ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ හුඟ දෙනෙක්ට ජයග්‍රහණය කළ ඉසව් අතරින් වඩාත් කැමත්ත ඇත්තේ මීටර් 400 සහය දිවීමටය.අන්තිම ලැප් එක දිව්ව කොල්ලනම්…
මෙසේ පවසන මිනිස්සු ඒ සහය දිවීමේ ජයග්‍රහණයේ සුවිශේෂිම දායකත්වය දුන් පුද්ගලයා ලෙස දකින්නේ කාලිංග කුමාරගේ ය.කාලිංග 30 හැවිරිදිය.අත්දැකීම් බහුලම ධාවකයා ය.ඔහුගේ ජවය වගෙම දිවීමෙන් එළැඹි වෘත්තිමයභාවය ද සහිතව ජයග්‍රහණය සඳහා ධාවනය කළමණාකරණය කළ හැටි සහ ඒ වෙනුවෙන් ප්‍රදර්ශණය කළ සංයමය අමිලය.සරලය කිවහොත් මීටර් 400 සහය ධාවන තරගයක තිබිය යුතු සියලු උසස් ගුණාංග එහි තිබිණි.
එ’නමුත් එම සිව් දෙනාම සිය වගකීම නිවැරදිව ඉටු නොකළේනම් එම පදක්කම අපට අහිමි වන්නේය.එහෙත් අවසාන මීටර් 400 තුළ කාලිංග කැපී පෙණුනේ ඔහුගේ හැකියාව වගේම දීර්ඝ කාලීන අත්දැකීම් සහ පළපුරුද්ද ද එකතුවීම නිසාය.
සහය දිවීමේ ජයග්‍රහණයේ ජයග්‍රහණයට දායක වූ කාලිංගගේ සුවිශේෂීත්වය ගැන කතා කරන විට අමතක කළ නොහැකිම කාරණය මීට වසර ගණනකට ඉහතදී ඔහු අතින් මතකය නිවැරදිනම් ගිලිහී ගිය යෂඨිය නිසා බස්නාහිර පළාතට සිදු වූ අකරතැබ්බයය.සියල්ල ගල් ගැසුණු එම අවස්ථාව කාලිංග අතින් සිදු වූයේ සිතා මතා නොවුණ ද,ඊට චිත්ත ශක්තියේ යම් චංචල තත්ත්වයක් බල පෑ බව බැහැර කළ නොහැකිය.
එවැනි වූ අද වන විට 30 හැවිරිදි වියේ සිටින කාලිංග ගැන අද කතා කරන්නේ සහය දිවීමේ ඉසව්වේ ජාත්‍යන්තර ජයක් වෙනුවෙන් දුන් විශිෂ්ඨ දායකත්වය ගැනය.එදා වැටුණු යෂ්ඨියෙන් වට්ටන්න බැරි වුණ හිත අතිශයින් වැදගත්ය.මිනිස්සුන්ට වරදින්නේ නිවැරදි වෙන්නට පාර කියා දෙන්නටය.කාලිංග වැටෙන්නට ගිය තැන්වල අල්ලාගෙන කෙළින් වී යළි නොවැටෙන්නට දරා ගන්නා හැටි උගත්තේය.දිනන පිපාසාව ඇති කර ගත්තේය.පුහුණුකරු විමුක්ති සොයිසා විසින් දුන් මඟ පෙන්වීම අතිශය දුෂ්කරය.දරා ගැනීම අතින් එය ඉවසීමේ සංයමය අරමුණ ජයගැනීම එකම ඉලක්කය වීමෙන්ම උපදින්නකි.
නමුත් කාලය පරද්දන්නට අපහසුය.ඇත්ත එයය.දැන් කාලිංගට 30 කි.ඔහු වටා වැඩෙන පැල දෙසද පාලකයෝ බැලිය යුතුය.ඔහුට වඩා කාලයක් ඒවාට රැඳෙන්නට කාලය ඉතුරුව ඇත.ඒවා ද එකතු කරගෙන එක පොකුරට වැඩ කළ හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව නිර්මාණය කරගෙන නිරන්තරයෙන් රඳවා ගන්නේනම් කාලිංගගේ කාලය ඔහුටත් වඩා ශ්‍රී ලංකාවට පලදායක ලෙස ගෙවෙනු ඇත.
