Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

අද තියෙන්නේ බලි, තොවිල්, ශාන්ති කර්ම බුද්ධාගමක්

අද තියෙන්නේ බලි, තොවිල්, ශාන්ති කර්ම බුද්ධාගමක්
වර්තමාන බෞද්ධ ජන සමාජය ආගමික කටයුතු කෙරෙහි සුවිශේෂ උනන්දුවක් පළ කරන බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි. මෙය එක්තරා අන්දමකින් බෞද්ධාගමික ප්‍රබෝධයක් ලෙස ද අර්ථ දැක්විය හැක. සතර පොහොය ආගමික කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවක් අතීත සමාජය තුළ දක්නට ලැබුණ ද මේ වන විට පුන් පොහෝ දිනවලට අමතරව සතියේ බදාදා සහ සෙනසුරාදා දිනවල ද බෞද්ධයන් විහාරස්ථානාදී පුද බිම් වෙත එක් රොක් වනු පෙනෙයි. එහෙත්, වර්තමානයේ දක්නට ලැබෙන මෙම
බෞද්ධාගමික ප්‍රබෝධයට සාපේක්‍ෂව අප සමාජයේ සදාචාර සංවර්ධනයක් දක්නට තිබේද?
මේ පැනයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ ‘නැත’ යන්න පමණි. එමෙන්ම බෞද්ධයන් වශයෙන් ආගමික පුද පූජාවන්හි ම එල්බ ගෙන සිටින්නවුන් තුළ ද එසේ නොමැත්තවුන්ට
සහ සෙසු ආගමිකයන්ට සාපේක්‍ෂව විශේෂ සදාචාරාත්මක පුද්ගල සංවර්ධනයක් ඇති බවක් හැඟෙන්නේ නැත.
මේ සඳහා හේතුව කුමක්ද?
අතීත සමාජයේ බලි, තොවිල්, ශාන්ති කර්ම ලෙසින් හැඳින්වෙන අභිචාර සමුදායක් පැවතිණ. මිනිස් ප්‍රඥාවට නතු කර ගත නොහැකි කිසියම් ගුප්ත බලවේගයක් මගින් තමන්ට යහපතක්,ඉෂ්ටාර්ථ සිද්ධියක් අපේක්‍ෂා කෙරෙන මෙම අභිචාර විධි ජාත්‍යන්තර වශයෙන් හැඳින්වෙනුයේ ස්වේත අභිචාර ( ) යනුවෙනි. අප ජන සම්මතයේ එන බලි යනු ග්‍රහ අපල දුරුකර ගැනීම පිණිස සිදු කරනු ලබන අභිචාර විශේෂයක් හෙවත් නවග්‍රහයන් තුටු පහටු කිරීම පිණිස කරන චාරිත්‍ර විශේෂයකි. එහි දෙවැන්න වන තොවිල් යනු මිනිසුන්ට යක්ෂයන් ගෙන් ඇති වන්නේ යැයි සැළකෙන නොයෙකුත් දෝෂමය තත්වයන් සමනය කරනු ලබන අභිචාර පද්ධතියක් වන අතර ශාන්ති කර්ම යනු පත්තිනි ඇතුළු ජන සම්මත දෙවි දේවිතාවුන් ගේ පිහිටෙන් ලෙඩ දුක් සුව කර ගැනීම පිණිස සැකසුනු ශාන්ති කර්ම පද්ධතියකි. මෙම බලි තොවිල් ශාන්ති කර්ම ශ්‍රී ලාංකේය ජන සමාජය හා බද්ධ වූ කාල වකවානු නිශ්චිතව දැක්විය හැකි නොවූව ද ක්‍රි.ව1220 සිට 1345 දක්වා වන දඹදෙණි රාජධානී සමය තුළ ඇති වූ භාරතීය බලපෑම මෙම අභිචාර පද්ධතියේ සංවර්ධනයට තීරණාත්ම අයුරින් බලපෑ බව පිළිගත හැකි එෛතිහාසික සහ මානව විද්‍යාත්මක ශාක්ෂි තිබේ.දැනටත් අප සමාජයේ පවතින ගෘහස්ථ අභිචාර විධි බොහොමයක මූලාරම්භය මෙම යුගය ලෙස සැලකෙයි.

