සංස්කාරක (LGBTIQ)
ජූලි 26, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කරන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත්කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, සහ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතා කෙටුම්පත, අප මීට පෙර අවස්ථාවක සඳහන්කළ පරිදි ම, මැතිවරණ උණුසමක් මධ්‍යයේ යළි කරළියට පැමිණ තිබේ.
සමාජයේ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත්වන කරුණු හා සංවාද ඡන්ද ගුණ්ඩුවක් බවට පත්වන ආකාරය අප මීට පෙර අවස්ථා ගණනාවකම දැක තිබේ. 2015, 2017, 2018 සහ 2019 මීට කදිම නිදසුන් සපයයි.
මෙහි පවතින බරපතලභාවය උත්සන්න වන්නේ ආගමික මැදිහත්වීම ආන්තීකරණයට ලක්වන පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට එරෙහි ව හරස්වන විට දී බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත්කළ පනත් කෙටුම්පත, සහ රජය විසින් ඉදිරිපත්කළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ අතිශය භයානක තත්ත්වයක් ඇතිකරනු ඇති බවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කතෝලිකයන් වශයෙන් විවාහයක් ඇතිවිය යුත්තේ පිරිමියකු සහ කාන්තාවක අතර බව ඔවුන් විශ්වාස කරන බවත්, පිරිමින් දෙදෙනෙකු අතර හෝ කාන්තාවන් දෙදෙනෙකු අතර විවාහයක් සිදුවිය නොහැකි බව උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකාව තුළ කාන්තාවක් හා පිරිමියකු එක්වීම මත ඇතිවන පවුුල් ඒකකය සමාජයේ පදනම සකස්කොට ඇති බවත්, සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමෙන් සමාජීය විනාශයක් ඇතිවනු ඇති බවත් පවසන කාදිනල් හිමිපාණෝ, සමරිසි හැඟීම් පවතින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍යතාවයක් පවතින නමුත් සෑම පුද්ගලයකුටම තමා කැමති තීරණයක් ගැනීම සඳහා නිදහස ලබා දී සමරිසි විවාහය නීත්‍යානුකූල කිරීමට තමා විරුද්ධවන බව හා එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදාය උල්ලංඝනය කරන බව ද පැවසූහ.
කෙසේවෙතත්, කොළඹ අගරදගුරු කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය උන්වහන්සේ නියෝජනය කරනු ලබන වතිකානුවේ නායක ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය හා ගැටෙන බවක් නිරීක්ෂණයකළ හැකිය.
විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සඳහා සානුකම්පිත සහ පිළිගැනීමට ලක්කරන ප්‍රකාශ රාශියක් නිවේදනය කර ඇති ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සමලිංගික පුද්ගලයන් දෙවියන් වහන්සේගේ දරුවන් බවත්, දෙවියන් වහන්සේ ඔවුනට ආදරය කරන බවත්, ඔවුන් නොසළකා හැරීම පාපයක් බවත්, ඒ සැමට වඩා ඔවුන් අපරාධකරුවන් බවට පත්කරන නීති අයුක්තිසහගත බවත් මෑතක දී නිවේදනය කළහ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සාපරාධීකරණය කරන නීති සංශෝධනය කොට ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කොට ඇති පනත් කෙටුම්පත් කතෝලික සභාවේ උත්තරීතර නායක ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මතය හා සැසඳෙද්දී, එය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පමණක් වැරදි ක්‍රියාවක් බවට පත්ව තිබේ.
ගරු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමන දෙකක් ලබා දී තිබෙන පසුබිමක, එනම් දොළවත්ත මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් මඟින් සම්මතකොට නීතියක් බවට පත්කළ හැකි බවට ප්‍රකාශ වී තිබෙන, හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතා කෙටුම්පතේ ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ආදී කරුණු මත පදනම්ව පුද්ගලයන්ට ස්වාධීන තීන්දු ගැනීමට ඇති අයිතියට අදාළ වගන්ති අනුමතකළ නොහැකි බවට ප්‍රකාශ වී තිබෙන පසුබිමක, ‘සමලිංගික විවාහයක්’ අල්ලා ගනිමින් ඇතැම් ආගමික නායකයන් විසින් නටන නාඩගම කුමක් ද යන්න අපට නම් නොවැටහේ.
තව ද උක්ත පනත් කෙටුම්පත් දෙකෙන් එකකවත් ‘සමලිංගික විවාහ’ නීත්‍යානුකූලකළ යුතු බවට සඳහනක් කර නොමැති බව ද සඳහන්කළ යුතු ය. සමාජභාවී සමානාත්මතාවය තුළින් සමරිසි පුද්ගලයන් ට විවාහ ගිවිස ගැනීමට අයිතියක් ලබා දෙන බව පැවසීම හුදෙක් මානසවිචාරයක් පමණි.
ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවන් වෙනුවෙන් කටයුතු කරන ප්‍රජා ක්‍රියාකරුවන්, සංවිධාන, හෝ ඔවුනට නන් අයුරින් සහයෝගය ලබා දෙන කිසිඳු පාර්ශවයක් විසින් සමරිසි විවාහ ශ්‍රී ලංකාවතුළ නීත්‍යානුකූල කර දෙන මෙන් ඉල්ලා නොමැත; ඉල්ලා තිබෙන්නේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කරන, එකී නීති භාවිතා කරමින් සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට හිංසා, පීඩා සිදුකිරීම සහ අත්අඩංගුවට ගැනීම සාධාරනීකරණය කරන නීතීන් ඉවත්කොට ඔවුනට ගෞරවණීය පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීම සඳහා අවශ්‍ය නීතිමය වටපිටාව සකස්කර දෙන මෙන් පමණි.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදාය, හෝ සංස්කෘතියතුළ සමරිසි විවාහ සැබවින් ම පිළිනොගන්නේ ද යන්න අප විසින් ප්‍රශ්නකළ යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලේඛනගත හා මුඛවහරේ සාක්ෂිවල කිසිඳු ස්ථානයක සමාන ලිංගයේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේම සබැඳියාවක් හෝ පවුල් ඒකකයක් පිළිනොගන්නා බවට සඳහන් ව නොමැත. බහු-පුරුෂ විවාහ, බහු-භාර්යා විවාහ, එකගෙයි කෑම ආදී නානාවිධ ද්වීපුද්ගල සබඳතාවලින් (monogamous) ඔබ්බට ගිය විවාහ සංස්කෘතියක් පැවති රටක සමාන ලිංගයේ පුද්ගලයන් පවුල් ජීවිත ගත නොකළේ යැයි පැවසීමට කිසිවකුට හැකියාවක් නොමැත. බහු-පුරුෂ විවාහ, බහු-භාර්යා විවාහතුළ සමාන ලිංගයේ පුද්ගලයන් එක් අයකුට වඩා සිටි බැවින් ඔවුනොවුන් අතර ද ලිංගික ක්‍රියා සිදුනොවූයේ යැයි පැවසීමට කිසිවකුට හැකියාවක් නොමැත.
ශ්‍රී ලංකාවේ ජන සම්ප්‍රදාය තුළ ‘සමලිංගික විවාහ’ අනුමත නොකරන බවට කෑ මොර දෙන පාර්ශවයන් විසින් අමතකකළ කරුණක් තිබේ. එනම්, ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාවට ම ආවේණික වූ සුළුතර ලිංගික අනන්‍යතාවයක් ඇති ප්‍රජාවක් ජීවත්වන බවයි. මොවුන් තමා හඳුන්වාගන්නේ ‘නච්චි’ ප්‍රජාව ලෙසවන අතර, මොවුන්ගේ ආරම්භය 18වන සියවසේ අවසාන කාලසීමාව දක්වා වූ අතීතයකට දිවයයි.
මෙම ප්‍රජාවන් ශ්‍රී ලංකාවේ විෂමරිසි වූ බහුතරයක් සමඟ සුහදව හා සාමකාමීව කාලාන්තරයක් පුරාවට ම ජීවත් වී ඇති අතර, නීතිමය පසුබිමක් නොමැති වූව ද තමා විසින් තෝරාගනු ලැබූ පිරිමි සහකරුවකු සමඟ ‘ගැහැණිය හා පිරිමියා’ ලෙස පවුල් ජීවිත ගතකර ඇති බව ක්‍රියාකරුවෙක් LNW වෙත පැවසුවේය.
තවත් ක්‍රියාකාරිනියක පැවසූ ආකාරයට, නච්චි ප්‍රජාව, ඉන්දියාවේ ‘නෝච් කෙල්ලන්’ හෙවත් මිනිසුන්ගේ දෑස් පිනවීම සඳහා නර්තනයේ යෙදුණු කාන්තා ඇඳුම් ඇඳි පිරිමින්ගෙන් පැවතගෙන එන ප්‍රජාවක්වන අතර, ශ්‍රී ලංකාවේ බිලිංවත්ත, කොටහේන, මොරටුව, මුරවත්ත, දෙහිවල, ගල්කිස්ස, කඳාන, මීගමුව, කදිරාන ආදී ප්‍රදේශවල මොවුන් ජීවත් වී තිබේ. ඔවුන් එවකට තමා කැමති පිරිමි සහකරුවකු සමඟ ‘ගැහැණිය හා පිරිමියා’ ලෙස පවුල් ජීවිත ගතකර ඇති අතර, කිසිඳු අසල්වැසියකුගෙන් හෝ වෙනත් පුද්ගලයකුගෙන් ඔවුනට හිංසා-පීඩා එල්ල වී නොමැති බවත්, අභියෝගවලට මුහුණ දුන්නේ නම් ඒ නීතිය ක්‍රියාත්මකකරන පොලිස් නිලධාරීන්ගෙන් බවත් ඈ පෙන්වා දුන්නාය.
