මැතිවරණයක ජනමතය හරියටම දැන ගත හැක්කේ කොහොමද? පිළිතුර ඉතාම පැහැදිලියි. ජනමතය හරියටම දැන ගත හැක්කේ අදාළ මැතිවරණය පවත්වලාම තමයි. නමුත් මැතිවරණයකට පෙර ජනමතය පරීක්ෂා කිරීම සඳහා නියැදි සමීක්ෂණ කරන එක සාමාන්‍ය දෙයක්.
“ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයකට දෙමළ භාෂාව හොඳින් කතා කළ හැකිද?”
දැන් මේ වගේ කරුණක් හා අදාළව සැබෑ තත්ත්වය ගැන දැන ගැනීමට නියැදි සමීක්ෂණයක් යොදා ගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා නිවැරදි නියැදියක් හොයාගන්න එක හරියට කරන්න ඕනෑ.
අපි හිතමු අපි මේ වැඩේට යාපනය දිස්ත්‍රික්කයේ ගමක් නියැදිය ලෙස තෝරා ගත්තා කියලා. අපිට ඒ අදාළ නියැදියේ දෙමළ භාෂාව හොඳින් කතා කළ හැකි ප්‍රතිශතය හරියටම දැන ගන්න පුළුවන්. නමුත් එයින් අපට මුළු ලංකාවේම තත්ත්වය ගැන නිවැරදි අදහසක් ලබා ගන්න බැහැ. අඩු වශයෙන් කිට්ටුවෙන් යන අදහසක්වත් ලබාගන්න බැහැ. මොකද මේ නියැදිය අදාළ කරුණ සම්බන්ධව ලංකාවේම තත්ත්වය හොඳින් නියෝජනය කරන නියැදියක් නෙමෙයි.
සුදත්ත, ගුණේ වගේ අයගේ ඊනියා ජනමත සමීක්ෂණත් ඔය වගේ. ඒවා වැරදි නැහැ. නමුත් ඒවා නිවැරදි වෙන්නේ අදාළ නියැදි වලට පමණයි. හෙළකුරු සමීක්ෂණය සහ ෆේස්බුක් ජනමත සමීක්ෂණත් ඒ වගේ. අදාළ නියැදි වල ජනමතය ඒ වගේ සමීක්ෂණ වලින් බලාගන්න පුළුවන්. නමුත් ඒ නියැදි වල මතය රටේ ජනමතය විදිහට සලකන්න බැහැ.
එහෙමනම් නියැදි සමීක්ෂණයකින් රටේ ජනමතය බලා ගන්න පුළුවන් කොහොමද?
මේක කරන්නනම් රටේ වැඩිහිටි ජනගහණයේ මතය නිවැරදිව නියෝජනය කරන නියැදියක් තෝරා ගන්න වෙනවා. යම් නියැදියක් එවැනි නිවැරදි නියැදියක් වන්නේ එය අදාළ ජනගහණයේ අහඹු නියැදියක් වන්නේනම් පමණයි. අහඹු නියැදියක් නොවන නියැදියක ප්‍රමාණය ගොඩක් ලොකු වුනා කියලා එය නිවැරදි නියැදියක් වන්නේ නැහැ.
දෙමළ භාෂාව හොඳින් කතා කිරීම පිළිබඳ උදාහරණයට ආවොත්, උතුරේ ගම් වලින් පමණක් තෝරා ගන්නා සියයක නියැදියකට වඩා මුළු රටම නියෝජනය වන පරිදි තෝරා ගන්නා සියයක නියැදියක් වඩා හොඳ නියැදියක්. උතුරේ ගම් වලින් පමණක් ලක්ෂයක පමණ විශාල නියැදියක් තෝරා ගත්තත්, මුළු රටම නියෝජනය වන පරිදි තෝරා ගන්නා සියයක නියැදියක් ඊට වඩා හොඳ නියැදියක්.
හෙළකුරු නියැදිය ගැන කියන්න තියෙන්නෙත් මේ වගේම දෙයක්. නියැදියේ ප්‍රමාණය කොයි තරම් විශාල වුනත් එයින් පෙන්වන්නේ හෙළකුරු භාවිතා කරන අයගේ ජනමතය මිසක් රටේ ජනමතය නෙමෙයි. සුදත්ත, ගුණේ වගේ අයගේ ජනමත විමසුම් වලත් මේ දුර්වලතාවය තියෙනවා.
