Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

ගණනාථ ඕබේසේකර; ජාත්‍යාන්තර බුද්ධිමතෙකුගේ සේවනැල්ලේ දශක දෙකක්

01 කොටස

මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර. මම වසන්තගේ ගෙදරට එක්කර ගෙන ගිහින් අදුන්වල දුන්නේ වසන්ත කුලතුංග. නොම්බර 15 ලෝරිස් පාර, බම්බලපිටියේ එකල තිබුණු මහගෙදර යාව පිටිපස්සේ ගෙයි වසන්ත ජීවත් වුණේ විවාහක පවුලෙන් වෙන්වෙල. එයාගේ තනියට සිරිල් වික්‍රමගේ හා ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුත් හිටිය. ජයසිරි ඩබ්ලිව්. ඉදල හිටල ආවා. සමහර දවස්වලට නැවතුනා. එයා ගණනාථගේ මල්ලි බව දැන ගත්තේ එහේ යන්න එන්න පටන් ගත්තම. ඒකේ අපුරුව තමයි ගණනාථ පර්යේෂනවලට ගම්වල මිනිස්සුන්ට කියන්න්නේ

“මම අර බයෙස්කෝප් හදන වසන්ත ඔබේසේකරගේ අයිය” වසන්ත සරසවි ඇදුරන්ට, ශිෂ්‍යයන්ට එයා අදුන්වල දුන්නේ මම

“ගණනාථ ඔබේසේකරගේ මල්ලි”

පස්සේ කාලේ මම වසන්තට විහිළු කරන්න පුරුදුවෙල හිටිය

“අපුරු අයියයි මල්ලි කෙනෙකුයි කල්කටා වෙදමහත්තය තියල ගිහිල්ල තියෙන්නේ”

මහගෙදර ඉදිරි දොරවල් ඇරුනේ ගණනාථ ලංකාවේ ඉන්න කාලෙට විතරයි. ඒ වුනාට පිටිපසේ දොර ඇරල තිබුනේ. අපි නාන කාඹරයේ පෝලිම අඩු කරන්න මහගෙට ගියා. ඔහොම යන එන අතරේ වතාවක් දෙකක් ගණනාථව ඉන්නව දැක්ක. එයා කොහොමත් ගෙදර ඉන්නවනම් උදේට කඩේ යනව බඩු ගන්න. එතකොට කැරළි සහිත ගෙල තෙක් වැඩුණු සුදු කොණ්ඩය, සිහින් උස සිරුර ඍජු ගමන නිසා දුටු කෙනෙකුට මහා පුරුෂයෙක් බව දැනෙනව. අපි කරන්න දෙයක් නති නිසා කතාවට ගියේ නෑ. හැබැයි වසන්ත හැම තිස්සේම අයිය ගැන කියන නිසා අපි විහිළුවට එයා නැති තැන “ අයිය දෙයිය” කියනව. වසන්ත අයිය දොඩමළු වෙච්චි වෙලාවට එයාගෙත් අයියගෙත් ළමාවිය ගැන අපූරු කතා කියනව. අයියයි, මල්ලියි ගමේ ටීටර් නටවපු හැටි ගමේ කොලු රංචු හදාගෙන අල්ලපු ගමේ එවුන් එක්ක ගහගත්තු හැටි කියනව.

කොහොමත් ගණනාථ හැදුනේ වැඩුනේ බම්බලපිටියේ මහප්පා [ලොකු තාත්තගේ] ගෙදර. වසන්ත කියපු විදිහට මහප්පට දරුවෝ නොසිටිය නිසා අයිය එහේ දරුව හැටියට හැදුනේවැඩුනේ. නමුත් සමහර වෙලාවට අම්මාගේ මරණයෙන් පස්සේ තාත්ත දෙවෙනි විවාහයක් කර ගැනීම නව යොවුන්වියේ සිටි ගණනාථට ඔරොත්තු නොදුන් බවක් පෙනෙන්නට තිබුන. ඒත් ගමේ කොළු චන්ඩින්ගේ නායකය ගණනාථ.

“අයිය ඒ කාලේ බස්තමක් අරගෙන ගමේ ඇවිදින්නේ. එයා මේක හදවගෙන හිටියේ ඒකේ මිටින් අල්ල ගහනකොට කවුරුහරි ඇල්ලුවොත් ලී කවරය ඇතුලෙන් එහි සඟවා තිබූ කඩුව එළියට එනව” වසන්ත කීව. කොහොමත් යොවුන්වියේ පාසල් ගණනාවකට මාරුවීමේ “වාසනාව” ගණනාථට එන්නේ මේ දඩබ්බරකම නිසා බව මගේ ව්ශ්වාසය. මම දන්න විදිහට ගමේ ඉස්කොලයට අමතරව ගණනාථ් පානදුරේ සිරිල් ජැන්ස් හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල්වලට ගිය බව එයා කියල තියෙනව. හැබැයි දවසක් අපි දෙන්න කාරේ ගල්කිස්සේ මහ හෝටලයට යනකොට කාවහරි මුණ ගැහෙන්න මම එයාට ඉස්කොලේ පෙන්නුව. ගණනාථ එක පාරටම ඉස්කෝලේ දිහා බලල සුද්ද සිංහලෙන් මෙහෙම කිව්ව.

