මට හිතෙන්නේ ”අරගලයක්” වුණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින් ලංකාවේ ඇතිවෙච්ච කැරළි පිටිපස්සේ තිබ්බ යථාර්තයත් මේක.
ගෑස් සිලින්ඩර් පුපුරලා ගියා. හැබැයි දේශපාලනඥයෝ කියන උන් හිනාවෙවී හිටිය. තෙල් පෝලිම්වල මිනිස්සු මැරුණ. දේශපාලනඥයෝ හිකි හිකි ගගා එක එක හේතු දුන්න. ලයිට් නැතුව අඳුරේ හිටිය. කාටවත් වගේ වගක් තිබ්බේ නැහැ.
දැන් එන්නත් විෂ වෙලා මිනිස්සු මැරෙනවා. බේත් කියන ඒවා බීල මිනිස්සු සදාකාලික අන්ධ වෙනවා. අයි. සී. යූ. යනවා. පඬු කරඳ ගස් අන්තරස්ධාන වෙනවා. දේශපාලඥයෝ තග දාමින් ඉන්නවා. නැත්නම් හිනා වෙනවා.
කාලය දිගේ ආපස්සට ගිහිල්ල බැලුවොත් පරම්පරා දෙකක් හැටියට ගත්තම එක (වැඩිහිටි) පරම්පරාවක් තවත් (තරුණ) පරම්පරාවක ප්‍රශ්න සහ ගැටළු වගේම සංවේදනා ගැන නොසැලිකිලිමත් වීම හෝ සංවේදී බවක් තිබ්බත් ඒක ප්‍රදර්ශනය කරන්න බැරිවීම තරුණ අසහනය කියන සත්‍යය පිටිපස්සේ තිබ්බ. සමාජය පුපුරායාම පිටිපස්සේ ඒ අසංවේදීකම තිබ්බ.
ඇත්තටම මෙතන තියෙන්නේ දේශපාලනය දන්නවා කියල හිතුවට දේශපාලනය නොදන්නා කම. දේශපාලනය කියන්නේ මිනිස්සු ගැන ඇත්ත හැඟීමක් තියන එකට. ඒ ඇත්ත හැඟීම එක්ක ඇත්තටම මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙන එකට. ඇත්තටම මිනිස්සු අමාරුවේ වැටුනම ඒ වෙනුවෙන් සංවේදී වෙන එකට. ඒ සංවේදී බව මිනිස්සුන්ගේ හදවතට සන්නිවේදනය කරන එකට.
දේශපාලනය කියන්නේ කොහොම හරි ගේම් එක ගහන එකට විතරක් නෙවෙයි. ගේම් එකක් ගහන එක ඕනි කපටියෙක්ට කරන්න පුළුවන් දෙයක්. දේශපාලනය කියන්නේ කපටිකම විතරක් තිබිල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
යථාර්තය කොච්චර ගැඹුරුද සහ වේදනාත්මකද කියන එක තේරුම් යයි ඔය මැරිච්ච මිනිස්සුන්ගේ මළ ගෙදරකට ඔය දේශපාලනඥයෝ කියන කෙනෙක් නිකමට ගොඩ වැදුනොත්.
පරක්කු කරලා දැම්මේ අවුසන්නවත් ඇවිස්සෙන්නවත් ඕනි නැති නිසා. හැබැයි තේරුම්ගන්න ඕනි නිසා.
~ මහේෂ් හපුගොඩ
RN