*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණය – මහමැතිවරණය එකම දිනයක? අලි-පොහොට්ටු දීගය සූදානම්? අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක් – ජනාධිපතිත් පාර්ලිමේන්තුවේ බලතල ගැන කතා කරයි – සජබ නව සභාපති කබීර් – ගොඩහේවා කැළණියට – ඩලස්-චරිත සජබයට

  • ජනාධිපතිවරණය – මහමැතිවරණය එකම දිනයක?
  • අලි-පොහොට්ටු දීගය සූදානම්?
  • අගවිනිසුරු ගෙන් කතානායකට ලිපියක්
  • ජනාධිපතිත් පාර්ලිමේන්තුවේ බලතල ගැන කතා කරයි
  • සජබ නව සභාපති කබීර්
  • ගොඩහේවා කැළණියට
  • ඩලස් -චරිත සජබයට

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය ලබන 17 වැනිදායින් පසුව ඕනෑම මොහොතක කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබී තිබේ. එය බොහෝ දුරට මේ මස අවසානයේ සිදුකරන බව පැවසුනත් එය ඕනෑම මොහොතක සිදුවිය හැකි ය. ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා හඳුනානොගත් පාර්ශව වලින් ඉදිරිපත්වූ පෙත්සම් වලට ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි පිළිතුරු ලබා දෙමින් ඉවතදමා තිබේ. මේ නිසා ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 හෝ 12 පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනි දා කැඳවූ බව ද ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම වැදගත් හෙයින් එම ප්‍රධානීන් මෙසේ කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළ බව ද එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක පැවසීය.

මේ අතර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි හැටත් අසූවත් අතර මුදලක් වැය වන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු වැඩි විය හැකි බව ද ඇය සඳහන් කළාය. මැතිවරණයකදී රාජ්‍ය නිලධාරීන් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා ද මේ වන විට මුද්‍රණය කර ඇතැයි රජයේ මුද්‍රණාලධිපතිනිය පවසා ඇත.

ජනාධිපතිවරණය – මහා මැතිවරණය එකම දිනයක?

ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමටත් එම මැතිවරණ දෙකම සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමටත් එම පක්ෂ දෙකේම නායකයන් එකඟතාවයකට පැමිණ ඇතැයි නිල වශයෙන් තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අනුව ජනාධිපතිවරණය කැඳවීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඒ ඒ අංශ වලින් ඉදිරි දිනවල දී සිදුකරනු ඇත. මීට සති කීපයකට පෙර ද මේ සම්බධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් මෙම මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසම විමසා ඇති අතර එහි දී එය කළ හැකි කටයුත්තක් ලෙස ඔවුන් විසින් පවසා තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා සාගල රත්නායක පසුගියදා කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේ දී තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන ලද අතර ඉදිරි දේශපාලන තීරණ ගණනාවක් මෙහිදී ගත් බව සඳහන්ය.කෙසේ වෙතත් ඒ ඒ තනතුරු සඳහා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශවී නැති අතර සාකච්ඡා වූ කරුණු ගණනාවක් ප්‍රසිද්ධියට පත් නොකරන්නට පාර්ශව දෙකම එකඟවී ඇති බව පැවසේ.

අලි පොහොට්ටු සන්ධානය සූදානම් – අපේක්‍ෂකත්ව සමානව

පොහොට්ටුව හෙවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනගන නව සන්ධානයක් හරහා මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී එම සන්ධානයට තවත් පක්ෂ හා සංවිධාන එක්වීමට නියමිත අතර අපේක්ෂකත්වයන් මෙම පාර්ශව අතර බෙදී යාමට නියමිතය. මෙහි දී ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයන් ද ප්‍රධාන පාර්ශව දෙක අතර සමානව බෙදී යනු ඇත.

මෙහි දී ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන බෙදා ගන්නා ආකාරයන් මේ වන විටත් පාර්ශව දෙකේ ප්‍රබලයන් අතර මුලික එකඟතා පවා ඇති කර ගෙන තිබේ. මේ සන්ධානය සඳහා සමගි ජන බලවේගයෙන් ද මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ඉදිරි දිනවලදී එක්වීමට නියමිතව තිබේ.