“ මේකේ ඉගෙනගත්ත කියල මම අලි පුකෙන් ඇවිල්ලයි?

සමහර වෙලාවට එයා ලොකු ඉස්කෝලෙකින්, මම ගමේ ඉස්කොලෙකින් ඇවිත් කියය මගේ හීනමානය කඩන්න කීව ද දන්නේ නැ.

එතකොට මම බිබිලේ ගුරුවරයෙක් වෙච්චි කාලේ. මම සති දෙකකට වරක් කොළඹ එනව යනව රෑ බස් එකේ. ඒ වෙනකොට වසන්ත කුලතුංගත් ලෝරිස් පාරේ “ආරාමයේ” [අපි එහෙම තමා වසන්තගේ ගෙදරට කීවේ] මහණ වෙල. මම කොළඹ ආවම සිනමාව හා දේශපාලනය ගන “කඩකඩ” ඉන්න ලොරිස් පාරේ ආරාමයට යනව. 1991 දී මුල මම එහෙම “ආරාමයට” යනකොට වසන්තල දෙන්නම නෑ. “පෙට්ටි” යන හුරතල් නාමයෙන් හැදින්වුණු හෙට්ටිආරච්චි විතරයි හිටියේ. මම වසන්තගේ ගෙයින් එන්න හැරෙන කොට මම දැක්ක ගණනාථ ඇවිත් ඉන්නව. මට ඒ වේලාවේ අරවාකුඹුර, යල්කුඹුර, උඩකිරුව, පල්ලේකිරුව, කිරමණාගොඩ හා ජනතාපුර [වැදිවෙල] ගම්වල ඇවිදපු මතකය මගේ මතකයට ආව.

මම කෙලින්ම ගියේ පියාගේ [පියතිලක සමරසිංහ] උයන රෙකෝඩ්බාර් එකට. පියාගෙන් කඩදාසියකුයි පෑනකයි ඉල්ලුවාම පියා දුන්නේ කොටුරූල් පොතකයි කාබන් පෑනකුයි. මම අතනම ඉඳන් ගණනාථට ලිපියක් ලිව්ව.

“මම බිබිලේ පළාතේ උගවන ගුරුවරයෙක්. එහේ බුද්ධාගම තියෙන්නේ පංසල්, ඉස්කෝල හා පහළ මැද පංතියේ විතරයි. පොදු ජනයාගෙන් කොටසක් වඳන්නේ ‘නෑ යකුන් නමින් හැඳවෙන නෑ දෙවියන් වූ මියගිය ඥාතීන්ට’. පහළ ඌව පුදුම තැනක්. ජන ඇදහිලිවලට කෞතුකාගාරයක්”

ලියුම ලියුම් කවරයක දාල නොම්බර 15 තැපැල් පෙට්ටියට දැම්ම. මම රෑ බිබිලේ යන්න බස් එකට නැග්ග.

මම දවාලේ ඉස්කොලේ උගන්වමින් ඉන්න කොට ජාතික ඇඳමට ඇබ්බැහි වූ ගුරු විද්‍යාල බැතිමතෙක් වූ විදුහල්පති ගුණසේකර හදිසියෙන් වගේ මම ලඟට ඇවිත් “වීරේ, උඹට ටෙලිගැරැම් එකක්” කිව. මම කඩල බැලුව. ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ලොක්ක සිංහලෙන් විදුලි පණිවිඩයක් එවල. ලියුම බලල පැය 24 යන්න කළින්.

“ මම මේ සතියේ අග එමෙරිකාව බලා යමී. ඊට පෙර වහාම ඇවිත් මා හමුවෙන්න”

ගුණසේකර ලොක්ක දන්න ප්‍රින්ස්ටන් සරසවිය නෑ. එයා හිතුවේ ඇස්වත්ත[ අවිස්සාවේල්ල] ගුරු විදුහල තමයි ලෝකේ උගන්වන එකම තැන කියල. මම එයාගේ පස්සෙන් දුවල කිව්ව, ‘ සර් පුතාට අසනීපයි මම වහාම යායුතුයි’

‘ඉක්මනට පලයං, බිබිලෙන් නෙමෙයි බදුල්ල පැත්තෙන් පලයං. මම මොකක්ම හරි කරන්නම්’

ගුණසේකර ආනාධි, කැපුවත් කොලපාට, යූඑන්පීකාරයෙක් වුනත් හොඳ මිනිහ. එතකොට මම “යුක්තියට” ලියන්නේ. මම එහෙමෙහෙ දුවන කොට නිවාඩු බේරල දෙනව.