ඉන්පසුව එළැඹි ක්‍රි.ව 1412 සිට1597දක්වා පැතිර ගත් කෝට්ටේ රාජධානී සමයේ දී ප්‍රබල ලෙසවිකාශනයකට පත් මෙම බලි, බලි තොවිල්, ශාන්ති කර්ම කලාව ක්‍රි.ව. 1597න් . ඇරඹී ක්‍රි.ව.1815 න් නිමා වූ සෙංකඩගල හෙවත් මහනුවර රාජධානී සමයේදී මස්තක ප්‍රාප්ත වන්නට ඇත. මේ තත්වය යටතේ එවක වේගවත් පිරිහීමකට ලක්ව තිබූ බුද්ධාගම යළි ස්ථාපිත කරවීමේ වගකීම එවකට බෞද්ධ සමාජය නියෝජනය කළ භික්ෂුන් වහන්සේලා සේම ගණින්නාන්සේලා නමින්
හැඳින්වුණු අර්ධ පූජක වරුන් විසින් භාරගත් බව පෙනේ. ඒ අනුව ක්‍රි.ව1592-1604 තෙක් දක්වා පැවැති පළමුවන විමලධරමසූරියරජ සමයේ දී එවකට රක්ඛංග දේශය නමින් හැඳින්වුණු අරකන් දේශයෙන්(මෙය වර්තමාන මියන්මාරයට අයත් රඛිනී ප්‍රදේශය ලෙස සැලකෙයි ) භික්ෂු උපසම්පදාවක් ගෙනා එවක ශාසන බලධාරීන් ඊට එවක සමාජයේ ජනප්‍රියව පැවැති බලි, තොවිල්, ශාන්ති කර්ම සඳහා වන විකල්ප අංග ද පිවිසුවාලූහ. ඒ එවක බෞද්ධ සමාජයේ පැවැති බලි, තොවිල්, ශාන්ති කර්ම අවශ්‍යතා ද බුද්ධාගම තුළින්ම සපුරා ගැනීමට ජනතාවට ඉඩක් ලබා දෙමිනි. අදත් අප ජන සමාජයේ අතිශයින් ජනප්‍රිය “මහා කාරුණිකෝ නාථෝ”යනුවෙන් ඇරඹෙන මහා ජය මංගල ගාථා එම අවශ්‍යතා පදනම් කරගත් ප්‍රබන්ධයකි.නමුත් මෙහි කණගාටුදායක තත්වයක් වනුයේ මෙම මහා ජයමංගල ගාථා වලින් පැවසෙන කරුණු කිසිසේත් මූලික බුදු දහමට එකඟ නොවීමය.

“යං දුන්නිමිත්තං, අවමංගලං ච, – යෝචා මනාපො සකුණස්ස සද්දෝ පාප ගහෝ දුස්සුපිනං – අකන්තං බුද්ධානුභාවේන විනාස මෙන්තු’ යන මහා ජයමංගල ගාථා වල එන අවසන් ගාථා පාඨයට අනුව දුර්නිමිති, මරණ, ඇසීමට අකමැති කුරුළු ශබ්ද, පාප ග්‍රහ දෝෂ, නරක සිහින,සුදු නොවුය යුතු දේ ආදිය බුද්ධානුභාවයෙන් විනාශ විය යුතු බවට කෙරෙන ප්‍රාර්ථනය මූලික බුදු දහම හා කෙසේවත් එකඟ නොවේ. මන්ද යත් ඉහත දැක්වෙන කුතුහලය දනවන දෙයින් තමන්ට යහපතක් උදාවේය (කෝතුහල මංගලිකෝ හෝති) යැයි සිතන්නා උපාසක චණ්ඩාලයකු ලෙස බුද හිමියන් විසින් අංගුත්තර. නිකායේ පංචක නිපාතයේ එන උපාසක චණ්ඩාල සූත්‍රයෙන් පැහැදිලි ලෙසම අවධාරණය කොට ඇති නිසා ය.

