සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ග්රීසියේ අගනුවර වන ඇතැන්ස් නගරයට බටහිරින් පැතිර යන දැවැන්ත ලැව්ගිනි මැඩලීමේ මෙහෙයුමක නිරතව සිටි ගිනි නිවීමේ හෙලිකොප්ටර් දෙකක් අහසේදී එකිනෙක ගැටීමෙන් එක් හෙලිකොප්ටරයක සිටි නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ග්රීක ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්රදේශයේ පැවති දැඩි සුළං (gale-force winds) හේතුවෙන් ගිනි නිවීමේ ගුවන් මෙහෙයුම් ඉතා අභියෝගාත්මක වී තිබූ අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ගැටුණු හෙලිකොප්ටර් දෙකෙන් එකක සිටි දෙදෙනාම මියගිය අතර, අනෙක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ගොඩබැස්වීමට සමත් වූ බව වාර්තා වේ.
මේ අතර, අධික උෂ්ණත්වය, දිගු නියඟය සහ ප්රබල සුළං හේතුවෙන් ග්රීසියේ ප්රදේශ රැසක ලැව්ගිනි තවදුරටත් වේගයෙන් පැතිර යමින් පවතින අතර, ගිනි නිවීමේ භටයන්, ගුවන් යානා සහ හෙලිකොප්ටර් යොදාගෙන දැඩි මර්දන මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටී.
බලධාරීන් අවදානම් ප්රදේශවල ජනතාවට ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර, දැඩි සුළං හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළත් ලැව්ගිනි තත්ත්වය තවදුරටත් උග්ර විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