මේ ඉසව්වල අධිකාරී බලය ඇත්තේ යුද හමුදාවටය.එය යළි එක එක රෙජිමේන්තුවලට වෙන් වන්නේය.ත්‍රිවිධ හමුදාවටම අයත් දක්ෂයෝ මලල ක්‍රීඩාව හා එක්ව සිටිති.එය ඇත්තය.මලල ක්‍රීඩාව පමණක් නොව අනෙත් ක්‍රීඩාවලද ඇත්තය.ඔවුන් සියලු දෙනාට ලැබෙන සහය මෙන්ම ඔවුන් සියලු දෙනා රටටත් වැඩිය සිය හමුදාවට අලවා තබා ගැනීමේ තත්ත්වයද අපි කළක සිටම පෙන්වා දෙන්නෙමු.මෑත කාලයේ රට වෙනුවෙන් දිනන්නට වූෂු ක්‍රීඩකයින්ට පුහුණුවක් ලැබුණ ද,ඇතැම් හමුදා ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් ඔවුන්ව රඳවා ගෙන නිදහස් නොකළේය.
මේ ආකාරයට මලල කීඩා තරගවලදී ද ඉතා ආසන්න ජාත්‍යන්තර තරගයක් තිබුණත් ආරක්ෂක සේවා තරගාවලියක් හෝ රෙජිමේන්තු අතර තරගයකදී මේ ක්‍රීඩකයන් තම සේවාවන් දිනවීම සඳහා දැඩි වෙහෙසක් දරන අයුරු අපි දකින්නෙමු.එය ශරීරයට අතිශයින් දුකක් වන තරමටම ඔවුන්ව වෙහෙස කිරීමකි.මේවා ද අවධානය යොමු කළ යුතු කරුණුය.හැකිනම් මේ සියලු තරග සඳහා (ජාතික ක්‍රීඩා පවා) සම්ප්‍රදාය අමතක කර ශ්‍රී ලංකා කණ්ඩායම් ඒ සහ බී ලෙස යොඳවා සහය දිවීමේ තරග සඳහා යෙදවිය හැකිනම් වැදගතු වනු ඇත.රට ගැන සිතමේ වැඩ පිළිවෙල සඳහා තිවිධ හමුදාවන්,එහි රෙජිමේන්තු පමණක් නොව පළාත් ක්‍රිඩා බලධාරීහු ද එකඟ වී මලල ක්‍රීඩා සංගමයද එකඟතාවයකට පැමිණිය යුතුය.
එම කණ්ඩායම් දෙක අමතක කර සෙසු කණ්ඩායම්වලට ලකුණු දෙන වැඩ පිළිවෙලක් ඒ හැම අවස්ථාවකම සැකසීමෙන් අදාළ අංශයට,පළාතට ලකුණු ලැබෙන සැළසුමක් සකස් කර ප්‍රධාන ක්‍රීඩකයින් අට දෙනා රට වෙනුවෙන් නිදහස් කරන්නට සියල්ලට එකඟ විය හැකිනම් සාමාන්‍යයෙන් එම ඉසව්වලට අලුතින් එකතුවන ක්‍රිඩකයන්ටද හොඳ හඹායාමේ වේගයක් එකතු වනු ඇත.
කාලිංග දැන් පළමුවරට ජාතික වාර්තාවක පමණක් නොව ආසියානු මලල ක්‍රිඩා වාර්තාවකද නම ලියැවි චරිතයක්ය.ඒ සඳහා ඔහු පමණක් නොවන සිව් දෙනෙක්ගේ දායකත්වයේ අපූරු රඟ අපි අත් වින්දෙමු.එය පහසු නොවන දිවිමකි.එහෙත් වඩා වැදගත් ඒ සිරුරු කියූ දේ ය.එය උපරිමය නොවනු ඇත.සමහර විට ආසියානු තරගාවලියේදී මේ සිව් දෙනා එම දක්ෂතාවය තවත් ඔප නැංවීමට ඇති ඉඩ සුවිශාලය.කාලිංග මෙන්ම අරුණ ද තරගකාරීත්වය තුළ වඩාත් හොද මට්ටමකට තම පෞද්ගලික කාලය වර්ධනය කර ගන්නවා ඇත.එය නිපූට සහ රාජිතට ද පොඳුය.