‘සතියට දවස් දෙකක් වත් මුංට උගන්නපං. උඹ උගන්වන ඒව මතක තියෙනව’ හිනාවෙල කියනව.

මම කුරුල්ල මිටෙන් අතෑරිය වගේ අඟහරුවාදා උදේ කොළඹ. කුකුළ මල්ලේ දාගෙන වසන්තගේ ගෙදරට ගොඩ වුණා.

‘ආ උඹ ආවද මචං [වසන්ත අපිට කතා කරේ එහෙම. අපි කිව්වේ වසන්ත මහත්තය හරි මිස්ටර් ඔබේසේකර වගේ දෙකෙන් එකක්] ඊයේ උදේ අයිය උඹ ගැන ඇහුව. මම දේශපාලන කතා නොකිය යළුවෙක් කිව්ව’

මම ආපයින්ම වසන්තගේ ගෙදරින් පිටවෙල ගණනාථගේ ගෙට ගොඩ වුණා. රංජනී [ආචාර්ය රංජනී ඇල්ලේපොල ඔබේසේකර] දොර ඇරිය. උඩරට වලව්පාට වගේම කතාවත් ඒ වගේ. මම කාරණය කිව්ව.

‘ගණනාත් ආන්න අර ළමය ඇවිල්ල, ටිකක් ඉඳගන්ට.’

සරමක්, කමීසයක් ඇඳ ගත්තු මහා පුරුෂයෙක් ඉස්තෝප්පුට ආව.

‘ තමුසේ මොකට ද ජන ඇදහිලි එකතු කරන්නේ, මොනවද කරන්නේ එවැයින්?’

පොලිසියට අතට අහුවුණු හොරෙක් වගේ මම නොකියන්න හිටපු ඒවැයිම කතාව පටන් ගත්ත.

‘ මම ජවිපේ දේශපාලනය කරමින් දිස්ත්‍රික්ක දෙක තුනක වැඩ කළා. ඒ අතරේ මම මිනිස්සුන්ගේ කුල හා ඇදිහිලි ගැන නිකං තොරතුරු එකතු කලා. 1988 භීෂනය එනකොට මම ඒ කන්ඩායම සමඟ නොසිටියත් ජීවිතේ බේරගන්න ගුරු පත්වීමක් ලැබිල ඌවට ගියා. මට හවස්වරුවේ සති අන්තේ කරන්න දෙයක් නති නිසා ගම්වල ගම්මානවල ඇවිදිනව. ළමයි එක්කත් කතා කරනව එයාලගේ ඇදහිලි ගැන. දවසක් පස්වෙනි පංතියේ නිර්භීතම ළමය සොයනකොට “විළිරෑණි” ට බය නැති කෙනා තමයි බය නැති කෙනා හැටියට තෝරා ගත්තේ. ඉතින් “විළිරෑණි” ගැන හොයන කොට ගේ මැද්දේ එල්ලන “තොට මුට්ටිය” හමුවුණා. “තොට මුට්ටිය” හොයන කොට නෑයක්කු හම්බ වුණා. නෑයක්කු ගැන හොයන කොට “වැදිවෙල ජනතාපුර” කියල වෙනස් කරපු එක හමු වුණා.’

මම වැලක්වගේ කියාගෙන යන කොට ගණනාථ මාව නැවැත්තුව.

‘කොයි විශ්ව විද්‍යාලයේ ද ඉගෙන ගත්තේ?’

‘විශ්ව විද්‍යාලයක යන්න ලකුණු මදි වුණා සර්. මම ජී. ඒ. කිව්. කරන්න ගනිද්දීම දේශපාලනයට ගියා. පස්සේ පක්ෂය තහනම් කරාම කොළඹට ඇවිත් මහජන පුස්තකාලේ පාඩම් කරල බාහිරව ආරථික විද්‍යාවට විශේෂ උපාධියක් තියෙනව.’

‘ඉංග්‍රිසි දන්නව ද?’

නෑ. අපි ගම්වල ඉස්කෝලවල ඉගෙන ගත්තේ. නගරෙක ඉස්කෝලේ අවුරුදු කීපයක් හිටිය. ඉංග්‍රිසි ඉගැන්නුවේ නෑ’

‘හොඳයි. මම එමෙරිකාවට ගිය ගමන් සල්ලි එවනව. බ්‍රිතාන්‍ය කවුන්සලයට ගිහින් ඉංග්‍රිසි ඉගෙන ගන්නව.’

‘කෝ වසන්ත ගෙදර ඉන්නව ද?’

‘ඉන්නව. පොඩ්ඩක් එන්න කියන්න’

වසන්තගේ රෙකමදාරුව මට ලැබී ඇති බව වැටහුණේ එවිට ය.

Nandana Weerarathne

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.