Thursday, August 11, 2022
spot_img
spot_img

Latest Posts

රනිල්ට ‘බටලන්දේ ඝාතකයා’ යැයි කීම යුක්තියුක්ත ද?

රනිල් බටලන්දේ ඝාතකයා වුණේ කොහොමද?

“බටලන්දේ ඝාතකයා” යන්න මේ දිනවල සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ අලුත්ම “කට ගැස්ම” වී තිබේ.ඔවුන් බටලන්දේ ඝාතකයා ලෙස හඳුන්වනුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.එහෙත්,ඔහුට මේ නම පටබැඳීම පිළිබඳව මිස ඊට හේතු වූ කරුණු සහ එහි පසුබිම් කතාව බොහෝ දෙනෙක් නොදනිති. 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පැමිණියේ 1988/89 කාල වකවානුවේ පැවැති භීෂණයට වගකිව යුතු පාර්ශවයන්ට දඩුවම් පමුණුවන බව කියමිනි. එහෙත්, එම කාලයේ දී වූ බවට පැවැසුණු ප්‍රධාන සිද්ධීන්වලට අදාළ කිසිවෙකුටත් දඩුවම් හිමිවුණේ නැත.හමුදා කඳවුරු, පොලිස් ස්ථාන, රජයේ ගබඩා හා විශ්ව විද්‍යාල වධකාගාර ලෙස පවත්වාගෙන ගිය බව එකල කියැවිණි. වධකාගාරවලට ගෙන ගිය තරුණයින් බොහෝ දෙනෙක් ටයර් සෑයවල්වල පිළිස්සි ගිය අතර තවත් අය සමූහ මිනීවලවල්වල වැළලී ගියහ.

ඒ කාලයේ දියත් වූ රජයේ භීෂණයට පූර්වගාමීව හා සමගාමීව සන්නද්ධ කැරලිකරුවන්ගේ භීෂණයක් ද ක්‍රියාත්මක විණි. කැරලිකරුවන් විසින් ඝාතනය කළ පුද්ගලයින්ගේ කඳින් වෙන්වූ හිස වැටවල්වල ප්‍රදර්ශනය කෙරුණේ “වරදට දඩුවම මරණය” ලෙස සටන් කළ කොල කැබැල්ලක් ද සමඟිනි. රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සමාජිකයන්ගේ පවුලේ පිරිස් මෙලෙස සන්නද්ධ කැරලිකරුවන් වෙතින් ඝාතනයට ලක්වූහ. කැරලිකරුවන් විසින් ඝාතනය කරනු ලැබූ පුද්ගලයන්ගේ දේහයන් දණහිසට පහලින් තබාගෙන කනත්තට ගෙන යා යුතු බවට ද නිවේදන නිකුත් විය.එසේ නොකරන්නවුන්ට ද එම ඉරණම අත් වන බව පණිවිඩ මඟින් දන්වා තිබිණ.මෙසේ තම සමීපතමයන්ගේ දණ හිස් වලට පහළින් “අවසන් ගමන් ගිය”වැඩි පිරිසක් “රාජකාරී කිරීමේ වරදට” සන්නද්ධ කැරලිකරුවන් ගෙන් මරණීය දණ්ඩනය ලැබූ ග්‍රාම නිලධාරීන් බව ද කියනු ලැබේ.

සන්නද්ධ කැරලිකරුවන් ආරම්භ කළ මෙම භීෂණයට; නැතහොත් ත්‍රස්තවාදයට පිළිතුරු දෙන්නට පවන්නා නීති පද්ධතිය ප්‍රමාණවත් නොවූ බැවින් හිතු හිතූ පමණට මිනී මරණ සන්නද්ධ කැරලිකරුවන්ට ප්‍රති ත්‍රස්තවාදයකින් පිළිතුරු දෙන්නට එවක ප්‍රේමදාස රජය තීන්දු කළේය. එහි ප්‍රතිඵලය වූයේ රජයේ නිලධාරීන්ට මෙන්ම කැරලිකරුවන්ට ද මරණ වරෙන්තුව අතැ`තිව කටයුතු කිරීමට සිදුවීම ය. මෙම භීෂණයේ දී පෞද්ගලික කොන්තරාත්තු ද අනන්තවත් පිරිමසා ගැනුණි. තමන්ගේ තරහ කාරයන් කැරලිකරුවන් ලෙස හදුන්වා දී ආරක්ෂක අංශ වෙත අල්ලා දීම් ද අනන්තවත් සිදු විය.

