ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂකයා නම් කරනවා – රැස්වීමෙන් පසු පොහොට්ටු මහලේකම් කියූ කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ නම් කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වුණා. මෙය විශේෂයෙන්ම රැස්කරලා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතුද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට. එහිදී යෝජනාවක් ඉදිරිපත් කළා පක්ෂය වෙනුවෙන් පක්ෂයේම පොහොට්ටුව ලකුණ යටතේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ කාරණය සම්බන්ධයෙන් යම්කිසි අදහස් දැක්වීමක් කළා. කිහිපදෙනෙක් ඊට විරුද්ධව අදහස් දැක්වුවා, අති බහුතරයක් ඊට පක්ෂව අදහස් දැක්වුවා. ඒ අනුව මත විමසුමක් කළා. එහිදී ඉතා අති බහුතරයෙන් සම්මත වුණා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළයුතු බවට. ඊට අමතරව මේ තීරණයට එරෙහිව ක්‍රියා කරන යම් කෙනෙක් වේ නම් ඒ අයටත්, ඒ වගේම පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ අයටත් එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් යෝජනා සම්මත කරනු ලැබුවා”

ප්‍රශ්නය – නමක් යෝජනා වුණාද ?

“නෑ. අපි අද තීන්දු කරනු ලැබුවේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බව. ඉදිරි දින කිහිපය තුළ දැනට අපි සලකා බලමින් සිටින අපේක්ෂකයින් කිහිපදෙනා අතරින් ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයා, සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා”

ප්‍රශ්නය – වර්තමාන ජනාධිපතිවරයාට කිසිදු සහායක් දෙන්නෙ නෑ කියන කතාවත් ස්ථිර වුණාද රැස්වීමේදී ?

“පක්ෂය විසින් තීරණය කළා පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. එතකොට පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළාම වර්තමාන ජනාධිපතිවරයාට සහයෝගයක් ලබාදීමට හැකියාවක් නැහැ”

ප්‍රශ්නය – අපි දැක්කා පහුගිය කාලෙ කණ්ඩායම් කිහිපයක් වර්තමාන ජනාධිපතිවරයාගේ වේදිකාවල හිටියා ඔහුට සහාය දක්වමින්. ඒ සම්බන්ධයෙන් යම්කිසි සාකච්ඡාවක් වුණාද මෙතැනදී ?

“නෑ. අද තමයි පක්ෂය තීන්දුවක් ගත්තෙ අපේ පක්ෂයෙන් අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. මින් ඉදිරියට අපේ පක්ෂයේ කවුරුහරි කෙනෙක් වෙනත් වේදිකාවක ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂයට තීන්දුවක් තීරණයක් ගන්න වෙයි”

ප්‍රශ්නය – ඒ වේදිකාවේ හිටපු කවුරුහරි මේ රැස්වීමට ඇවිල්ලා හිටියාද ?

“ඔව්, එම වේදිකාවේ හිටපු බොහෝ දෙනෙක් ඇවිල්ලා හිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා”

ප්‍රශ්නය – ඔබගේ අපේක්ෂකයා මොන දවසෙද කියන්න බලාපොරොත්තු වෙන්නෙ ?

“සුදුසුම වෙලාවට ජයග්‍රාහී අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා”

ප්‍රශ්නය – මේ මොහොතේ නම් කීයක් තියෙනවාද ?

“නම් කිහිපයක් අපි සාකච්ඡා කරමින් සිටිනවා. සුදුසුම නම තව දින කිහිපයකින් ඔබතුමන්ලා ඉදිරියට ලබාදෙනවා. කොහොමත් ලබන 15 වෙනිදාට කලින් නමක් අපි ඉදිරිපත් කරන්නත් අවශ්‍යයයි. ඒ නම තව දින කිහිපයකින් ලබලා දෙන්නම්”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...