ගහ දන්නා අයට කොල කඩා පෑම ….

0
221

මම සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලෙ නිවාඩුවකට ලංකාවට ආ වෙලාවක, යාලුවෙක් එක්ක තවත් කාලෙකින් හමු නොවුනු යාලුවෙක් බලන්න පානදුරේ ගියේ ලංකා ගමනා ගමන මංඩලයේ බස් එකක. අපි බස් එකට ගොඩ වෙන කොට බස් එකේ සෙනග වැඩිය හිටියෙ නැති හින්දා, වාඩිවෙන්නට සීට් (ෂීට් නෙවෙයි හොඳේ, ගොඩක් අය මේක පටලවාගන්න නිසයි කිව්වෙ) ලැබුනත්‍ කටුබැද්දෙන් ටියුෂන් ගිය අයයි යුනි එකේ අයයි නැග්ගම බසය අතුරු සිදුරු නැතිව පිරිලා ගියා.

අපි වාඩි වෙලා හිටපු සීට් එකට ඉස්සරහ කොල්ලො සෙට් එකක් හිට ගෙන තෙල බෙද බෙදා යන කොට, කොන්දොස්තර ඇවිල්ලා

‘ඔය ලමයි ටිකට් ගත්ත ද?’ කියලා ඇහුවම

‘අපිට සීසන් තියෙනවා’ කියලා එකෙක් උත්තර දුන්නෙ කොන්දොස්තරව සතයකටත් නොගෙන.

‘ආ දෙන්න සීසන් බලන්න’

‘මොනව බලන්න ද?’

‘බලන එක මම කියන්නම් ඔය කට්ටිය සීසන් දෙන්න කෝ’

කියල කොන්දොස්තරත් ගේම අතහැරියේ නැහැ.

ඊට පස්සෙ එයාලා සීසන් කොන්දොස්තරට දුන්නම, එයින් එක සීසන් එකක ඒ දවසේ ගමන කලින් පාවිච්චි කොට කතිරයක් දමා තිබුනු හින්දා

‘ඔය ලමයා එක පාරක් අද ගිහිල්ලා තියෙනව නේ. මේ තරම් අඩු ගනනට සීසන් දීලත්, ඒකෙනුත් අයුතු ප්‍රයෝජන ගන්න හදන්නේ. දැන් ඉතින් ටිකට් එකක් ගන්න ඕන’

කියා අවඥාවෙන් හිනා වුනු නිසාත් බසයේ සිටි සියලු දෙනාම ඔහු දෙස බලපු නිසාත්, අර කොල්ලට ලැජ්ජාවත් සමග තරහ ගිහිල්ලා

‘අඩුවට? අයිසේ රුසියාවේ ශිෂ්‍යයන්ට නොමිලේ ඕන තැනකට යන්න පුලුවන් ආන්ඩුවේ ප්‍රවාහන සේවයේ බස්, මෙට්‍රෝ, ට්‍රෑම් ඒවයේ එහෙම. මේ වගෙ හුචක්කුත් නෙවෙයි ඒවා.. කෙහෙම්මල, අඩුවට දෙන්නෙ රෙද්ද වෙන්නැති’

කිව්වම මට හිනා ගියේ මම රුසියාවෙ ඉගෙන ගන්න නිසා ඉතාම අඩු මිලක් වූ සත පහකට උමං දුම්‍රියේ, ට්‍රෑම්, ට්‍රොලි බස්, බස් ආදී ඕනම ප්‍රවාහන සේවයක ඕනෑම තැනකට යා හැකි වූවත්, නොමිලයේ ප්‍රවාහන සේවය දෙනවා කීම බොරුවක් බව දැන ගෙන හිටපු හින්ද.

මගෙ හිනාව දැකලා කොල්ලට තවත් තරහ ගිහිල්ලා

‘ඇයි හිනාවෙන්නෙ, රුසියාවේ ස්ටුඩන්ට්ස්ලට සේරම නොමිලේ, දන්නෙ නැත්නම් විරිත්තන්නෙ නැතිව පත්තර පොත් එහෙම අරගෙන කියවනවකෝ, සෝබනේට ඇඳල සන්ග්ලාස් දාලා විතරක් හිටියට මදි’

මට උපහාසයෙන් කිව්වම, තරහ කෙසේ වෙතත් හිනාව බොහෝම අමාරුවෙන් තද කරගෙන

‘ඇත්තට, එහෙ එහෙම නොමිලේ සේරම දෙනව ද?’

