සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනා, 2024 වසරේ බලයෙන් ඉවත් වීමෙන් අනතුරුව වසර දෙකකට පසු අද (05) ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ජනතාව ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය ඉන්දියාවේ නවදිල්ලියේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම දේශනයට එක්වන අතර, එහිදී තම දේශපාලන අනාගතය සහ බංග්ලාදේශයට යළි පැමිණීම සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන නවදිල්ලියේ Foreign Correspondents’ Club of South Asia (FCC South Asia) සංවිධානය කරන පෞද්ගලික මාධ්‍ය උත්සවයක කොටසක් වන අතර, එය ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද්දක් නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
ෂෙයික් හසීනා සමඟ ඇගේ පුත් සාජීබ් වාසෙද් ජෝයි සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය මොහිබුල් හසන් චෞද්රි නව්ෆෙල් ඇතුළු අවාමි ලීගයේ ප්රමුඛ නායකයන් ද මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිතවන අතර හසීනාගේ දේශනය විකාශය කිරීම හෝ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස බංග්ලාදේශ රජය දේශීය මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
2024 වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් පැවති විරෝධතා හේතුවෙන් අවාමි ලීග් රජය බලයෙන් ඉවත් වීමෙන් පසු ෂෙයික් හසීනා ඉන්දියාවේ නවදිල්ලියේ ස්වයං-පිටුවහල් ජීවිතයක් ගත කරමින් සිටී. ඇය මේ වන විට ඇය බංග්ලාදේශයේ නඩු කිහිපයකට මුහුණ දෙමින් සිටින අතර, මානවත්වයට එරෙහි අපරාධ චෝදනා ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඇයට නොපැමිණ සිටියදීම (in absentia) මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ෂෙයික් හසීනා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, අද ඇය සිදු කරන ප්‍රකාශය බංග්ලාදේශයේ අභ්‍යන්තර දේශපාලනයට මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලටද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.