වාසි සහ අවාසි

මේ අතර ජනාධිපතිවරණයෙන් පසුව මහා මැතිවරණය පවත්වන්නේ නම් එහි දී ජනාධිපතිවරණය ජයගන්නා පක්ෂයට ජනතා රැල්ලක් ඇතිවීම හා පරාජිත පක්ෂ සේදී යාම වැළක්විය නොහැක. එම නිසා හොඳම විසඳුමද මේ මැතිවරණ දෙකම එකට පැවැත්වීම ය. එවිට වියදම ද විශාල වශයෙන් අඩු ය. අනෙක් අතට ජනාධිපතිවරණයෙන් ජයගන්නා පුද්ගලයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයකට යාම සිදු කරයි. මැතිවරණ දෙකම එකට පැවැත්වූ විට තරඟය විවෘතය.මන්ත්‍රීවරුන්ට ද එය තමාගේ තරගයක් නොවන නිසා කර අරින්නට බැරි ය. එවිට සියලු දෙනා එක්ව මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මකකළ යුතු ය. අනෙක් අතට මුලින් මහා මැතිවරණය පවත්වන ලෙස පොහොට්ටුව කලක සිටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. මැතිවරණ දෙකම එකට පැවැත්වීමෙන් පොහොට්ටුවට මෙන්ම එජාපයට ද අත්වන්නේ වාසියකි.

ෆොන්සේකා සජබ සභාපති ධුරයෙන් හා කැළණියෙන් ඉවතට – නව සභාපති කබීර්

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව පැවසේ.

එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කර ස.ජ.බ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කෙරෙනු ඇත.ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන් ද ඔහු ඉවත්කර කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතක දී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පත්කෙරෙනු ඇත.

ෆොන්සේකාත් සටනට – රනිල් හොඳයි – රාජපක්ෂලා එක්ක බැහැයිලු

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ YOUTUBE නාලිකාවක වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

තමා එය සජිත් ප්‍රේමදාස ටද ප්‍රකාශ කර ඇති බවත් මේ තත්වය යටතේ තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවත් “හරි වෙලාව ආවම තීරණයක් ගන්නවා. රටට හොඳ දේ කරනවා.” යැයි ද ෆොන්සේකා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිණත උගත් හොඳ පවුල් පසුබිමක් ඇති අයකු බව ද, තැනකට ගියාම හැසිරෙන්න දන්න සුදුසුකම් ඇති පුද්ගලයකු බව ද කී ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නාවූ ස්ථාවරය දෙස බලාගෙන සිටිනා බව ද සඳහන් කළේය.

සජබ සභාපති තනතුර සහ කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව තමා තහනම් නියෝගයක් ගත් බවත් එම නියෝගය ජුලි 27 වැනි දා වෙනතුරු තිබෙන බවත් කී ෆොන්සේකා එක එක්කෙනාට ඕන විදියට තමා එම තනතුරුවලින් ඉවත් කළ නොහැකි බව ද තමා පක්ෂය ගැන කලකිරීමක සිටින බවද සමගි ජන බලවේගය තුළ පිරිසුදු ගමනක් පෙනෙන්නේ නැති බලාපොරොත්තු වූ වෙනස එතැන සිදු නොවන බව ද දයා රත්නායක නමැති හමුදා නිලධාරියා පක්ෂයට ගත් පසු තමා ඒ ගැන විවේචනය කළ බවද සමගි ජන බලවේගය පක්ෂයේ ද දූෂිතයන් සිටින බව ද සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පිරිසක් කලකිරීමට පත්වී සිටින බවද තමා දේශපාලනයට ආවේ රාජපක්ෂවරුන් සමඟ දේශපාලනය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පොහොට්ටුව සමග ඉන්නවනම් තමාට ඒ අනුමත කළ නොහැකි බවත් ෆොන්සේකා සඳහන් කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ වන විට රාජපක්ෂවරු සමග ඉදිරියට යන්නට තීරණය කර ඇති නිසාත් ආණ්ඩුවේ බහුතරය රාජපක්ෂවරු සමග සිටින නිසාත් සරත් ෆොන්සේකාට එය දරාගන්නට සිදුවනු ඇත. අන්ර්ක් අතට 2010 ජනාධිපතිවරනයේදී ෆොන්සේකාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය දුන්නේ රනිල්ය. එම නිසා ෆොන්සේකා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හට ඇති අත්දැකීම් බොහෝය. මේ කෙසේ වෙතත් ආණ්ඩුව ලබාදෙන බව පැවසුණු මාෂල් තනතුරනම් ෆොන්සේකාට තවමත් ලැබී නොමැත.

අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්

මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වල දී අධිකරණය සම්බන්ධ විවිධ කාරනා නිරන්තරයෙන්ම මතු කෙරෙනු දක්නට ලැබේ.

ඒ අතරේ පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසා ද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය කතානායකවරයාට ලිපියක් යොමු කර ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය හරහා භාවිත කරනබව ද අගවිනිසුරුවරයා තවදුරටත් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ විධායක බලය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බවත් පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව ජනාධිපතිවරයා පැවසීය.

එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බව ද ජනාධිපතිවරයා කීය.

වර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින් ට රු. 10,000ක්

පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් වැඩවර්ජනය රජයේ සේවකයන් ගේ අයිතීන් අතර ප්‍රමුඛවේ. ඇතැම් වැඩ වර්ජන අසාධාරණ බව සත්‍යයකි. එහෙත් දේශපාලනඥයන්ට රජයේ සේවක අයිතියට අභියෝගකළ නොහැක. අනෙක් අතට මැතිවරණ අභියස සිට රජයේ සේවකයින් සමග සටනට පිවිසෙන්නට යාම එතරම් නුවනට හුරු කාරණයක් නොවේ. වෛද්‍යවරුන්ට හා විධායක ශ්‍රේණිවලට දීමනා වැඩිකර සෙසු රජයේ සේවකයන්ට මේ වසරේ වැටුප් වැඩිකළ නොහැකි බව පැවසීම අසාධාරණය. රටේ ඉහළම වැටුප් හා දීමනා මෙන්ම වරප්‍රසාද ලබන පිරිස් වලට දීමනා ලබාදෙද්දී සෙසු පිරිස් වලට වැඩ වර්ජනය හැර විකල්පයක් නොමැත. අනෙක් අතට අද රජයේ සේවකයන්ට ලැබෙන වැටුප බස් එකේ යන්නටවත් මදි ය. රටේ වරප්‍රසාද ලත් පිරිස් වලට පමණක් සැලකීම බරපතලය. මේ හේතුවෙන් ඇති නැති පරතරය අන් කවරදාටත් වඩා ඉහළ යමින් පවතී. ලක්ෂ පහළොවකට ආසන්න රජයේ සේවකයන් හා ඔවුන්ගේ පවුල් එක්කර ගත්විට අතිවිශාල ප්‍රමාණයකි.

වැඩවර්ජන වලට මාලිමාව නැහැ – වසන්ත සමරසිංහ

ආණ්ඩුව චෝදනා කරන්නේ වැඩ වර්ජන පසුපස මාලිමාව හා එහි ක්‍රියාකාරීන් සිටින බවය. එහෙත් එම චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමට නියමිත හෙයින් එතෙක් කිසිඳු වැඩවර්ජනයකට එකතු නොවීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.මේ දිනවල ක්‍රියාත්මක වන වැඩවර්ජන යනු ජාජබ කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යොදා ඇති උපක්‍රමයක් බවත් ඒ උපක්‍රමයට තමන් හසු නොවන බවත් වසන්ත සමරසිංහ සඳහන් කළේය.

“ඡන්දවලට බය රනිල් ජාතික ජන බලවේගයෙන් ජනතාව විතැන් කරවන්න පුළුවන් ද කියලා බලනවා. පහුගිය දවස්වල වෘත්තීය සමිති ව්‍යාපාරය පැත්තෙන්, මුළු රටේම වැඩකරන ජනතාව ආණ්ඩුවට එරෙහි විරෝධතා ක්‍රියාමාර්ග ප්‍රමාණයක් දියත් කළා. මේක අහම්බෙන් ආපු එකක් නෙවෙයි. මේ අඛණ්ඩ වැඩවර්ජනවලට යන්න හදනවා. අපි බැලුවා මොකක් ද මේ හදිස්සිය කියලා. බලනකොට සමහර සැලසුම් අරලියගහ මන්දිරෙනුත් එනවා, සමහර සැලසුම් ජනාධිපති මන්දිරෙනුත් එනවා. රනිල් හිතන් ඉන්නවා අපි රනිල්ගෙ ලණු කයි කියලා. අපි රනිල්ට කියන්න ඕනෙ රනිල්, ඔය ලණුවලට ආපහු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය අහුවෙන්නෙ නෑ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කරලා තියෙනවා එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති කරන තෙක් කිසිඳු වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අපි නායකත්වය දෙන්නෙ නෑ, ඒකට සහයෝගය දෙන්නෙ නෑ කියලා. නව පාලනයක් ගොඩනඟලා මේ රටේ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් දිනා දෙන්න වෘත්තීය සමිති ව්‍යාපාරය ලෑස්තියි” වසන්ත සමරසිංහ පැවසීය.

ඩලස් – චරිත සජබයට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම සහ මහචාර්ය චරිත හේරත් සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ.