වවුල්කැලේ ඝාතනය, බටලන්ද වධකාගාරය, සූරියකන්ද සමූහ මිනිවල ආදී ප්‍රසිද්ධ සිද්ධීන් රැසක් එකල වාර්තා විය. මේ සිද්ධීන්ට සම්බන්ධ පිරිස් නීතිය හමුවට කැදවා දඩුවම් කරන බවට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ප්‍රකාශ කළා ය. මේ සිද්ධීන් අතරින් අදටත් කියැවෙන සිද්ධියක් වන්නේ බටලන්ද වධකාගාර සිද්ධියයි..

එදා මෙදා තුර බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ය. එම චෝදනාව සෑම ඡන්දයක දීම කරලියට පැමිණියේ ය. එය මේ දක්වාම ඡන්දයක් හමුවේ කියැවෙන්නක් වූ අතර මෙවර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු නැවතත් එය කතාබහට ලක්ව තිබේ.

රනිල් වික්‍රමසිංහට මේ තාක් චෝදනා එල්ල වන බටලන්ද සිද්ධිය කුමක්ද? එවක කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටි තිස් නව හැවිරිදි රනිල් වික්‍රමසිංහ ඇතුළු එම රජයේ දේශපාලඥයන් සියළු දෙනා මරණ වරෙන්තු අතැ`තිව සිටින්නෝ වූහ. එම නිසා ඔවුන් සිය පෞද්ගලික නිවෙස් හි ජීවත් නොවූ අතර ආරක්ෂිත ස්ථානවල ජීවත් වූහ. එක්සත් ජාතික පක්ෂ බියගම ආසන සංවිධායකවරයා වූ රනිල් එවක සිය ආරක්ෂිත වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණේ බටලන්ද පොහොර සංස්ථාවේ පිහිටි නිල නිවාස සංකීර්ණයේ නිවාසයකි.ඒ තමන් කොයි මොහොතම හෝ නාඳුනන තුවක්කු කරුවකුගේ ගොදුරක් වීමට තිබූ අවදානම නිසා ය.එම කාලයේ බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු කිහිප දෙනෙක්ම සන්නද්ධ කැරලිකරුවන්ගේ ගොදුරු බවට පත් වූහ.ඒ අනුව රනිල්ගේ ජීවිතය මතට ද නාඳුනන තුවක්කු කරුවාගේ කළු සෙවනැල්ල පතිත වී තිබිණ.
බටලන්දේ යුද හමුදා කඳවුරක් ද ස්ථාපිත කර තිබු නිසා ඔහු එය තෝරාගෙන තිබුණේ තම “පණ බේරා ගැනීම”ට ය. නමුත්, එහි වධකාගාරයට ගෙනෙනා තරුණ කොටස් මරා දැමුණේ මොහුගේ අනු දැනුම මත බවට එවක වාර්තා විණි. එම කඳවුරට ගෙනා විජේදාස ලියනාරච්චි නම් තරුණ නීතිඥවරයා ඝාතනය වූයේ ද එහි දී බවට චෝදනා එල්ල විණි.තංගල්ලේදී අත්අඩංගුවට පත් වූ මොහු පෑලියගොඩ පිහිටි අපරාධ මර්දන ඒකකය වෙත ගෙනවිත් පසුව සපුගස්කන්ද පොලිසිය වෙත බාරදී තිබුණි.පසුව එහිදී කළ පහරදීමෙන් වූ තුවාල හේතුවෙන් රෝහල්ගත කල පසු මිය ගිය බවට චෝදනා එල්ල විය.පොලිසිය වෙත හොඳින් ඇවිද ගිය නීතිඥවරයා පසුව රෝහල්ගත වූයේ පොලිසියේ දී වූ පහරදීමෙන් බවට චෝදනා එල්ල විය.

මේ සියළු දේ සොයා බැලීම වෙනුවෙන් 1994 වසරේ බලයට පත් රජයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් බටලන්ද කොමිසම පත් කරන ලදී. බටලන්ද වධකාගාරයේ තරුණයින් ඝාතනය වූ බවත් එය එවක ඇමතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මත සිදුවූ බවටත්, විජයදාස ලියනාරච්චි තරුණ නීතිඥවරයාගේ ඝාතනය ද රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මත වූ බවටත් වූ දේශපාලනික චෝදනා විමර්ශනය කොට වාර්තාවක් සැපයීම මෙහි අරමුණ විය.

