සමරිසි විවාහ: ‘කාදිනල් උන්නාන්සේ එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි, අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව’

Date:

“මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ?”, මේ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමරිසි විවාහ සම්බන්ධයෙන් පසුගිය දා සිදු කළ ප්‍රකාශයේ කොටසකි.

උන්වහන්සේගේ මෙම ප්‍රකාශය සිදුවන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සිදු කළ නිල සංචාරය අවසානයේ සමලිංගික සබඳතා පිළිබඳව කළ ප්‍රකාශයකින් අනතුරුව වීම ද විශේෂත්වයකි.

“මගේ අවබෝධය අනුව පසුගිය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද සමලිංගික සබඳතා අපරාධයක් නොවන බව දැක්වෙන පනත් කෙටුම්පත නීතිගත කිරීමට ගන්නා උත්සහයන් මම සාදරයෙන් පිළිගනිමි,” ඔහු එහිදී පැවසීය.

සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන පිරිස් කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයට විරෝධය පළ කර ඇති අයුරු ද සමාජ මාධ්‍යවල නිරීක්ෂණය විය.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් හිමි “සමාව ගත යුතු බව ය.”

නමුත් උන්වහන්සේට එවැනි ප්‍රකාශයක් කිරීම සඳහා “සම්පූර්ණ” අයිතියක් ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ ය.

මානව හිමිකම්, ලිංගික අධ්‍යාපනය, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන Équité සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආදිල් සුරාජ් විමුක්ති සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සඳහන් කර තිබිණි: “කාදිනල්ගේ වෛරී ප්‍රකාශ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න එකතු වෙන්න කැමති කවු ද? ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන්න යන්නේ.”

මේ උන්වහන්සේගේ ප්‍රකාශය, ආණ්ඩුවේ ස්ථාවරය සහ ඒ සම්බන්ධයෙන් පළ වන ප්‍රතිචාර පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

කාදිනල් හිමිගේ ප්‍රකාශයේ සඳහන් වූයේ කුමක් ද?

බේරුවල, සාන්ත ආනා දේවස්ථානයේ ජූලි 26 වන දා පැවති ආගමික වැඩසටහනකදී කාදිනල් හිමියන් සමරිසි විවාහ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පහත පරිදි වේ.

“අද තරුණ තරුණියෝ විවාහ ජීවිතය ගැන භාවනාවක් නොකර, හරියට ඒක තේරුම් නොගෙන, ඕනෑවට එපාවට, තමන්ගේ හැඟීම්වලට වහල් වෙලා, හැඟීම් අනුව විවාහ ජීවිතයට තමන්ගේ සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේ කටයුත්තේ යෙදී තිබෙනවා.

ඒ නිසා බොහෝ දුරට තාවකාලික අත්දැකීමක් පමණක් බවට විවාහ ජීවිතය හුරු වෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද මනුස්ස සමාජයේ මේ දූෂිත, විවිධ ආකල්ප, දූෂිත ආකල්ප සමාජය තුළට ගලා එමින් පවතිනවා.

ඒ නිසා බොහෝ දුරට තාවකාලික අත්දැකීමක් පමණක් බවට විවාහ ජීවිතය හුරු වෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද මනුස්ස සමාජයේ මේ දූෂිත, විවිධ ආකල්ප, දූෂිත ආකල්ප සමාජය තුළට ගලා එමින් පවතිනවා.

පිරිමි පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා. ගැහැනු ගැහැනු දෙන්නෙක් විවාහ වෙනවා කියලා අන්න එහෙම සමලිංගික විවාහ පවා විදේශීය රටවල්වල සිදුවෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන නිසා, ලංකාවෙත් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්නට යම් යම් සංවිධාන හා ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා.

මේක මානව අයිතිවාසිකමක් කියලා කියනවා. මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ? ගැහැනු දෙන්නෙක් කොහොම ද දරුවෙක් හදන්නේ? අද මිනිස් සමාජය ගිහිල්ලා තියෙන ගමන් මාර්ගය නිසා මේ විවාහ සංස්ථාව සම්පූර්ණයෙන් ම, ඉතාමත් ම දූෂිත තත්ත්වයකට ඇද දමන ක්‍රමවේදයක් ලෝකය තුළත් අපේ රට තුළත් ඇති වෙමින් පවතිනවා. විවාහය කියන්නේ සක්‍රමේන්තුවක් කියන එක, දෙවියන් වහන්සේ හදන දෙයක් එය අබිරහසක්, එය දේව සැලැස්මේ කොටසක් කියලා තේරුම් ගන්නට බැරි භෞතික පැවැත්ම ගැන පමණක් හිතන ආයතනක්, සංස්ථාවක් ලෙස සලකන නිසා මිනිස් සමාජය අද මේ තත්ත්වය උදා වේගෙන එනවා.”

‘කාදිනල් උන්නාන්සේ ලංකාවේ සමකාමී ප්‍රජාවගෙන් සමාව ගන්න ඕනේ’

ශ්‍රී ලංකාවේ සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගෙන් බීබීසී සිංහල කාදිනල් හිමියන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව විමසීය.

