“ජව සම්පන්න පුරවැසියෙක් ජයග්‍රාහී ජනතාවක්” ජාතික ක්‍රීඩා උළෙල ගැන පවසමින් ත්‍රීඩා අමාත්‍ය පවසයි

0
112

නිශ්මං රණසිංහ ජූලි 18, කොළඹ LNW:

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජයේ ක්‍රීඩා ප්‍රතිපත්තියට අනුව “ජව සම්පන්න පුරවැසියෙක් ජයග්‍රාහී ජනතාවක්” යන සංකල්පය යටතේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතා සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ,තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රීඩා සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වූ අවස්ථාවේදී ය.

මෙරටින් බිහිවුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු ජාතික මහා ක්‍රීඩා උළෙල හරහා තරඟ බිමට පැමිණි අය බවත්, ඕනෑම ප්‍රදේශයක සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රාදේශීය තරඟ, දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ හරහා ජාතික තලය දක්වා පැමිණීමට ජාතික මහා ක්‍රීඩා උළෙල මහඟු අවස්ථාවක් බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙවර අදියර හයක් යටතේ ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වනු ලබන අතර පළමු කාණ්ඩය ජූලි 17 සිට ජූලි 20 දක්වා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් ක්‍රීඩා ඉසව් 07 ක් පැවැත්වීමට නියමිත ය. දෙවන අදියරය වශයෙන් ජූලි 25 සිට 28 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ දී මල්ලවපොර, වුෂු (wushu), ටයිකොන්ඩෝ, බර ඉසිලීම ආදී තරඟ පැවැත් වේ. පිහිනුම්, ජූඩෝ, රග්බි 07 , ජිම්නාස්ටික්, ක්‍රිකට්, බැඩ්මින්ටන් ආදී තරඟ තෙවන අදියර යටතේ අගෝස්තු 01 සිට අගෝස්තු 03 දා දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිත වේ.

අගෝස්තු 13 සිට 17 දක්වා චෙස්, අත්පන්දු,කැරම්, එල්ලේ, කරාටේ, වෙරළ කබඩි ආදී තරඟ හතරවන අදියර යටතේ පවත්වනු ලබන අතර, අගෝස්තු 15 සිට අගෝස්තු 31 දක්වා පැසිපන්දු ( basketball ), බොක්සිං, bodybuilding, පාපන්දු, කබඩි, Beach volleyball යන තරඟාවලි ගණනාවක් පස්වන අදියර යටතේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

අගෝස්තු 29 දින විවෘත කිරීමේ උත්සවය ආරම්භ කරන අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව, අගෝස්තු 31 දින ජාතික මහා ක්‍රීඩා උළෙල නිමාවට පත් කිරීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, තරග පැවැත්වෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සහ දිස්ත්‍රික් තරඟ පැවැත්වෙන සෑම දිස්ත්‍රික්කයකටම තරඟ සංවිධාන කටයුතු සඳහා රුපියල් ලක්ෂය බැගින් ද, පළාත් තරඟ සංවිධාන කටයුතු සඳහා ලක්ෂ පහ බැගින් ද මෙවර ලබා දෙන බවයි. එමෙන්ම ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකවන්ට ආහාර සහ නවාතැන් සඳහා දීමනාවක් ලබා දීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය. ඉදිරි වර්ෂයේ දී එම දීමනාවන් වැඩි කිරීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේ ය.

ක්‍රීඩා සතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, 2025.07.26 සිට 2025.07.31 දක්වා ක්‍රීඩා සතිය පැවැත්වෙන බවත්, එමඟින් ක්‍රීඩාව ජනතාව අතරට ගෙනයාමටත්, මෙරට ජනතාව ක්‍රීඩා සංස්කෘතියකට යොමු කරවීමටත් බලාපොරොත්තු වන බවයි. මෙහිදී ප්‍රදර්ශනාත්මක තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත බවත්, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පාපැදි රැළියක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර පවතින බවත් මාධ්‍ය අමතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ය.

එම රැලිය 2025 ජූලි මස 26 වන දින කොළඹ 07, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භවීමට නියමිත අතර මෙම පාපැදි සවාරියේ උපරිම දුර කි.මී. 100 ක් වන අතර, කි.මී.50, කි.මී.25 කි.මී.10, සහ කි.මී.05ක දුරක් වුවද ධාවනයට එක්විය හැකියි.

ජාතික මහා ක්‍රීඩා උළෙලත්, ක්‍රීඩා සතියත් සමඟ එකතු වී නොමිලේ සියලු තරඟ නැරඹීමටත්, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පැවැත්වෙන පාපැදි රැළිය සමඟ එකතු වෙන ලෙසත් සියලුම ජනතාවට ආරාධනා කරන බව අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසුවේ ය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂක, සංවර්ධන දිලුම් දයාරත්න සහභාගී විය.