ATTO 3 විතරක් නෙවෙයි, තවත් BYD මාදිලි කිහිපයකම කේස්. JKCG නැව පිටින්ම ගිළෙන ලකුණු ??

Date:

මෙරටට ගෙන්වන ලද BYD විදුලි වාහන අතරින් ATTO 3 නම් මාදිලියේ මෝටර් ධාරිතාව අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා වාහන නිදහස් කරගෙන ඇති බවට චෝදනාවක් පසුගිය දිනවල එල්ල වී තිබුණු අතර එම වාහන 1000 කට අධික සංඛ්‍යාවක් දැනට රේගුවෙන් නිදහස් නොකර රඳවා තබාගෙන සිටින බවත් වාර්තා වී තිබිණි.

එසේම මේ පිළිබඳ විමර්ශනයක් ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරගෙන යන අතර මෙරටට BYD වාහන ආනයනය කිරීමේ එකම බලයලත් නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම ඊට අවශ්‍ය සහයෝගය ප්‍රමාණවත් පරිදි ලබානොදෙන බවට ද රේගු නිලධාරීන්ගෙන් චෝදනා එල්ල වී තිබෙනු දැකගත හැකිවිය.

මෙහිදී මෙම ATTO 3 වාහනයේ මෝටරයේ ධාරිතාව 100kW වශයෙන් පෙන්වා ඊට අදාළ බද්ද ගෙවා එම වාහන නිදහස් කරගෙන තිබුණු නමුත් එම වාහනයේ ඇත්තේ 150kW මෝටරයක් බවත් ඒ අනුව ඊට 150kW මෝටර් ධාරිතාවට අදාළ පරිදි වැඩියෙන් බදු අය විය යුතු බවත් කියැවිණි. නමුත් සමාගමේ පාර්ශ්වයෙන් කියැවුණේ මෙම වාහනයේ සවිකර ඇති මෝටරය 150kW වුවත් එහි බලය මෘදුකාංගයක් (firmware) මාර්ගයෙන් 100kW දක්වා සීමාකර ඇති බැවින් මෙහි ගැටලුවක් නොමැති බවකි. අනෙකුත් වාහන ආනයනකරුවන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබුණේ මෘදුකාංගවලින් සීමා කරන ලද මෝටරවලට බදු අයකරන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් පවතින නීතිය කාටත් සමානව ක්‍රියාත්මක විය යුතු බවත් ය. මෙය සංවිධානාත්මකව බදු දැලෙන් රිංගා යාම සඳහා වංචනිකව භාවිතා කළ කූඨ උපක්‍රමයක් බවට ද ඇතැම් පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විය.

කෙසේවෙතත් ඉහත කී මෝටර් ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය ATTO 3 මාදිලියට පමණක් නොව තවත් BYD මාදිලි කිහිපයකටම අදාළව උද්ගතව පවතින බව මේ වනවිට අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව,

BYD Dolphin Dynamic යන වාහනය 49kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 70kW බවත්

BYD Dolphin Premium යන වාහනය 99kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

BYD M6 යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 120kW බවත්

BYD Seal Dynamic යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව, පවතින නීතිය යටතේ සලකා බැලීමේදී සාවද්‍ය තොරතුරු රේගුවට ඉදිරිපත් කර, අඩුවෙන් බදුගෙවා මෙම වාහන නිදහස් කරගැනීමක් සිදුව ඇතැයි පෙනී යන අතර මෙය ඉතාම බරපතළ තත්වයක් බවයි මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස වී ඇත්තේ.

මෙරටට BYD වාහන ආනයනය කිරීමේ එකම බලයලත් නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම යනු ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම සහ නේපාලයේ දැවැන්තම සමාගමක් වන චෞද්‍රි ගෲප් (Chaudhary Group) සමාගම එක්ව පිහිටුවන ලද්දකි. එම සමාගම් දෙකම කොතරම් දැවැන්ත සමාගම් වුවත්, ඒවායේ හිමිකරුවන් කොතරම් බලවත් ව්‍යාපාරිකයින් වුවත් තවදුරටත් මේ ප්‍රශ්නය සුළු අත්වැරදීමක් හෝ කුඩා අනවබෝධ තත්වයක් හෝ වශයෙන් හඳුන්වමින් හෝ ශ්‍රී ලංකා රේගුවේ බදු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් යැයි පෙන්වා රේගුව පැත්තට බෝලය මාරුකිරීමෙන් හෝ ගොඩින් බේරාගත හැකි ප්‍රශ්නයක් නොවන මට්ටමට පැමිණ ඇති බවත් ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම Chaudhary Group විසින් මේ ආකාරයටම මේ වාහන නේපාලයටත් ආනයනය කර ඇති නිසා ශ්‍රී ලංකාවේ රේගුව මේ ප්‍රශ්නය විසඳන ආකාරය අනුව නේපාලය තුළ ද මීට සමානම ගැටලුකාරී තත්වයක් උද්ගත වනු ඇත.

ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම BYD වාහන ගෙන්වා බෙදාහැරීමේ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනාගාර විවෘත කිරීම, සේවා ස්ථාන පිහිටුවීම, චාජින් පහසුකම් ස්ථාපිත කිරීම, වෙළඳ ප්‍රචාරණ කටයුතු යනාදිය වෙනුවෙන් අතිවිශාල වියදමක් දරා ඇති අතර ඔවුන් විසින් තවත් අතිවිශාල මුදලක් වැයකර මෙරටට ආනයනය කළ වාහන 1000 කට අධික සංඛ්‍යාවක් දැනටත් වරායේ සිරවී තිබේ. මේ වාහන සඳහා අත්තිකාරම් ගෙවූ පිරිසක් ද සිය වාහන ලබාදෙන තුරු බලා සිටිති. ඒ අනුව තත්වය ඉතාම සංකීර්ණ වී ඇති බව පැහැදිලි ය.

එහෙත් ශ්‍රී ලංකා රේගුව ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම ඉදිරිපත් කරන සාධාරණීකරණයේ තර්ක පිළිගතහොත් තවත් සමාගම් ගණනාවක්ම මේ ක්‍රමයට රටට විදුලි වාහන ආනයනය කරනු ඇති අතර රජයට රුපියල් බිලියන ගණනක අතිවිශාල බදු මුදලක් අහිමි වනු ඇත. එය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා යන්තම් එයින් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවට දරාගත හැකි තත්වයක් නොවේ.

මේ සියල්ල අනුව මේ ප්‍රශ්නය මේ වනවිට ඇත්තේ කිසිසේත්ම පහසුවෙන් ගොඩදා ගැනීමට නොහැකි වියවුලක් වශයෙන් බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

~ විශේෂ ලියුම්කරුවකු විසිනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශිෂ්ඨයන් අහුරක් එක මිටකට වීමේ සවිය රනිත්මා එංගලන්තයේදී පෙන්වයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ලාංකේය කාන්තා බැඩිමින්ටන් වංශ කතාව...

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...