“කාදිනල් හිමි කියන්නේ සමරිසි විවාහයක් ගැන. මම දැනුවත්ව කවදාවත් ලංකාවේ සමරිසි ප්‍රජාව සංවිධානාත්මකව සමරිසි විවාහයක් ඉල්ලලා නැහැ. ඒකට හේතුව තමයි ඒවා ගැන හිතන්නවත් කලින් අපිට කරන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා අපේ ප්‍රජාව අපරාධකාරයන් හැටියට සලකන ක්‍රමවේදය අවසන් කර ගන්න,” ඔහු ඊට පිළිතුරු දෙමින් පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් 365, 365A වගන්ති ඉවත් කර ගත යුතු බව ය.

ගිහියන්ගේ ජීවිතවලට නීති දැමීමට පෙර ඔවුන් තම ආයත තුළ පවතින ගැටලු විසඳා ගත යුතු බව ඔහු පැවසීය.

“ඒ අය ගිහියන්ගේ ජීවිතවලට නීති දාන එක, අපි ලිංගිකව හැසිරෙන්න ඕනේ කොහොම ද කියන එක සම්බන්ධයෙන් ඒ ගොල්ලෝ අපේ වැඩවලට ඇඟිලි ගහන්න අවශ්‍ය නැහැ. ඒ අයගේ වැඩක් බලාගෙන හිටියා නම් හොඳයි කියලා තමයි.

එහෙම ඇඟිලි ගහනවා නම් ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා. කතෝලික පූජකයෝ වේවා, බෞද්ධ පූජකයෝ වේවා, ඉස්ලාම් පූජකයෝ වේවා. මේ හැමෝගෙ ම ආයතන තුළ සිද්ධ වෙනවා කැමැත්තකින් තොර ලිංගික සම්බන්ධතා විශේෂයෙන් ම බාල වයස්කාරයන් සම්බන්ධයෙන්.

එහෙම නම් මේ ආයතනවලින් බලන්න ඕනේ එහෙම දේවල් වළක්වාගන්න මොක ද කරන්නේ කියන එක. ඒ අය අවධානය යොමු කරන්න ඕනේ ඒ දේවල් ගැන මිසක් අපේ ලිංගික ජීවිතය ගැන නෙවෙයි,” ආචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

ඔහු අවධාරණය කළේ, කාදිනල් හිමි අදාළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතු බව ත්, ඒ සම්බන්ධයෙන් සමකාමී ප්‍රජාවගෙන් සමාව අයැදිය යුතු බව ත් ය.

“මම පැහැදිලිව ම කියන්නේ කාදිනල් උන්නාන්සේ එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව. කාදිනල් උන්නාන්සේ ලංකාවේ සමකාමී ප්‍රජාවගෙන් සමාව ගන්න ඕනේ. අපි ඒ අයට කරපු වරදක් නැහැ. ඒ නිසා මේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගෙන සමාව ගන්න ඕනේ.”

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම සඳහා කතෝලික පූජකවරුන්ට අවසර දුන් කෙනෙකු වුව ද “අපේ කාදිනල් ඉතා ම පරණ හණමිටි අදහස් තියෙන කෙනෙක්,” යැයි ඔහු තවදුරටත් බීබීසී සිංහල වෙත පැවසීය.

නඩු තීන්දුව

මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට පක්ෂව අතුරු පෙත්සම් ඉදිරිපත් කළ ක්‍රියාකාරීන් අතරින් පිරිසක් [විසාකේස දකුණු පස සිට දෙවනුව සිටියි]

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්තිවලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදක් වන අතර ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වයි.

එකඟතාව මත ඇතිවන ලිංගික සබඳතා ද සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙක ම යොදාගෙන ඇති අතර මෙම අපරාධයකට වරදකරු වන පුද්ගලයෙකු වසර දහයක් දක්වා සිර දඬුවමකට යටත් කළ හැකි ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය හරහා “ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම” සාපරාධීකරණය කරනු ලබන අතර මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට එරෙහිව භාවිත කරනු ලබන්නේ ජනතාව නොමග යැවීමේ චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතුවලදී ය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මතයන් හා නොගැළපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයින් බිය වැද්දීම ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධාන ද බොහෝ විට යොදා ගෙන තිබේ.

ඒ අනුව, සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සලකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත කටුයුතු කළේ ය.

එය ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ අභියෝගයට ලක් වුණු අතර සමරිසිභාවය නිර්අපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය එවකට කතානායකවරයාට දැනුම් දුන්නේ ය.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ද එහි එක් පෙත්සම්කරුවෙකු විය.

‘ලිංගික අනන්‍යතා මත කිසි කෙනෙකු හුදෙකලා බවට පත් වූ පුරවැසියන් නොවිය යුතුයි’ – ජනපති

ජනාධිපතිවරණයට පෙර බීබීසී සිංහල සමග වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර එහිදී සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පළ කළේ මෙවැනි අදහසකි.