දීර්ඝ සාක්ෂි විභාගයකින් පසුව පිටු 6000 ට අධික වාර්තාවක් නිකුත් වූ අතර එයින් රනිල් වික්‍රමසිංහ ගැන තවදුරටත් විමර්ශණය කරන ලෙස නිර්දේශ කර තිබුණ ද ඔහු වෙත සාපරාධී චෝදනා කිසිවක් එල්ල කර තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ ද එවක මෙහිදි දින ගණනාවක් සාක්ෂි ලබාදී තිබුණි. ඔහු කියා තිබුණේ පැවැති භීෂණකාරි වාතාවරණය හේතුවෙන් බියගම ආයෝජන කලාපයේ රැකියාවන්ට යන පිරිස් වෙත ආරක්ෂාව සපයන ලෙස පමණක් තමන් උපදෙස් දී තිබු බව ය. එම තරුණ කණ්ඩායම් වලට හිරිහැර කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද තමන් උපදෙස් දුන් බව ද ඔහු කියා තිබුණි. එහෙත්, විජයදාස ලියනාරච්චි ඝාතනය කිරීමට තමන් තුළ කිසිදු උවමනාවක් නොතිබූ බවත් ඒ ගැන තමන් නොදන්නා බවත් සපුගස්කන්ද පොලිසියට බාරදීමට ප්‍රථම ඔහුට පහර දෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ මෙහි දී සාක්ෂි වශයෙන් ප්‍රකාශ කොට තිබිණ.කොමිසමේ වාර්තාවෙන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කෙරුණේ තවදුරටත් විමර්ශනයන් කොට චූදිතයන්ට එරෙහිව නඩු පැවැරීමට ය. මේ අතරවාරයේ එවක රාජකාරි කළ පොලිස් පරික්ෂකවරයෙකු සිය දිවි නසාගෙන ද තිබුණි.

නමුත් නීතිපතිවරයා මේ සිද්ධියට අදාළව නඩු පැවරීමක් කළේ නැත. වැඩිදුර විමර්ශනයකට හෝ නඩු පැවරීමකට අදාළව ප්‍රමාණවත් කරුණු කොමිසන් වාර්තාවේ අඩංගුව නැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස බව එවක මාධ්‍ය වාර්තා කළේය. එසේ වුව ද බටලන්ද චෝදනාව ඉන් පසු සෑම මැතිවරණයකදීම කතාබහ කරන මාතෘකාවක් විය. එහි විහිළු සහගතම කාරණය වන්නේ කොමිසම පත් කළ චන්ද්‍රිකා ආණ්ඩුවේ මැති ඇමතිවරුම එම චෝදනාව දිගින් දිගටම එල්ල කිරීම ය.

එම චෝදනාව එල්ල වන විටත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ මන්ත්‍රීවරයෙකි. එවක ආණ්ඩු පාර්ශවයෙන් චෝදනා කළා විනා ඔහු ඉදිරි පරීක්ෂණයක් කරන්නට උත්සාහ නොකළේ එය චෝදනාවකට සීමා කොට පවත්වාගෙන යාමෙන් ගත හැකි දේශපාලන වාසිය නිසා විය යුතුය.

1988/89 කාලයේ පැවැති භීෂණයට දෙපාර්ශවයම හරි හරියට වගකිව යුතු ය.එහෙත්, තවදුරටත් චෝදනා එල්ල වන්නේ එවක පැවැති ප්‍රේමදාස ආණ්ඩුවට පමණකි. අවුරුදු 34 ක් ගතව ඇතත් තවමත් බටලන්ද වධකාගාර චෝදනාව රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වෙයි.. ඔහු මිය යන තෙක්ම මෙම චෝදනාව එල්ල වනු ඇත. එය එක්තරා දේශපාලන සූදුවක් ලෙස භාවිතා කරන්නේ ඔහුට චෝදනා එල්ල කොට දේශපාලන වාසි ගැනීමට පමණක් බව පැහැදිලි ය.ඒ මන්ද තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහට අවලාද නැඟීමට මිස ඔහුට නඩු පැවරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තුළ වුව දකිසිදු උනන්දුවක් නොතිබීම නිසා ය. එයින් පැහැදිලි වන්නේ නඩු පැවරුවේ නම් රනිල් ඉන් නිදහස් වී තවදුරටත් ඔහුට බටලන්දේ ඝාතකයා යන චෝදනාව එල්ල කිරීමට අවස්ථාව නොලැබී යන බවකි.ඒ අනුව බටලන්දේ සිදුවීම් සම්බන්ධයෙන් නඩු නොපැවරීම යනු රනිල් වික්‍රමසිංහ අද වන විට එම දේශපාලනික අවලාද නම්”වධකාගාරය” තුළ සිර ගත කොට තැබීමකි.

විනිවිද

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.