ඒ අනුව ‘සමලිංගික පවුල් ඒකක’ සංස්කෘතිකව පිළිගත නොහැකි බවට ගෙන එන තර්කයට වලංගුභාවයක් නොමැති බවයි ඈ පෙන්වා දුන්නේ.
“සංස්කෘතිය කියන්නේ මොකද්ද? සංස්කෘතිය කියන්නේ, ආකල්ප, වටිනාකම්, විශ්වාස, කලාව, විද්‍යාවන්, සංකල්ප, සහ චින්තනයේ පුරුදු මත පුද්ගලයන් කණ්ඩායමක් විසින් ජීවත්වන ආකාරයටයි. එය කාලාන්තරයක් පුරාවට පැවතිලා, තවදුරටත් ඇසට නුපුරුදු දෙයක් නොවන තත්ත්වයට පත්ව තිබෙනවා නම් එය සංස්කෘතියේ කොටසක් බවට ඉබේම පත්වනවා. ඉතිං, මේ වගේ පුද්ගලයන් සියවස් ගණනාවක් පුරාවට පවුල් ඒකක විදියට අපේ රටේ ජීවත් වුනා නම් ඒක සංස්කෘතියට විරුද්ධ වන්නේ කොහොමද?” තවත් ප්‍රජා ක්‍රියාකරුවෙක් අප මේ පිළිබඳවකළ විමසීමක දී පැවසුවේය.
“අපි අතර බෙදීම් ඇති කළේ බ්‍රිතාන්‍ය යටත් විජිත නීතිය. ශ්‍රී ලංකාව කියන්නේ දැන් ස්වාධීන රාජ්‍යයක්, එරට පුරවැසියන් ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තබෙනවා. අන්න ඒ නිසායි අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා දෙයක් තියෙන්නේ. අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා ආචාර කරනවා. නමුත් මේ සමලිංගික විවාහ සංස්කෘතියට පටහැනියි කියන කතාව සම්බන්ධයෙන් තවදුරටත් සංවාදයක් අවශ්‍යයි,” ඔහු අවධාරණය කළේය.
විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වැනි නීති අවභාවිතා කිරීමේ සන්දර්භයතුළ එකී නීති සංශෝධනය කිරීම සඳහා දොළවත්ත මන්ත්‍රීවරයා විසින් උක්ත පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත ඉදිරිපත් වූයේ 2023 වර්ෂයේ ය. නමුත් ඊට විරුද්ධව විවිධ පාර්ශවයන් විසින් කෑ මොර දීම සිදුවන්නේ දැන් ය. මැතිවරණයක් ද ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබෙන පසුබිමක මෙම සංවාදය තීව්‍ර වී තීබීම පිළිබඳව අප පුදුම නොවිය යුතු ය. එය ඉතිහාසය යළි ඉතිහාසය විසින්ම පිබිදවීමක් වැනි ය.
කෙසේවෙතත්, වතිකානුව විසින් සමරිසි පුද්ගලයන් අපරාධරුවන් කරන නීති අයුක්තිසහගත බව ප්‍රකාශ කරද්දී වතිකානුව නියෝජනය කරන ශ්‍රී ලාංකීය ආගමික නායකයන් විසින් ඊට පටහැනි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සැබවින් ම ප්‍රශ්න සහගත ය.
මීට අමතරව බෞද්ධ මහනායනකවරුන් විසින් ද මෙකී පනත් කෙටුම්පත්වලට විරෝධය එල්ල කර තිබේ. යටගිය දවස මෙන් රට පාලනය කරනු ලබන්නේ ආගම විසින් නොවේ. සියලු පුද්ගලයන් නීතිය හමුවේ සමාන විය යුතු ය. ගරු අධිකරණය විසින් පැහැදිලි නිගමනයන් දෙකක් මේ පිළිබඳව ලබා දී තිබිය දී, ඊට අනුකූලව ශ්‍රී ලංකාවේ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් අතර එක් කොටසක්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් දෙස අප බලන කෝණය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ.
වරදක් සිදුනොකරන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය මත අත්අඩංගුවට පත්වනවා නම්, වෙනස්කොට සැලකීම්වලට ලක්වනවා නම්, හා ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙනවා නම්, ඊට එරෙහිව පුරවැසියන් ලෙස අප එක්ව හඬ අවදිකළ යුතු ය. එය මෙතෙක් සිදුනොකළේ නම් දැන්වත් කළ යුතුම ය.