කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මේ වන විට එම විවාදයේ ජන්ද විමසීමට අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබී තිබුණි. විරුධව කිසිදු ජන්දයක් ලැබී තිබුණේ නැත.
දේශබන්දු තෙන්නකෝන් බලය පැහැදිලිවම අවභාවිතා කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ත්‍රිපුද්ගල කමිටුව කතානායකවරයාට දැනුම්දී තිබුණු බවයි විජේපාල මහතා කියාසිටියේ.
“2009දී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතාව පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ විමර්ශන නිසි ලෙස සිදු නොකිරීම සහ පැමිණිල්ල සටහන් කිරීමෙදී බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා. එම සිද්ධියට අදාළව විමර්ශනවලට දේශබන්දු තෙන්නකෝව කැඳවා ප්‍රකාශයක් ලබාගත් අතර, 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයෙන් පසු මෙම විමර්ශන යටපත් වුණා. 2011 ඔක්තෝබර් 8 වෙනිදා පැවති පළාත් පාලන ජන්ද විමසීමේදී භාරත ලක්ෂ්මන් ප්‍රෙමච්න්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වුණා. 2011 දී සාක්ෂි ලබාදෙමින් භාරත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියදුරු සමන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ,නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ වාහනය මේ වෙනකොට මරණ දඬුවම නියම වෙලා ඇති දුමින්ද සිල්වාගේ වාහන පේළිය පසුපස තිබූ අයුරු දැක ඇති බවයි. ඊට අමතරව ආර් දුමින්ද සිල්වාගේ රියදුරු චමින්ද නැමැති පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ, වෙඩි හුවමාරුවට මීටර් 150කට දුරින් දේශබන්දු තෙන්නකෝන් සිටිනු දක්නට ලැබුණු බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා නුගෙගොඩ කොට්ඨාස අපරාධ භාර නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ පුද්ගලයින්ට වද හිංසා කිරීම සම්බන්ධයෙන් වන SCFR 107/2011 දරන මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2023 සැප්තැම්බර් 11 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමේ 5 වෙනි වග උත්තරකරු වූ දේශබන්දු තෙන්නකෝන් මෙම ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව මගින් වරදකරු කර තිබෙනවා. ” යනුවෙන් අමාත්‍යවරයා කරුණු දක්වා සිටියේය.
එමෙන්ම ඔහු නුගේගොඩ කොට්ඨාස භාරව නිලධරියාව ලෙස සිටියදී පුද්ගලයන් නිරුවත් කළ ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන්ගෙ සිද්ධාලේප ආලේප කරවීමට සැලැස්වූ සහ පුද්ගලයන්ට කෲර අමානුෂික ලෙස වද හිංසා කරන්න ආධාර අනුබල දුන් පුද්ගලයෙක් ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
