පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්.
“IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින් පැවැත්වීම සාපේක්ෂව අනෙක් බලවේගවලට වාසිදායක නිසා තමයි මුලින් එය පවත්වන උත්සාහ කළේ. ජනාධිපතිවරණ සමීක්ෂණ සමඟ විශ්ලේෂණය නේද වඩා තාර්කික? මොකක්ද අපි කතා කරන්නෙ ජනාධිපතිවරණයක් ගැන මිස මහ මැතිවරණයක් ගැන නොවන නිසා.”
මෙහි සඳහන් කරුණු හැම දෙයක්ම වගේ නිවැරදියි. නමුත් මහ මැතිවරණයක් හා අදාළ ඡන්දදායක අභිලාශ වලින් ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශ ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශද සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ මාසයක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ 5%කිනුත්, සජිත් 5%කිනුත් ඉදිරියට යද්දී අනුරගේ ඡන්ද ප්‍රතිශතයේ 9%ක කඩා වැටීමක් පෙනෙන්නට ඇති බවයි.
පහත තිබෙන්නේ ජූනි මාසය හා අදාළ ඇස්තමේන්තු.
සජිත් ප්‍රේමදාස – 43%
අනුර කුමාර දිසානායක – 30%
රනිල් වික්‍රමසිංහ – 20%
පොහොට්ටු අපේක්ෂකයා – 7%
මේ අනුව, අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතයෙහි විශාල කඩාවැටීමක් සිදු වෙද්දී සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායකට සාපේක්ෂ 13%ක පරතරයක් පවත්වා ගනිමින් සිටිනවා. මෙම ප්‍රතිඵලය මහ මැතිවරණය හා අදාළ ඡන්දදායක අපේක්ෂා සමඟ ගැලපෙනවා. සජිත්ගේ හා අනුරගේ ප්‍රතිශත සජබ හා මාලිමා ප්‍රතිශත වලට සාපේක්ෂව පිළිවෙලින් 5%කින් හා 4%කින් ඉදිරියෙන් තිබෙනවා. රනිල්ගේ ප්‍රතිශතය තිබෙන්නේ එජාප ප්‍රතිශතයට වඩා 13%ක් ඉදිරියෙන්. එයින් පෙනෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් බාගයකට වැඩි කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රනිල් විසින් ආකර්ශනය කර ගෙන ඇති බවයි.
මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හා රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව දැනුම් දෙනු ලැබීමට පෙර පැවති තත්ත්වයයි. මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ තරඟය ඉතා වේගයෙන් රනිල් හා සජිත් අතර තරඟයක් බවට පත් වෙමින් ඇති ආකාරයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා එළියට පැමිණීමෙන් පසුව මේ තත්ත්වයේ තවත් හැරවුමක් සිදු විය හැකියි.
~ ඉකොනොමැට්ටා
RN