වර්තමාන සමාජයේ බලි, තොවිල්, ශාන්ති කර්ම ඉතා ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙමින් පවතී. ඒ එම ශ්වේත අභිචාර සම්බන්ධ මානව අවශ්‍යතාව දුරු වී හෝ අවප්‍රමාණ වී ඇති
නිසාම නොවේ. ඒ අවශ්‍යතා මුල් කොට ගත් බෞද්ධ ශාන්ති කරම සම්ප්‍රදායන් නූතන ජනප්‍රිය බුද්ධාගම තුළ ස්ථාපිත වී තිබීම නිසාය ග්‍රහචාරය අනුව මිනිසා ගේ යහපත උදා නොවන බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට තිබේ. ……………….. වහන්සේ ඒ සම්බන්ධ අගනා දහම් සම්භාරයක් තිබේ. නමුදු අප ගේ නූතන සමාජය තමන්ට ග්‍රහ අපල ඇතැයි සිතා බෝසතුන් බුද්ධත්වයට පිටදුන් බෝධි වෘක්ෂය හමුවට ගොස් ඉන් පිළිසරණක් පතති. මෙය ඒකාන්තයෙන්ම අදටත් ඉන්දියාවේ හින්දු ආගමේ එන සුදු අභිචාර ක්‍රමයක දේශීය බෞද්ධ ආරෝපණයකි. ඉන්දියාවේ හින්දුන් හැරුණු කොට මෙලෙස බෝධි වෘක්ෂයට වන්දනා මාන කරමින් ඉන් පිහිටක් යදින බෞද්ධයන් ලෝකයේ අන් කිසිම රටක නැත.අප බෝ යනුවෙන් හඳුන්වන වෘක්ෂය හින්දු ආගමිකයන් හඳුන්වනුයේ පීපල් යනුවෙනි.බ්‍රහ්ම පුරාණය සහ පද්ම පුරාණය නම් දේව පුරාණෝක්ති වලට අනුව වරක් අසුරයන් දෙවිවරුන් පරාජය කළ විට විෂ්ණු දෙවියන් පීපල් ගසක් තුළ සැඟවී සිටින ආකාරය විස්තර වෙයි. එබැවින් විෂ්ණු දෙවියන්ට ස්වයංසිද්ධ නමස්කාරය ඔහුගේ රූපයක් හෝ දේවාලයක් නොමැතිව පීපල් වෘක්ෂයකට පුද කළ හැකි බව පැවසෙයි. ස්කන්ධ පුරාණයට අනුව ද විෂ්ණුගේ සංකේතයක් ලෙස පීපල් සලකන අතර විෂ්ණු දෙවියන් උපත ලැබුවේ පීපල් ගසක් යට බව පැවසේ. සමහරකු විශ්වාස කරන්නේ මෙම ගස ත්‍රිමූර්තිය සංකේතනය කරන බවකි ඒ ගසේ මුල් බ්‍රහ්ම කඳ, විෂ්ණු; සහ කොළ, ශිව වශයෙනි එම දෙවිවරුන් මෙම ගස යට ඔවුන්ගේ දේව සභා පවත්වන බව කියනු ලැබේ, එබැවින් හින්දූන්ගේ අධ්‍යාත්මික පක්ෂය සමඟ සම්බන්ධ මෙම වෘක්ෂයට දින හත විසි එක හතලිස් නවය ආදී වශයෙන් එම වෘක්ෂයට පූජා පැවැත්වීමෙන් ලෞකික සමෘද්ධිය අත් වන බව ඔවුන් හින්දූන් අතරේ පවතින විශ්වාසයකි.

මෙසේ ග්‍රහ අපල සම්බන්ධයෙන් වන බලි සඳහා සේම යක්ෂ බලපෑම වෙනුවෙන් කරන තොවිල් සඳහා පමණක් නොව රෝග පීඩා සඳහා කරන ශාන්ති කර්ම සඳහා ද බුදු සමය
ඈදා ගැනීමේ මූලික දොසක් නැතැයි බොහෝ දෙනකුට හැඟෙන්නට පුළුවන. එහෙත්, එමගින් සිදුවන ප්‍රධානතම අයහපතක් තිබේ. එනම් පිළිපැදීමෙන් පමණක් පරම යහපත උදා කර ගත හැකි චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගයක් වන සැබෑ බුදු දහම ජන විඥානයෙන් යටපත් වී බුදු දහම බලි, තොවිල්, ශාන්ති කර්ම සඳහා පමණක් යොදාන සුදු අභිචාර පද්ධතියක් ලෙස සමාජ ගත වීමය. මේ වන විට ද අප රටේ ජනප්‍රිය බුද්ධාගම සැබෑ බුදු දහමින් ඈත් වූද වෙනත් මාවතකට යාමට හේතුව බුදුන් වහන්සේ සංජය පරිබ්‍රාජකයාගේ මිසදිටු අදහස් මුල් කොට දෙසූ “:අසාරෝ සාර මතිතෝ” යන බුදු වදනට අනුව නිසරු දේ සරු සේ සැළකීමත් සරු දේ
නිසරු සේ සැළකීමත් නිසා බව ඒකාන්තයෙන් කිව යුතු ය.
කදුරුපොකුණේ සුමංගල හිමි







තිලක් සේනාසිංහ

https://www.youtube.com/channel/UCqJVFIAeRXWS4PMa8meVfJA

https://www.facebook.com/vinividablog

Web – https://www.vinivida.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.