හරි. අපි හිතමු මුළු රටම නියෝජනය වන අහඹු නියැදියක් තෝරා ගත්තා කියලා. ඒ නියැදියේ මතය කියන්නේ රටේ ජනමතයද?
එහෙම සහතිකයක් නැහැ. නමුත් වෙනස මේකයි. ඒ වගේ අහඹු නියැදියක් තෝරා ගත්තොත් ඒ නියැදියේ මතය රටේ ජනමතයෙන් කොයි තරම් වෙනස් වෙන්න පුලුවන්ද කියන එක අපට ගණනය කරන්න පුළුවන්. එය කළ හැකි සංඛ්‍යානමය ක්‍රමවේද තිබෙනවා. ඒ වගේම, නියැදියේ ප්‍රමාණය විශාල කිරීමෙන් මේ වැරැද්ද ටිකෙන් ටික අඩු කරලා වඩා නිවැරදි පිළිතුරක් ලබා ගන්නත් පුළුවන්. හැබැයි මතක තියා ගන්න ඔය විදිහට ලොකු නියැදියක් තෝරා ගැනීම වාසියක් වෙන්නේ ඒ නියැදිය අහඹු නියැදියක්නම් පමණයි.
අහඹු නියැදියක් තෝරා ගත හැක්කේ කොහොමද?
අපි ලංකාවේ වැඩිහිටි ජනගහණය ගැන හිතමු. මේ වැඩිහිටි ජනගහණයේ සියළුම දෙනාට ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා කියන එක බොහෝ දුරට නිවැරදි උපකල්පනයක්. අපි මේ අංක අතරින් අවසාන ඉලක්කම 7 වන අංක තෝරා ගෙන එම හැඳුනුම්පත් අයිති අය ලංකාවේ වැඩිහිටි ජනගහණයේ නියැදියක් ලෙස ගත්තොත් කොහොමද?
ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම වයස (උපන් දිනය), ලිංග භේදය, ජාතිය, ආගම, ජීවත් වන ප්‍රදේශය, අධ්‍යාපන මට්ටම, ආදායම් මට්ටම, දේශපාලන නැඹුරුව වගේ කිසිම දෙයක් මත වෙනස් වෙන්නේ නැහැ. සෑම වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් එක් කෙනෙක්ම අපේ මේ නියැදියට අහු වෙනවා. ඒ අය අනෙක් අයගෙන් වෙනස් වන එකම කාරණය ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම පමණයි. ඒ නිසා, ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම අනුව වෙනස් නොවන ඕනෑම දෙයක් හා අදාළව මේ නියැදිය අහඹු නියැදියක්. නියැදියේ සෑම පුද්ගලයෙක්ගෙන්ම වැඩිහිටි ජනගහණයේ දහ දෙනෙක්ව නියෝජනය වෙනවා.
වැඩිහිටි ජනගහණය මිලියන 17ක් ලෙස සැලකුවොත්, මේ නියැදියේ මිලියන 1.7ක් ඉන්නවා. මේ අයගෙන් මිලියන 0.4ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන බව කියන්නේ සජිත්ටනම්, ඒ හැම කෙනෙක්ගෙන්ම ජනගහණයේ වැඩිහිටියන් දහ දෙනෙක්ව නියෝජනය වන ලෙස සලකලා අපට සජිත්ට ලැබෙන්න තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 4ක් ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්.