“අපි හිතන්නේ එකයි. තමන් කතා කරන භාෂාව අනුව, තමන් අදහන ආගම අනුව, ලිංගික අනන්‍යතාවන් මත කිසි කෙනෙකුට දෙවන පෙළේ පුරවැසියන් හෝ හුදෙකලා බවට පත් වූ පුරවැසියන් හෝ නොසලකා හරින පුද්ගලයින් බවට පත් නොවිය යුතුයි කියන ස්ථාවරය තමයි අපිට තියෙන්නේ. ඒකට යම් නීතිමය රැකවරණයක් අවශ්‍ය නම් ඒක සමාජය තුළ ඇති කරන ලද විධිමත් සාකච්ඡාවක් හරහා තමයි ඇති කළ යුතු වන්නේ,” ජනාධිපතිවරයා පැවසීය.

‘උන්වහන්සේට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒක කියන්න’ – අධිකරණ ඇමති

කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමරිසි විවාහ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් ද බීබීසී සිංහල විමසීමක් කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. උන්වහන්සේට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒක කියන්න. මගේ මතය කියන්නෙත් නැහැ,” යනුවෙනි.

සමසිරි විවාහ සඳහා නීත්‍යනුකූල පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබේ ද යන්න පිළිබඳව ද එහිදී බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.

“සමලිංගික විවාහ නීතිගත කිරීම වගේ දේවල් අපි ආරම්භ කරලා නැහැ. එහෙම දෙයක් නැහැ. මම දන්නේ නැහැ ඒක කොහෙන් ද එළියට එන්නේ කියලා.

නමුත් ආන්තික සමාජ කණ්ඩායම්වලට සාධාරණ සහ සමාන ලෙස සලකන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. [සමරිසි, සමලිංගික කොටස් ඇතුළුව] ඔව්. ඔක්කො ම මනුස්සයෝ නේ. ඒ මනුස්සයෝ ඔක්කොටම සාධාරණව සලකන්න ඕනේ. ඒ අයත් මනුෂ්‍යයෝ කියන පදනමින් යුතුව.

නමුත් සමලිංගික විවාහ නීතිගත කිරීම හෝ ඒ වගේ කිසිදු පනතක සාකච්ඡාවක් නැහැ,” ඔහු අවධාරණය කළේ ය.

‘කටින් කෙළ ගහනවා වගේ වචන එළියට දාන්න හොඳ නැහැ’

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් බීබීසී සිංහල වෙත පැවසුවේ, ආගමික නායකයින් යනු “විශාල බලයක්” ඇති පුද්ගලයින් බව ය.

“කාදිනල් උන්නාන්සේ ගිහිල්ලා මයික් එකක් ඉස්සරහා හිට ගත්ත ගමන් [කියන දේවල්] ලක්ෂ ගණන් මිනිස්සු බලනවා. ඒ අයගේ කටින් එන එක වචනයකට ලොකු බලයක් තියෙනවා. ඒ වගේ ම තමයි මහානායක හමුරුවරුත්. ඒ අය කටින් කෙළ ගහනවා වගේ වචන එළියට දාන්න හොඳ නැහැ. මේකේ ප්‍රතිඵලය මොකක් ද කියලා හිතලා ඉතා ප්‍රවේසමෙන් වචන එළියට දාන්න ඕනේ. අපි වගේ ගිහියන්ට තියෙන හික්මීමවත් ඒ අයට තියෙන්න ඕනේ,” ඔහු පැහැදිලි කළේ ය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය;

මම තවත් නඩු තීන්දුවක පෙත්සම්කරුවෙක්. ඒක කාදිනල් උන්නාන්සේ හොඳට දැන ගන්න ඕනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩවෙච්ච් බවට පාර්ශව 13ක් පෙත්සම් දානවා. ඒ 13 එක්කෙනෙක් මම. මගේ පෙත්සම යන්නේ කසුන් පුස්සෙවෙල මාධ්‍යවේදියත් සමග. අපේ පෙත්සම් දෙකේ පැහැදිලිව තියෙනවා, මේ වැරැද්ද කරපු යට විරුද්ධව නඩු පවරන්න නීතිපතිවරයාට නියෝග කරන්න කියලා අපි ඉල්ලනවා. ඒක ඔය කාගේවත් පෙත්සම්වල තිබුණේ නැහැ.

කාදිනල් උන්නාන්සේ වටහා ගන්න ඕනේ කාරණය තමයි, එයා බයිබලය විතරක් නම් කියවලා තියෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කියවන්න ඕනේ. ඒ වගන්තිය [12 වන වගන්තිය] උන්නාන්සේට හොඳයි පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් ආරක්ෂා කර ගන්න. හැබැයි ඒ වගන්තිය ම උන්නාන්සේට හොඳ නැහැ සමරිසි පුද්ගලයින්ව ආරක්ෂා කර ගන්න. උන්නාන්සේලා දැන ගන්න ඕන දේ තමයි සමානාත්මතාව කියන දේ ඒ අයට ඕනේ වෙලාවට පෙරලා, අයින් කරලා, කපලා, කොටලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. එක්කෝ ඒක තියෙන්න ඕනේ. නැත්නම් ඒක නැති වෙන්න ඕනේ.

බීබීසී සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  ක්‍රීඩා අමාත්‍යවරයාගේ...

ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න්...

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...