සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ලෝක කුසලානය ඇතුළු සිය ප්‍රධාන තරගාවලිවල වාණිජ අයිතිවාසිකම්වල කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමට තිබූ ආයෝජන සැලැස්ම අවලංගු කර තිබේ.
FIFA සභාපති Gianni Infantino මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ පාපන්දු ලෝකයෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙනි.
මෙම සැලැස්ම යටතේ ලෝක කුසලානය සහ අනෙකුත් FIFA තරගාවලිවල වාණිජ කටයුතු පාලනය කිරීම සඳහා නව වාණිජ ආයතනයක් පිහිටුවා එහි කොටස්වලින් සියයට 20ක් පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමට යෝජනා වී තිබුණි. එමගින් අමෙරිකානු ඩොලර් බිලියන 4කට වැඩි මුදලක් රැස් කිරීම අරමුණ වූ බව වාර්තා විය.
කෙසේ වෙතත්, UEFA, CONCACAF සහ Asian Football Confederation ඇතුළු ප්‍රධාන පාපන්දු සම්මේලන මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කළ අතර පාපන්දු ක්‍රීඩාව අධික ලෙස වාණිජකරණය කරන පියවරක් වශයෙන් විවේචනය කර තිබිනි.
විරෝධතා උත්සන්න වීමත් සමඟ Infantino ප්‍රකාශ කළේ මෙම ආයෝජන සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවත්, සියලු පාර්ශ්ව එක් කර ගනිමින් ගෝලීය පාපන්දු සංවර්ධනයට අවධානය යොමු කරන බවත්ය.