ප්‍රායෝගිකව ජනමත විමසුමකට මිලියන 1.7ක් සම්බන්ධ කර ගන්නේ නැහැනේ. නමුත් අපිට ඔය අදහසම ඉදිරියට අරන් ගිහින් වඩා කුඩා අහඹු නියැදියක් තෝරා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම් දෙක 77 වන අයව ගත්තොත් එම ප්‍රමාණය වැඩිහිටි ජනගහණයෙන් 1%ක් හෙවත් 170,000ක්. දැන් මේ හැම කෙනෙක්ම ජනගහණයේ ඉන්න 100 දෙනෙක් නියෝජනය කරනවා. ඉලක්කම් තුනක්ම ගත්තොත්, උදාහරණයක් විදිහට 777 වගේ, අපිට ජනගහණයේ 1000ක් නියෝජනය කරන “නියෝජිතයින්” 17,000ක නියැදියක් හමු වෙනවා. ඉලක්කම් හතරක්ම ගත්තොත් ජනගහණයේ දහදාහක් නියෝජනය කරන “නියෝජිතයින්” 1,700ක නියැදියක්. තෝරා ගන්නා ඉලක්කම් හතර කුමක් වුනත් මේකේ වෙනසක් නැහැ.
ජාතික හැඳුනුම්පත් අංක උපයෝගී කරගෙන ඔය විදිහේ නියැදියක් තෝරා ගත්තත් ඒ අයව ජනමත විමසුමකට සම්බන්ධ කර ගන්න එක ලේසි නැහැ. මොකද මේ නියැදියේ ඉන්නේ රට පුරා විසිරී ඉන්න පිරිසක්. අමාරුවෙන් හෝ සියලු දෙනාවම සම්බන්ධ කරගත්තත් එයින් සමහර අය ජනමත විමසුම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වැඩෙන් ඔය තරම් මහන්සි වෙලා හදා ගත්ත නියැදියේ අහඹු බව නැති වෙන්නත් පුළුවන්. කොහොම හරි කට්ටියම කැමති කරගත්තොත් අහඹු නියැදියක් තිබෙනවා.
ඔය විදිහට තෝරා ගන්නා නියැදියක් කොයි තරම් අහඹුද කියන එක පරීක්ෂා කරන්න අමාරු නැහැ. ජනගහණයේ හා නියැදියේ ස්ත්‍රී පුරුෂ ප්‍රතිශත, ආගම් හා ජාති සංයුතිය, වයස් කාණ්ඩ සංයුතිය වගේ දේවල් සංසන්දනය කළොත් ඒවා බොහෝ දුරට ගැලපෙනවා. ඒ නිසා, නියැදියෙන් ජනගහණය නිවැරදිව නිරූපණය වන බව තහවුරු කරගන්න පුළුවන්. නියැදිය අහඹුනම්, එහි ප්‍රමාණය 50ක් වැනි සාපේක්ෂව කුඩා එකක් වුවත්, එයින් ජනගහණය බොහෝ දුරට නිරූපණය වෙනවා.
නියැදිය අහඹු නැත්නම් ඔය වැඩේ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට 50,087 දෙනෙකුගේ නියැදියක් වන හෙළකුරු නියැදියේ ඉන්න හෙළකුරු පරිශීලකයින් අතරින් වයස අවුරුදු 55 ඉක්මවූ අය ඉන්නේ 3.7%ක් පමණයි. ඒ අයද ඇතුළුව වයස 45 ඉක්මවූ අය ගත්තත් 10.7%ක් පමණයි. 68.2%ක්ම වයස අවුරුදු 35 නොඉක්මවූ අය. ඒ සමහර අය 18ට අඩු වැඩිහිටියන් නොවන අය. උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක වල නියෝජනය ඉතාම අඩුයි. මේ වගේ අහඹු නොවන නියැදියක් කොයි තරම්ම විශාල වුනත් එවැන්නක ප්‍රතිඵලය උදේට නැගිට්ටහම නිකම් ඔළුවට එන ප්‍රතිඵලයකට වඩා නිවැරදි නැහැ.
නැවතත් කියන්නේ මේ ප්‍රතිඵලය වැරදියි කියන එක නෙමෙයි. අදාළ නියැදියට ඒ ප්‍රතිඵලය හරි. නමුත් ඒ අනුසාරයෙන් රටේ තත්ත්වය ගැන මෙලෝ මගුලක් කියන්න බැහැ. ඒ නිසා, ඔය වගේ ජනමත සමීක්ෂණයක ප්‍රතිඵලයෙන් වැඩක් ඇත්තේම නැති තරම්.
වැඩක් ඇත්තේම නැහැ නොකියා වැඩක් ඇත්තේම නැති තරම් කියා කිවුවේ හේතුවක් ඇතිව. මේ වගේ දත්ත වුනත් විශ්ලේෂණය කරලා වැඩක් තියෙන ඇස්තමේන්තුවක් හදාගන්න බැරිකමක් නැහැ. නමුත් මේ තියෙන්නේ එවැන්නක් නෙමෙයි.
හිතාමතා සැලසුම් නොකළත් අපි හැමෝම වගේ නියැදි සමීක්ෂණ කරනවා. වෙනස ඒවා අහඹු නියැදි නොවීමයි. සාමාන්‍යයෙන් අපේ නියැදි වෙන්නේ අපි එදිනෙදා ඇසුරු කරන අය.
දැන් අපි අනුර කුමාරගේ ඡන්ද ප්‍රතිශතය ගත්තොත් සමහර අයට අනුව, ඒක 75%-80%ක් තරම් ඉහළයි. ඒ අයට පේන විදිහට ඒක තමයි භූමියේ යථාර්තය. මේ අය කියන්නේ බොරු නෙමෙයි. ඒ තමයි ඒ අයට පේන භූමියේ යථාර්තය. මේ විදිහට පේන්නේ මාලිමාව පැත්තේ ඉන්න අයම හැම වෙලාවෙම ඇසුරු කරන, අනෙක් අයව ඇසුරු නොකරන අයට. ඊට අමතරව, මාලිමාව වෙනුවෙන් මැරෙන්න වුනත් බලාගෙන ඉන්න කෙනෙක් එක්ක කතා කරද්දී වෙනත් කෙනෙක් වුනත් මාලිමාව පැත්තටම කතා කරනවා මිසක් විරුද්ධව කතා කරන්නේනැති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඒ වගේ අයවත් තමන්ගේ ගොඩට දාගන්න එක.
ඕකේම අනික් පැත්තත් තියෙනවා. සමහර අයට මාලිමා රැල්ලක් පේන්නම නැහැ. ඒ මාලිමාව පේන්න බැරි, මාලිමාවට පක්ෂ කෙනෙක්ව වැරදිලාවත් ආශ්‍රය නොකරන වර්ගයේ අය.
ඔය අන්ත දෙකේ නොහිටියත්, අපි ගොඩක් අය ආශ්‍රය කරන්නේ අහඹු නියැදි නෙමෙයි. අපිට හමු වෙන නියැදි කුමක් හෝ දේශපාලන ධාරාවකට වඩා බර අය. බොහෝ විට ඒ අපි පෞද්ගලිකව කැමති දේශපාලන ධාරාවම වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මොකද අපි හිතන විදිහට කිට්ටුවෙන් හිතන අයව ඇසුරු කරන්න අපිට නිසග පෙළඹීමක් තියෙනවා. ඒ නිසා, අපි කැමති දේශපාලන ධාරාවට වැඩි බරක් තිබෙන බව අපට පේන්න ඉඩකඩ වැඩියි.
මේක අපිට නිවැරදි කරගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. කෙනෙකුගේ ජාතිය, ආගම වගේ දෙයක්නම් ලංකාවේ ජීවත් වෙන කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම රටේ සංයුතිය ගැනත් අපි දන්නවා. ඒ නිසා, අපි එදිනෙදා ඇසුරු කරන නියැදියෙන් රට නිවැරදිව නියෝජනය වෙනවාද කියන එක පහසුවෙන් පරීක්ෂා කර බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ නියැදියේ අපේම ආගමේ, අපේම ජාතියේ අයගේ ප්‍රතිශතය වැඩියි. දේශපාලන පක්ෂපාතීත්වය හා අදාළව රටේ සංයුතිය හරියටම නොදන්නා අවස්ථාවක ඔය සංසන්දනය කරන්න බැහැ. අපිට කරන්න පුළුවන් එකම දෙය අපිට පේන “භූමියේ යථාර්තය” හරියටම නිවැරදි නොවන බව තේරුම් ගෙන සිටීම පමණයි.