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ
“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමා. ඒ අනුව දැනට පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියත් එන්න නියමිතව තිබෙනවා. ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පළල් බලවේගයක්. ඒකේ අපිත් ඉන්නවා. අපි සහ ඒ සියලුදෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා.” යනුවෙනි.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව ද රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද චරිත හේරත් පවසයි.
ඩලස් මාතර දිස්ත්‍රික්කයෙන් හා චරිත කුරුණෑගලින් ඉදිරි මහා මැතිවරණයේදී සජබ යෙන් තරග කරන්නට නියමිතය.

දූෂිත VFS ගනුදෙනුවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ආන්දෝලනාත්මක VFS ගනුදෙනුව එනම් ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවත්ත මාගේ විරෝධය මැද පාර්ලිමේන්තු මහලේකම්වරිය මෙම කාරක සභාවට කැඳවූ බවත් තමාව සමහරුන් දැඩි ලෙස සමච්චලයට ලක්කළ බවත්ය.

මෙහි ආයතන සමූහය ලෙස හඳුන්වන්නේ වීසා අයදුම්පත් මාර්ගගත ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතායතනය ලෙස ජී.බී.එස්. ටෙක්නොලොජි සර්විසස් හා අයි.වී.එස්. ග්ලෝබල් – එෆ්.ඉසෙඩ්.සී.ඕ. සමාගම් සහ තාක්ෂණික සහකරු ලෙස වී.එෆ්. වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සීමාසහිත සමාගමය.

මෙම ආයතන සමූහය සඳහා සේවාවන් ලබාගැනීමේදී තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොතිබීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට මුදල් සඳහා හොඳම වටිනාකම ලබාගැනීම සඳහා බාධාවක් වූ බව මුදල් කාරක සභාවේ මතය බව ඔහු පැවසීය.

මේ අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ හඳුනාගත් සැලකිය යුතු කරුණු වලට අමතරව නොවිසඳී පැවතුණු ප්‍රධාන ගැටලු කිහිපයක් පවතී.

  1. නොපැහැදිලි ගාස්තු ව්‍යුහය: සේවා ගාස්තුවල විෂමතා සහ පහසුකම් ගාස්තු තිබීම ඇතුළු ගාස්තු සංචරක විනිවිදභාවයෙන් තොරය.
  2. දත්ත අනාවරණය කිරීම සහ අවසන් කිරීම: අවසන් කිරීමේ වගන්තියක් අවුලුවාලීමේ හැකියාව ඇති දත්ත කඩ කිරීමක පැවැත්ම තවදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය වේ.
  3. ගැටුම් සහගත සුවි⁣ශේෂත්වය: අදාළ සමාගම් වෙත ලබාදී ඇති විශේෂත්වය පවතින සේවා සැපයුම්කරුවන්ගේ අඛණ්ඩ පැවැත්මට පටහැනි වේ.
  4. ආයෝජනය නොකළ අරමුදල්: ඇමරිකානු ඩොලර් මිලියන 200 ක වාර්තාගත ප්‍රතිපාදන තවමත් ආයෝජනය නොකළ සහ පැහැදිලි කළ නොහැකි මට්ටමක පවතී. මේ අනුව, මුදල් කාරක සභාව පහත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

5.1 විගණකාධිපතිවරයා විසින් මෙම වාර්තාවේ දක්වා ඇති දත්ත උපයෝගී කර ගනිමින් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස කමිටුව නිර්දේශ කරයි. 2024 ජුනි මස 04 වන දින පැවති රජයේ මුදල් පිළි කාරක සභා (COPF) රැස්වීමේ දී අනාවරණය වුයේ විගණකාධිපතිවරයා විසින් දැනටමත් එවැනි විගණනයක් ආරම්භ කර ඇති බවයි. මෙම විගණනය කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව විසින් ඉල්ලා සිටින ලදී.

සොයාගත් කරුණු අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පදනම ලෙස සැළකිය යුතුය. එවැනි ක්‍රියාමාර්ග වලට සමාගම් සමඟ ඇති බාහිර සේවා ගිවිසුම අවලංගු කිරීම හෝ ඒ තුළ නිශ්චිත වගන්ති සංශෝධනය කිරීම ඇතුළත් විය හැක.

5.2 KPMG වාර්තාව (මෙම වාර්තාවේ 3.5.5 වගන්තිය අනුව) සමාලෝචනය කරන ලෙසත්, ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ක්‍රමය හරහා ලබා ගන්නා වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා හසුරුවන සියලුම දත්ත වල පූර්ණ ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් හා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ. මෙහිදී හෙළිවී ඇති කරනු බරපතල ය. එම නිසා මෙම වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීම දැන් පාර්ලිමේන්තුවට අයත් වගකීමකි.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan