සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ දකුණු දිග පිහිටි කියුෂු (Kyushu) දූපතේ කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට ඊයේ (28) දහවල් බලපෑ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීන් පවසයි.
මෙම ආපදාවෙන් සිය ගණනක් තුවාල ලබා ඇති අතර, ඉන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) සඳහන් කළේ බදාදා උදෑසන වන විට රික්ටර් මාපකයේ 1 සිට 4 දක්වා ප්‍රබලත්වයෙන් යුත් පසු කම්පන 60කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. භූමිකම්පාවෙන් අනතුරුව නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පැය දෙකක් ඇතුළත ඉවත් කර තිබේ.
කෙසේ වෙතත්, නොගැඹුරු භූමිකම්පාව හේතුවෙන් භූගත ක්‍රියාකාරකම් තවදුරටත් සක්‍රීයව පවතින බැවින්, ඉදිරි සතිය තුළ තවත් ප්‍රබල භූමිකම්පා සහ නායයෑම් ඇතිවීමේ අවදානම පවතින බව JMA ජනතාවට අනතුරු අඟවා ඇත.
ආපදා සහන මෙහෙයුම් සඳහා ජපාන ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් 3,600ක් යොදවා ඇති අතර, ගුවනින් හානිය තක්සේරු කිරීම සඳහා ගුවන් යානා 20ක් ද යොමු කර ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම අසල්වැසි ප්‍රාන්තවලින් පැමිණි සිය ගණනක් සහන සේවකයින් ද බලපෑමට ලක් වූ ප්‍රදේශවල මෙහෙයුම්වල නිරත වෙමින් සිටිති.
අඟහරුවාදා රාත්‍රිය වන විට නිවාස 50,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට තිබූ අතර, 140,000කට අධික පිරිසකට ජල සැපයුම ද අහිමි වී තිබිණි.
අද (29) දිනයේ එම කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, අධික ආර්ද්‍රතාවය හේතුවෙන් විදුලිය හා ජලය නොමැති ජනතාව තාප ආඝාතයට ගොදුරු වීමේ අවදානම ද ඉහළ ගොස් තිබේ.
පසු කම්පන පිළිබඳ බිය හේතුවෙන් බොහෝ පිරිසක් තම නිවාස වෙත නොගොස්, රාත්‍රිය මෝටර් රථ තුළ ගත කළ බවයි විදෙස් මාධය වාර්තා කරන්නේ,

