නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවට අදූරදර්ශි ප්‍රතිසංස්කරණයක් ගෙනත් – විපක්ෂ නායක

0
205

කොළඹ LNW:රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එයට විරුද්ධව සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කර චෝදනා මුඛයෙන් රජයට අභියෝග එල්ල කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැනි නව අධ්‍යාපන අවස්ථා ගැන තමා ඇතුළු සමගි ජන බලවේගය කරුණු ඉදිරිපත් කරන විට උසුලු විසුළු කළ අය අද වන විට පවතින අධ්‍යාපනය සාධනීය ප්‍රතිසංස්කරණවලට ලක් කර දරු පරපුරට යහපතක් නිර්මාණය කරනවා වෙනුවට සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යමින් සිටින බව ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් මෙරට සිසු පරපුරට අධ්‍යාපන අවස්ථා අලුතින් නිර්මාණය කළ යුතු බවට සමගි ජන බලවේගය පැවසූ බවත් කොතලාවක ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය රජය අහිමි කළත් එම වරද පෙන්වා එයට විරුද්ධ වූ පසු රජය එම තීරණය හකුලා ගනු ලැබූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට උත්සාහ කරන අතර මෙයට විරුද්ධව සමාජයම කැලඹී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

වත්මන් රජය බලය දුන්නේ මෙවැනි දේ කිරීමට නොව රටට ඔබින අධ්‍යාපනයක් ඇති කිරීමට බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

සමාජයේ ජීවත් වන ජනතාවට බලපාන ගැටලු ප්‍රශ්න අභියෝග දුක්කම්කටොලු පිළිබඳ නැගිය හැකි උපරිම හඬ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නඟන බවත් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා සේම එම ප්‍රශ්න නොවිසඳීම ගැන රජයට අභියෝග කරන බවත් හෙතෙම තවදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට’ වැඩසටහන යටතේ රාජාංගනය ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