සටහන කාලිංග ගැන විශේෂය.ඒ එදා දිවීමට අදාළව නොවේය.යෂ්ඨිය වැටුණ අතීතයක සිට නිවැරදි වීම,වැටෙන විට දරා ගන්නට ඇති හැකියාව සහ අත්දැකීම් සමඟ ඔහු ගමන් කරමින් සිටින දිශාව නිවැරදි බවට හැඟෙන එකක් වීම නිසාය.එසේම අභියෝග ඉදිරියේ නොසැලී,නොවැටී සිටීමට ඇති හැකියාව හරහා කාලිංග කියා දෙන පාඩම හැමවිටම වැදගත්ය.ජය පරාජය නොවන අනාගයට වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු චරිතයක් හැටියට කාලිංග ඉතුරු කරමින් සිටින මතකය කියවිය යුතු පාඩමක්ය.
වැදගත් ඔහු ඒ සඳහා යොදා ගැනීමය.ඇතැමෙක් ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 ඉසව්වට කාලිංග සිටියානම් පදක්කමක් යනුවෙන් ගොඩ නඟන තර්කය අතිශ්‍යොක්තියෙන් යුත් එකකි.එහිදී අරුණ දර්ශණගේ අඩුවත් නොවිණි.වැදගත් ඒ ප්‍රතිපලයේ කාලයන් කියවා ගැනීමය.කාලිංගගෙත් අරුණගෙත් පෞද්ගලික කාලවලට බොහෝ ඉදිරියෙන් වන කාලයන් ඒ ජයග්‍රහණවල දී දැක ගන්නට ලැබිණ.එහෙත් පොකුරක් ලෙස එකට එකතු වූ විට ඔවුන්ට ආසියාන දිනන්නට තිබුණ හැතියාව වැදගත් විය.එයට සහ එහිදි කාලිංගගේ දායකත්වයට ගෙූරව දැක්වීම හැරෙන්නට ඔහුව මුරුංගා අතුවල තැබීමට යාමෙන් රටේ සහය දිවීමේ කණ්ඩායමම බිඳ වැටෙන්නට හැකිය.තරගය නිමාවේ අරුණ කාලිංගව ඔසවා සිටින ඡායාරූපයක් තැන තැන සැරි සරයි.අපි ද එය මෙහි ඇතුළත් කර තබන්නෙමු.ඒ සමඟිය,සහයෝගය,මිත්‍රත්වයේ ජයග්‍රහණයේ පදනමයි.තමන් සමඟ එකම ධාවන පථයේ එකට දුවන තරගකරුවාගෙන් ලැබෙන එවන් ගෞරවයක් වෙන කිසිම ගෞරවයකට සම නැති උසස් එකක් බව පමණක් සිහි තබා ගැනීම ඉදිරියට වටිනු ඇත.එය ඔබේ හැකියාව සහ ජයග්‍රහණයේ දායකත්වය ගැන වචන දහසකින් ලියාවත් පළ කළ නොහැකි විශිෂ්ඨත්වයේ සහතිකයයි.එය ඉරා නොගෙන පෙරට යාම කාලිංගගේ වගකීමයි.
කාලිංග වඩාත් වටින මනුස්සෙක් වන්නේ ඔහු අනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන පෞද්ගලිකත්වය අභිබවා,පොදු වූ හැඟීමෙන් වැඩ කරන මනුස්සෙක් වීම හරහාය.මනුස්සකම සහිත මනුස්සයෙක් වීම ක්‍රීඩකයෙක් වීමට වඩා අපහසු සමාජ වපසරියක ආසියානු තරගාවලියේ සහය දිවීමේ පදක්කමකට කාලිංගගේ මනුස්සයා ඉතුරු කර ගත යුතුව ඇත.සොඳුරු පවුලක හිමිකාරයා වන කාලිංගට ආදරණිය පුතනුවන්ට දිව යන්නට ගෞරවය පිරුණු අපූරු ජීවන පථයක් තනන්නට හැකිවනු ඇත.
සටහන – නිෂ්මං රණසිංහ