ගෘහසේවය කියන්නේ පහත් රැකියාවක් නෙවෙයි. ලංකාවේ කාන්තාව අරාබි ගෘහසේවයට යන්නේ අද ඊයෙක ඉඳලත් නෙවෙයි. මීට වඩා ආර්ථිකය හොඳ අවධියක තියෙද්දිත් කාන්තාවෝ ගෘහසේවයට ආව. ඊට පස්සේ යුරෝපය වගේ ඉන් එහාටත් ගියා. ”ආර්ථිකය මීට වඩා හොඳ” යනුවෙන් යෙදුම යොදන්නම එයාලගේ ශ්‍රමය අතිශයින් ලංකාවට බලපෑවා. ඇත්තටම ලංකාව එක වෙලාවක දිව්වේ එයාලගේ ශරීර මතින්.
ජාතික රිටි පැනීමේ ශුරිය සචිනි පෙරේරා අරාබි රටේ ගෘහසේවයට පැමිණීම ගැන මට තියෙන්නේ තරමක වෙනස් හැඟීමක්. ඒක එයා එයාගේ අම්ම වෙනුවෙන් කරන ලද කැපකිරීමක් වගේම අතිශයින් අමාරු තේරීමක්. ටිකක් වගේ බලහත්කාරී තේරීමක් (forced choice). ඒ දුප්පත්කම නිසා.
ප්‍රධාන දේ තමයි එයා ලංකාවේ ජාතික ශුරිය නම්, තවත් ඉස්සරහට යන්න සිහිනයකුත් තියනවා නම්, තව ටිකක් ඉස්සරහට යන්න අපි රජයක් හැටියට උදව්කරන්න ඕනි. මොකද එයා සුවිශේෂී දක්ෂතා දක්වන නිසා. රැකියාවක් සඳහා අරාබියේ යන්නයි ජාතික සහ අන්තර්ජාතික තරඟ සඳහා පුහුණුවෙන්නයි කාලය මදි නිසා. ඒ නිසා ඒ වගේ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනි.
තවත් දෙයක්. ජාතික මට්ටමේ තරඟ වැදුණු ක්‍රීඩිකාවක් හැටියට ඇයට ගෘහ සේවය ඇරුනම වෙනත් කුසලතාවක් තිබුනෙම නැද්ද කියන ප්‍රශ්නයත් මට එනවා. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ඇතුලේ එයා කළේ ක්‍රීඩා විතරනම් එතන එයා නිවැරදි වෙන්න පුළුවන්.
හැබැයි නිකම් හිතන්න ක්‍රීඩා එක්ක යන වෙනත් කුසලතාවක් (skills) තිබ්බ නම් එයාට මේ තැනට එන්නේ නැතුව යම් වෙනත් නිපුණතා කලාපයක් ඇතුලේ වැඩ කරන්න තිබ්බ කියල හිතෙනවා. ඒ මේක පහත් නිසා නෙවෙයි. ක්‍රීඩාව සඳහා අවශ්‍ය කාලය හොයාගන්න ඕනි නිසා.
මම මේ කියන්න හදන්නේ අධ්‍යාපනයේ තියන ගැඹුරු ගැටළු ගැන. කුසලතා සංවර්ධනයේ තියෙන්න ඕනි පැතිමාන ගැන.
වෙනත් රටකනම් අනුග්‍රාහකයෙක් සොයාගන්න තිබ්බ. ක්‍රීඩා සමාජ වලින් උදව් කරනවා. උන්ට ඇතිතරම් සල්ලිත් තියනවා. ජීවිකාව ගැන වදවෙන්න ඕනි නැහැ. ඒ නිසා අපේ රටවල් වලට සිද්ද වෙනවා මේ වගේ විශේෂ අය රැකබලා ගන්න. ඒ රටේ ක්‍රීඩාවේ අනාගත ආයෝජනයක් හැටියට. මේ වගේ අය තව ගොඩක් ඇති.
මොකක් හරි තරඟයකට ගිහිල්ල එතනින් හොරෙන් පැනල යන්නේ නැතුව සචිනි පෙරේරා මෙහෙම ගිය එක නම්බුකාරයි. ඒ නිසාම තමයි අපි ඇයට උදව් කරන්නත් ඕනි. ඒ නිසාම තමයි ඇය සුවිශේෂ වෙන්නෙත්.
ගිය තැන කොහේ උනත් කමක් නැහැ එතන අලුත් විශ්වයක් හදාගන්න. ඒ අළුත් විශ්වය නිසාම දැනටත් ඔයාට ගෝලීය අවධානය ලැබෙමින් පවත්න්නේ.
ඔයාගේ සිහිනය තවත් ඉස්සරහට අරන් යන්න..
~ මහේෂ් හපුගොඩ
RN