ගිය ආණ්ඩුවට ගම්මන්පිල කරපු “උදව්ව” මේ ආණ්ඩුවට නන්දලාල් කරයිද ?

Date:

ලබන මාසයේ මැද භාගයෙන් පසු රටට ඉන්ධන ගෙන්වා ගැනීම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

ඒ, පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

සති කිහිපයකට පසු මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට පෙට්‍රල් සහ ඩීසල් ලැබෙමින් තිබේ. වාහන අංක තහඩුවල අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම දැනට කෙරෙමින් පවතින අතර අගෝස්තු 01 වනදා සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

පෝලිම් පවතිද්දීත්, ඉහත කී ක්‍රම දෙකම සම්බන්ධයෙන් යම් යම් විවේචන පවතිද්දීත් ජනතාව නැවතත් සාමාන්‍ය එදිනෙදා කටයුතුවලට හැඩගැසෙමින් සිටිති.

එවැනි මොහොතක තවත් සති දෙකකින් ඉන්ධන සැපයුම නතර විය හැකි බවට මහබැංකු අධිපතිවරයා විසින් අනාවැකි කීම යනු ජනතාවට නැවතත් පෝලිම්වල පොරකකා ඉන්ධන රැස් කිරීමට අනුබල දීමකි. සැබැවින්ම මෙයින් කලබලයට පත්වන ජනතාව සිදුකරන්නේ මේ සතිදෙක තුළ හැකිතාක් පෙට්‍රල් – ඩීසල් නිවෙස්වල එකතුකර තබා ගැනීමට උත්සාහ කිරීමය. එයින් සිදුවන්නේ ලැබෙන සීමිත ඉන්ධන ප්‍රමාණයත් නිවෙස්වල ගබඩා වීමත් හදිසි, අත්‍යාවශ්‍ය අයට පවා ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීමත් ය. නන්දලාල් වීරසිංහ මහතා මේ බව නොදැන සිටිනවා වන්නට බැරිය.

ඒ ප්‍රකාශයත් සමගම සිහියට නැඟෙන්නේ හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ක්‍රියාකලාපයයි. ඒ මහතා එම අමාත්‍ය ධුරය දැරූ අවසන් මාස කිහිපයේම කළේ අහවල් දිනට ඉන්ධන නැතිවෙනවා, දැනට පවතින තොග ප්‍රමාණවත් වන්නේ දින තුන හතරකට පමණයි, යනාදී වශයෙන් වරින්වර ප්‍රකාශ නිකුත් කිරීමය. ජනතාව ඉන්ධන පෝලිම්වලට එක්ව බූලි පුරවන්නට පුරුදු වුණේ ගම්මන්පිල මහතාගේ ඒ කෙරුවාවට පසුය.

ඇත්තන්ම බලශක්ති අමාත්‍යවරයා වශයෙන් ගම්මන්පිල මහතාගේ වගකීම වී තිබුණේ ජනතාව අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා අදාළ අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අසීරුවෙන් හෝ මෙරටට ඉන්ධන තොග ගෙන්වීමට කටයුතු සම්පාදනය කිරීමය. එහෙත් ඔහුගේ දේශපාලන වුවමනාව අනුව ඔහු කළේ “මම තමයි තෙල් නැතිවෙන බව මුලින්ම කිව්වේ” කියමින් තෙල් නැතිවීමේ වරද ආණ්ඩුවේ අනෙකුත් අය පිට පටවා තමන් ජනතාවගේ පැත්තේ බව පෙන්නුම් කිරීමට උත්සාහ කිරීමය. ඒ “උදව්ව” අවසන් වුණේ සමස්ත ආණ්ඩුවම කඩා වැටීමෙනි.

අද වනවිට මේ රටේ සිටින්නේ එදා ගම්මන්පිල බලශක්ති ඇමති කාලයේ සිටි ජනතාවත් නොවේ. දැන් සිටින්නේ මහපාරේ බැස අරගල කළ, අරගල කරන ජනතාවකි. එවන් ජනතාවකට වත්මන් මහබැංකු අධිපතිවරයා කරන ප්‍රකාශ අනුව අපට නැඟෙන ප්‍රශ්නය වන්නේ “ගිය ආණ්ඩුවට ගම්මන්පිල කරපු “උදව්ව” මේ ආණ්ඩුවට නන්දලාල් කරයිද ?” යන්න ය.

~ දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...