවි අරගෙන බලවත් රජයක් සමග සටනට එන එක වීර ක්‍රියාවක් ලෙසයි මම මුලින්ම දැක්කේ. කැරැල්ලට සාධාරණ හේතුත් තිබුණා. ඒත් මම රජයේ නිලධාරියෙක් හැටියට වගකීම් ඉටු කරන්න ඕනේ. අනෙක් පැත්තෙන් තරුණයින් ගැන සානුකම්පිතව සිතන්නත් ඕනේ. දවසක් අක්කරෙයි පත්තුවේ ඉඳලා අම්පාරට එන හාල් ලොරියක් සියඹලා ආණ්ඩුවේදී කස්ත්‍රෝ කියන ජවිපෙ නායකයා මගදී බාගෙන. ලොරි ඩ්‍රයිවර් කියලා දිසාපතිතුමා හිතයි මම මගදී හාල් හොරකම් කළා කියලා, ඒ නිසා ලියුමක් දෙන්න කියලා. කස්ත්‍රෝ කියන කැරලි නායකයා හාල් ටික ජවිපෙන් බා ගත් බවට ලියුමක් දීලා තිබුණා. ඒක ඩ්‍රයිවර් මට ගෙනත් දුන්නා. කස්ත්‍රෝ මං හිතන්නේ රජයේ සේවකයෙක් වෙන්න ඕනෙ. මොකද ඔහු නියම රාජකාරි පිළිවෙලටම ඒ ලියුම ලියලා තිබුණා. මේ ළඟක් වන තුරුම ඔය ලියුම මං තියාගෙන හිටියා මතකයි.
හැබැයි රජය බොහොම තදින් කැරැල්ල මර්දනය කරපු එක හොඳ මදි කියලා මං කවදත් හිතුවා. සමහර තාත්තලා මට අඬ අඬා තමන්ගෙ දරුවෝ පොලිසියෙන් ගහලා මරපු හැටි කිව්වා. අම්පාරේ බාර වූ කැරලිකරුවන් තුන්දහසකගේ කඳවුරකුත් මම එක කාලෙක බලා ගත්තා. හරි වැඩක් මට උනේ. ඒ අයට කන්න දෙන්නයි උගන්වන්නයි පොතපත හොයලා දෙන්නයි සේරම මට කරන්න වුණා. ඇයි හුඟාක් අය විභාග කළානේ. ඔවුන් සමග ගෙවපු කාලෙ නම් හරිම ලස්සනයි.
ඔබට විජේවීර මුණගැසී තිබෙනවා ද?

ඔව්. අම්පාරෙදි එකපාරක් ඔහුව ඇල්ලුවනේ. පොලිසියේ උසස් නිලධාරියෙක් මට කතා කරලා කිව්වා කවුද කෙනෙක් අපි අල්ලලා තියෙනවා මෙයා ජේවීපී කාරයෙක් වගේ, බලන්න එන්න කියලා. රැව්ල වවපු මනුස්සයෙක් හිටියා. නමුත් මටත් එකපාර අඳුනගන්න බැරි වුණා. ඔහු මගෙන් ඇහුවා ඔබතුමා කවුද කිව්වා දිසාපති කියලා. ඒ පාර මාව අඳුරන්නේ නැද්ද ඇහුවා. මම දැක පුරුදුයි කිව්වා. ඒ සැරේ කණ්නාඩි කුට්ටම දාගෙන ඇහුවා දැන් අඳුරනවාද කියලා. මම කිව්වා විජේවීර වගේ කියලා. ඔහු කිව්වා මම විජේවීර තමයි කියලා.
දිසාපති සේවාව එපා වුණේ නැද්ද?
තරමක් දුරට ඇති වුණා. ඒ පාර මම ජාත්‍යන්තර සංවිධානයක කලාපීය අධ්‍යක්ෂ ධුරයකට ගියා. ඒ 76 දි. 77 දී එජාපය බලයට ආවා. ඊට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා මට වැවිලි අමාත්‍යාංශයේ ලේකම් ධූරය භාර දුන්නා. ප්‍රේමදාස මහතා අගමැති වෙලා මට කතා කළා එතුමාගේ ලේකම් ධූරය භාර ගන්න. මේ අගමැතිට ඉස්සර අයට තරම් බලයක් නැති නිසා මටත් හොඳ විවේක කාලයක් ගත කරන්න පුළුවන් කියලා මම ආවා. නමුත් ප්‍රේමදාස අගමැතිතුමා වැඩ වැව්වා. මට ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. අසූ තුනේදී පුනරුත්ථාපන විෂයටත් අත ගැහුවා.
ඔහොම ඉන්නකොට අර ජාත්‍යන්තර සංවිධානයෙන් මට කතා කරලා කිව්වා අපේ මූලස්ථානයේ ප්‍රධාන ලේකම් තනතුර හිස් වෙනවා, ඒකට එන්න කියලා. ලොකු රස්සාවක්. ලන්ඩනයේ වසර පහක් වැඩ කළා. විශාල පඩියකුත් ලැබුණා. ඒ කාලේ සිදු වූ පුද්ගලික වාසියක් තමයි මගේ පුතාට ලන්ඩනයේ ඉගෙන ගන්න පහසුකම් ලැබීම. ඔහුගේ නම ඇසළ වීරකෝන්. ඔහුත් තානාපති සේවයේ වැඩ කරනවා.
ප්‍රේමදාස මහතා ජනාධිපති උනාම ආයේ ආවද?
ඔව් එතුමා මාව ඔහුගේ උපදේශක ලෙස පත්කර ගත්තා. ප්‍රේමදාස මහතා උග්‍ර නාගරිකයෙක්. ඒත් ගැමි ජනයාගේ හදවත හඳුනාගත් කෙනෙක්. ජාත්‍යන්තර සබඳතාත් හොඳින් නඩත්තු කරන්න ඔහු ඉගෙන ගත්තා. හරිම දක්ෂ විදියට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ජාත්‍යන්තරයට කතාවක් කරන්න පෙර සමහර විදෙස් නායකයින්ගේ නම් ගම් හරි හැටි උච්චාරණය කරන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. ප්‍රනවුන්ස් කරන විදිහ එයා කතාවේ යටින් සිංහලෙන් ලියා ගන්නවා. කෙසේ වෙතත් ඔහුගේ නායකත්වය විවාදාත්මකයි. එයා හුඟාක් හොඳට වැඩකළා. ඒකෙම යටි පැත්තකුත් තිබුණා. විජේවීර ලලිත් රන්ජන් වැනි අයගේ මරණ ගැන ඔහු දැන සිටි බවට චෝදනා එල්ල වුණා. අපි අදටත් දන්නේ නැහැ. ඒවා උනේ කොහොමද කියලා. නමුත් චෝදනා එල්ල වීම නරක දෙයක්. ඇත්තටම ඔහුගේ මරණයත් ප්‍රහේලිකාවක්නෙ.
මෙච්චර නායකයෝ රැසක් අතරින් වඩාත්ම ඔබේ සිත් ගත්තු නායකයා කවුද?
සංසන්දනය කිරීම අමාරුයි. හැම බලයක්ම තිබුණු එහෙත් ඒ බලය අනිසි ලෙස පාවිච්චි නොකරපු සාධාරණය හා යුක්තිය ඉටු කරපු නායකයා ඩඩ්ලි කියලයි මම හිතන්නේ.
(පිළිසඳර | විමලනාත් වීරරත්න )
නිදහස් මාධ්‍යවේදී