Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.

ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.

ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් “ගාස්තුවක්” අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන “ගාස්තුව” ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.

දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා.

එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ.

ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ.

කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.

වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා.

තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.

තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.

ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන “ගාස්තුව” තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි.

“ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?”

විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.

ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි.

ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.

-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.

-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.

-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.

-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.

-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.

ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.

කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.

කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.

ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.

ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.

දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ.

ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.

ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.

ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.

කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි.

නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි.

ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.

සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.

වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.

හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.

ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක “කාලය කන” සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.

දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර ඔවුන් විකුණන්නේ කාලයයි.

වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,

ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා.

මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා “කළු කඩෙන්” ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.

පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.

~ ඉකොනොමැට්ටා

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.