කොළඹ LNW: 83 කළු ජූලිය අනුස්මරණය කිරීමක් ඊයේ(23) බොරැල්ල කනත්ත වටරවුම අසලදී පැවැත්විය.
උතුරු – දකුණු සහෝදරත්වය විසින් එය සංවිධානය කර තිබුණු අතර දෙමළ ජන සංහාරය අමතක නොකරන ලෙස එහිදී අවධාරණය කෙරුණි.
කළු ජූලියට වසර 42ක් සපිරෙන මොහොතේ මරා දැමූවන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවද එහිදී ප්‍රදර්ශනය කර තිබුණි.
1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීම පාදක කරගනිමින් කළු ජූලිය ඇවිලුණි.
1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා ජීප් රියකට සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් එල්ල කරන ලද බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.
එම මියගිය සෙබළුන්ගේ දේහ සම්ප්‍රදාය පරිදි ඥාතීන්ට භාර නොදී බොරැල්ල කනත්තට රැගෙන එම තුළ දකුණේ කෝලාහල ආරම්භ විය. එම සිද්ධියෙන් පසු කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹුණු අතර එය රට පුරා ඇවිලීමෙන් 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කරන ලදී.
එම කාලය තුළ රටේ පාලනය බලය හෙබවූයේ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යටතේ එක්සත් ජාතික පක්ෂය විසිනි.