කියලා සිරා මූනෙන් ඇහුවෙ ඌව තවත් ෆෝම් කරන්න.

මිනිහගෙන් යමක් ඉගෙන ගන්න මේ සෝබනකාර නූගත් කොල්ලා (පොර හිතපු විදියට අනුව) කැමැත්තෙන් ඉන්න බව දැක්කම තරහ නිවී ගොස්, මා ගැන අනුකම්පාවක් හිතිලද කොහේද ස්වරය පොඩ්ඩක් ලයාන්විත කරලා,

‘ඔව් බලනවකො ඒකට මෙහේ, අපි අමාරුවෙන් ගෙවලත් බස් එකේ එක පාරයි දවසට යන්න පුලුවන්, මොන තරම් අසාධාරණද? අම්මපා ඉපදෙන්න ඕන රුසියාව වගේ රටක, රටේ ජනතාව හොඳට බලා ගන්න. අපි වගේ ශිෂ්‍යයන්ට කොච්චර හොඳට සලකනවද ඒ රටේ. එහේ ශිෂ්‍යන්ට හොස්ටල් නිකම් දීලා අතට ගානකුත් දෙනවා. ඒ ගාන එහෙ දොස්තර කෙනෙකුගෙ පඩියෙන් තුනෙන් එකක් විතර. සෝවියට් දේශය සඟරාවල් අරන් කියවන්න, ඔය රීඩර්ස් ඩයිජස්ට්, නිව්ස්වීක් වගේ ජරාවල් කියවන්නෙ නැතිව’

එයා බස් එකෙන් බහින තුරුම සෝවියට් දේශය ගැන තොරතුරුත් කිව යුතු පොත් පත් ගැනත් මටත් මගේ යාලුවාටත් කියා දුන්නේ අප දෙදෙනාට කතා කිරීමට ඉඩක් දෙන්නෙ නැතුව. එයා බැහැලා ගියාට පස්සෙ මගේ යාලුවා

‘ඇයි බං උඹ ඌට කිව්වෙ නැත්තේ උඹ රුසියාවෙ ඉගෙන ගන්න බව?’

කියලා ඇහුවෙ පුදුමයෙන්, මම කිව්වෙ

‘ඌ ලැජ්ජා වෙලා හිටපු එකේ තව ලැජ්ජ කරන්න හිතුනේ නෑ බං. ඌ අපිට රුසියාව ගැන දේශනය දෙන කොට උගේ තරහයි ලැජ්ජාවයි ගිහිල්ලා, තමා ගැන ආඩම්බරයක් ඇති කරගත්ත නේ. දැන් ඌ සතුටෙන් නේ බං ගෙදර යන්නේ. අනික නොදන්නවා වගේ එහෙම අහගෙන ඉන්න එකෙත් හොඳ ආතල් එකක් තියෙනව නේ’ කියලා.

කෙනෙකුට යමක් කීමට පෙර, අසන්නා හෝ අසන්නන් ගැන දැන ගැනීම (identifying the target audience) ඉතාම අවශ්‍ය බව මම දැන ගත්තේ, ඉදිරිපත් කිරීමේ කුසලතා (Presentation Skills) ගැන තිබූ පාඨමාලාවක දේශකයා එහි වැදගත්කම කියා දීමට පෙර අර බසයේ මට රුසියාව ගැන කියා දුන් කොල්ලගෙන්.

ඉගෙනගන්න දේවල් තියෙනව ඕනෑම සිද්දියකින්, ඒවට ප්‍රතිචාර දක්වන විදිය අනුව තමයි ඒක වෙන්නෙ. මේ ඔයා නම් ඒ එදා මට පාඩමක් කියල දුන්නු කොලුවා, දැන් වුනත් ලැජ්ජ වෙන්න එපා හොඳේ. ගිහිල්ල එන්නම්. සුබ දවසක්.

~ දේවප්‍රිය සිරිවර්ධන (Facebook)