‘එස් ලයින්’ ආතල්වලින් දිගහැරෙන ලිංගිකත්ව යතාර්ථය 

0
254

ඉසුරු පරාක්‍රම

ජූලි 17, කොළඹ (LNW): මේ දිනවල සමාජ මාධ්‍යවල තරුණ ප්‍රජාව අතර අතිශයින්ම කතාබහට ලක්වන්න දෙයක් වේ නම්, ‘එස් ලයින්’ උන්මාදය එහි ප්‍රභල තැනක් ගන්නා බව කිව යුතුයි. ‘එස් ලයින්’ උන්මාදයේ අරුත දැන හෝ නොදැන, ඡායාරූපවල සිටින තරුණ තරුණියන්ගේ හිසට ඉහළින් පින්තාරු කරන ලද රක්ත වර්ණ රේඛාවලින් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලාවන් පිරී ඉතිරී ගොස් පවතී. 

‘එස් ලයින්’ උන්මාදයේ අරුත ඉතා සරළ ය. හිසට ඉහළින් පින්තාරුවන රක්ත වර්ණ රේඛාවලින් කියවෙන්නේ එකී තැනැත්තා කොපමණ වාර ගණනක් තවත් තැනැත්තකු හෝ තැනැත්තන් සමඟ ලිංගික වශයෙන් හැසිරී ඇති ද යන වගයි. එම රේඛා එම ඡායාරූපවල සිටින තවත් තැනැත්තකු හෝ තැනැත්තන්ගේ හිස් සමඟ සම්බන්ධ වේ නම්, ඔවුනොවුන් අතර ලිංගික හැසිරීම් සිදුව ඇති බවට හැඟවෙයි.  

මෙම රක්ත වර්ණ රේඛා හුදෙක් කාන්තාවක හා පුරුෂයකු අතර සබඳතාවයක් ගොඩනැඟෙන අන්දමින් විරුද්ධ සමාජභාවයන් ද්විත්වයකට හා විෂමරිසිභාවයකට සීමා නොවන අතර, පුරුෂයන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු, කාන්තාවන් හා පුරුෂයන් අතර ආදී වශයෙන් සියලු සමාජභාවී අනන්‍යතා අතර ඇතිවීම නිරීක්ෂණයකළ හැකි ය. පුද්ගලයකුගේ ලිංගික ජීවිතය අතිශයින්ම පෞද්ගලික කරුණක්වන නමුත් මෙවන් සමාජ මාධ්‍ය ජාලා ප්‍රවණතාවලින් නූතන සමාජයේ තරුණ ප්‍රජාව ලිංගික විමුක්තිය සොයා දැවැන්ත ගමනක යන බව උපකල්පනයකළ හැකි ය. 

රංගන-ගායන-නර්ථන ශිල්පීන් හා ශිල්පිනියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දේශපාලඥයන්, හා ව්‍යාපාරික ප්‍රජාවේ පුද්ගලයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගේ අනියම් සබඳතා, ලිංගික ජීවිතයේ විස්තර වැනි ගොසිප් පුවත් ඇසීමට දැකීමට අප අතර ජීවත්වන බොහෝ පුද්ගලයන් ආශා කිරීම රහසක් නොවේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතයේ සිදුවන දෑ පිළිබඳ වෙනස්ම සමාජ මාධ්‍ය ප්‍රවණතාවයක් නිර්මාණය කරන ලද්දේ කලාත්මාගේ ටික්ටොක් සටහනයි. ඉන් ආරම්භ වූ  ‘සෙලිබ්‍රිටි කුණුරස කතා’ අවසානයේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තත්ත්වයට පවා උත්සන්න වූයේ ලිංගික අවිභාගී හැසිරීම් (sexual promiscuity) තවදුරටත් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ වසා දැමූ මාතෘකාවක් නොවන නිසා ය.  

ගොසිප් ලෝකය තුළ උණුසුම් එක් පුවතක් යටයන විට තවත් පුවත් දහයක් මතුපිටට පැමිණේ. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වෛරසයක් මෙන් පළවන ‘එස් ලයින්’ උන්මාදය එහි නවතම මුහුණුවරයි. දකුණු කොරියානු ටෙලිනාට්‍ය මාලාවක්වන ‘එස් ලයින්’ ඇසුරින් මෙම ‘එස් ලයින්’ උන්මාදය බිහිව ඇති අතර, ජනප්‍රිය පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන පමණක් ම නොව, තම තමන්ගේ පෞද්ගලික සමාජ කවයන්වල සිටිනා හිතමිත්‍රයන් ට්‍රොල් කිරීමට පවා මෙම ‘එස් ලයින්’ උන්මාදය භාවිතා කරන ආකාරය නිරීක්ෂණයකළ හැකි ය.

සෑම ප්‍රවණතාවයක් මෙන්ම ‘එස් ලයින්’ උන්මාදය ද අවසානයේ සමාජ මාධ්‍ය වේදිකාවලින් මැකී යනු ඇත. එහෙත් එහි බලපෑම දිගටම පවතිනු ඇති බවට මාගේ විශ්වාසයයි. ‘එස් ලයින්’ උන්මාදය දැනටමත් ශ්‍රී ලංකාවේ මාර්ගගත ප්‍රහසනයේ ස්වරය වෙනස්කර ඇති අතර, එමඟින් උපහාසයට තවමත් මිනිසුන් සිනහගැන්වීමට, බියගැන්වීමට සහ සිතවීමට ඇති බලය තහවුරුකර තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල පළවන ඡායාරූපවල සිටින පුද්ගලයන් අතර මෙම රක්තවර්ණ රේඛා එකිනෙක පැටලී තිබෙන අයුරු දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ, මිනිසුන් අතර පවතින ලිංගිකත්ව විවිධත්වය [උපහාසයට හෝ අපහාසයට] තවදුරටත් වසා දැමූ මාතෘකාවක් නොවන බවයි; “මේ ළමයා කොයින්දෝ, රෝස කැලෙන් ඇහින්දෝ” වැනි බොළඳ තොටිල්ලේ කතාවලට තවදුරටත් සමාජයේ ඉඩ නොමැති බවයි; විවාහයෙන් පරිබාහිර ලිංගික ජීවිතය, සමාජභාවයෙන් ස්වාධීන ලිංගික ජීවිතය ඇසුවන් දුටුවන් තුෂ්නිම්භූත කරවන කතිකාවතක් නොවන බවයි; පෞද්ගලික ජීවිතය ඉලක්කකරගෙන යම් තැනැත්තකුට ඇඟිල්ල දිගු කිරීමේ පවතින නීතිමය බරපතලකම හා සමානව ම පාහේ ‘සෙක්ස්’ සඳහා විවෘත සංවාදයකට සමාජ බරක් වැටී ඇති බවයි.