හරියටම නිවැරදි අහඹු නියැදියක් යොදාගෙන ජනමතය විමසන්න පුළුවන්නම් ඒ නියැදිය ගොඩක් විශාල එකක් නොවුනත් ඒ මගින් රටේ ජනමතය සෑහෙන තරමකට නිවැරදිව දැන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කලින් විස්තර කළ ආකාරයට ජාතික හැඳුනුම්පත් අංකයේ අවසන් අංක හතර 1234 වගේ නිශ්චිත අංක හතරක් වන අය තෝරා ගත්තොත් අපට රටේ වැඩිහිටි ජනගහණය නියෝජනය කරන 1,700 දෙනෙකුගේ අහඹු නියැදියක් ලැබෙනවා. ඒ අය හොයාගෙන ගිහින් ඒ අයගේ කැමැත්ත කාටද කියලා දැනගෙන ප්‍රතිඵලය 10,000න් වැඩි කළොත් එය ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ සැහෙන තරම් නිවැරදි ඇස්තමේන්තුවක්.
නමුත් ඔය විදිහේ නියැදියක් තෝරාගෙන ජනමත විමසුමක් කරන එක සෑහෙන්න අසීරු, කාලය හා මුදල් ගොඩක් වැය වෙන වැඩක්. ඒ නිසා මේ විදිහේ අහඹු නියැදි තේරීමක් බොහෝ විට වෙන්නේ නැහැ.
අපි කලින් ගත්ත උදාහරණයේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසන් ඉලක්කම් හතර වෙනුවට දුරකථන අංකයේ අවසන් ඉලක්කම් හතර ගනිමු. ජාතික හැඳුනුම්පත් අංකයේ වගේම දුරකථන අංක වලත් මුල් අංක අහඹු අංක නොවුනත් අවසන් ඉලක්කම් අහඹු ඒවානේ. මේ ක්‍රමයේ ලොකු ප්‍රායෝගික වාසියක් තියෙනවා.
අවසන් ඉලක්කම් හතර අනුව ජාතික හැඳුනුම්පත් අංක තෝරාගත්තත් ජනමතය විමසන්න ඔය හැඳුනුම්පත් අංක අයිති අයව හොයාගෙන යන්න වෙනවා. දුරකථන අංකයේ අවසන් ඉලක්කම් හතර අනුව දුරකථන අංක තෝරා ගත්තහම ඔය ප්‍රශ්නය නැහැ. ඒ අංක වලට කෙළින්ම කතා කරලා ජනමතය විමසන්න පුළුවන්. මේ ක්‍රමය ගොඩක් ප්‍රචලිත හා ජනප්‍රිය ක්‍රමයක්.
මේ උදාහරණ දෙකේදී ජාතික හැඳුනුම්පත් අංක වල සහ දුරකථන අංක වල අවසාන ඉලක්කම් සලකා බලා අංක තෝරා ගැනීම ගැන කතා කළේ අහඹු නියැදියක් හදා ගන්න හැටි පෙන්වන්න. නමුත් අහඹු තේරීමක් කළ හැකි වෙනත් විවිධ ක්‍රම තියෙනවා.
අහඹු දුරකථන අංක ඩයල් කිරීමේ ක්‍රමය ප්‍රායෝගිකව ගොඩක් ලේසි හා වියදම් අඩු ජනමත විමසුම් ක්‍රමයක්. නමුත් මෙහිදී නියෝජනය වෙන්නේ රටේ ඉන්න දුරකථන හිමියෝ මිසක් රටේ ඉන්න වැඩිහිටියෝ නෙමෙයි. ඒ නිසා, දුරකථන කිහිපයක් තියෙන අයව වැඩියෙන් නියෝජනය වෙනවා. දුරකථන නැති අයව නියෝජනය වෙන්නේ නැහැ. මේ හේතු නිසා දුරකථන ජනමත විමසුමක් අහඹු දුරකථන අංක මත පදනම් වුනත් එයින් රටේ ජනමතය හරියටම නිවැරදිව පිළිබිඹු වෙන්නේ නැහැ. නමුත් හෙළකුරු මාදිලියේ ජනමත විමසුම් වලට සාපේක්ෂව මේවායේ නිරවද්‍යතාවය වැඩියි.
මතු සම්බන්ධයි ….
~ ඉකොනොමැට්ටා
RN